ආසියානු කබඩි ශුරතාවලිය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් | දිනමිණ

ආසියානු කබඩි ශුරතාවලිය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක්

ෆවුස් මොහොමඩ්

ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ උදාසීන ක්‍රියා කලාපය හේතුවෙන් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී ලබන ජුනි මස 27 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත 11 වැනි ආසියානු කබඩි ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තරගාවලියට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම සහභාගි කරවීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පසුගිය 3 වැනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතාට ලිඛිතව දැනුම් දී ඇති අතර, එම තරගාවලිය කණ්ඩායම තෝරා ගැනීම සඳහා මැයි 18 වැනිදා තේරීම් තරග පැවැත්වීමට තීරණය කර ඇතැයි ද එම ලිපියෙන් දැනුම් දී තිබේ. එහෙත් තෝරා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත දිනයට පෙර ඊට නිර්දේශ ලබාදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අසමත්වී ඇති අතර, එම නිර්දේශය කබඩි සම්මේලනයට දැනුම් දීම සිදු කර ඇත්තේ ඊයේ (25) දිනයේදීය.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් අර්ජුන් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතු නිර්දේශයත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීමේ ලිපියත් ඊයේ (25) දාතමින් යුතුව කබඩි සම්මේලයට යොමු කර ඇති අතර, මේ මස 31 වැනිදායින් කබඩි සම්මේලනයේ නිල කාලය අවසන් වන බැවින් ද, කබඩි තේරීම් කමිටුවේ නිල කාලයත් ඒ සමඟම අහෝසි වන බැවින් ද ඊට පෙර තේරීම් තරග පවත්වන ලෙසටද එම නිර්දේශය සමඟ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව කබඩි සම්මේලනයට උපදෙස් ලබා දී ඇත. මැයි 3 වැනිදා යොමු කළ ලිපියට නිර්දේශ සහිතව පිළිතුරු සැපයීමට දින 22ක කාලයක් වැය කිරීමට තරම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා උදාසීනත්වයක් දැක්වීම පිළිබඳ කබඩි සම්මේලනය දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වේ.

කබඩි සම්මේලනයේ නිල කාලය අවසන් වීමට ඉතිරිව ඇත්තේ තවත් දින 6ක කාලයක් වන අතර, නිවාඩු දින දෙක හැරුණු විට එය දින 4ක් දක්වා අඩුවනු ඇත. තේරීම් තරග සඳහා ක්‍රීඩකයන් කැඳවීමට සහ තරග පැවැත්වීමට එම කෙටි කාලය ප්‍රමාණවත් නොවන බැවින් ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාගැනීමට 11 වැනි ආසියානු කබඩි ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න