කාලය නාස්ති කළ බවට චෝදනා එල්ල වූ දෝනිට අවසන් තරගය තහනම්? | දිනමිණ

කාලය නාස්ති කළ බවට චෝදනා එල්ල වූ දෝනිට අවසන් තරගය තහනම්?

ප්‍රින්ස් ගුණසේකර

චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනිට මේ 28 වැනිදා පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් අවසන් තරගය තහනම් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරමින් සිටිති. 42 හැවිරිදි දෝනි නිමාවට පත් වූ ගුජරාට් ටයිටන්ස් සමඟ තරගයේදී හිතාමතාම විනිසුරුවන් සමඟ වාද විවාද ඇති කරමින් කාලය නාස්ති කළ බවට චෝදනා එල්ලවී ඇත.

ඉන්දීය ප්‍රීමියර් ලීග් අවසන් තරගය පැවැත්වෙන අහ්මදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානම්ව සිටින බවට පුවත් මැවෙද්දී මෙලෙස තහනමක් පිළිබඳ කතිකාවක් ගොඩනැඟීම විශේෂත්වයකි. එසේ වුවහොත් අහ්මදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී දෝනිගේ සමුගැනීම සටහන් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මන්දගාමී පන්දු යැවීමේ වේගය හේතුවෙන් ක්‍රිකට් ආචාර ධර්ම කඩ කළ බවට චෝදනා එල්ලවී වරදකරු බවට පත්ව වරක් දඩ නියමවී ඇති බැවින් දෝනිට මෙවර තත්ත්වය බරපතළ වනු ඇතැයි අනාවැකි පළවේ. ගුජරාට් ටයිටන්ස් ඉනිමේ 16 වැනි ඕවරයේදී මතීෂ පතිරණට සිය දෙවැනි ඕවරය යැවීමට පිටියේ විනිසුරුවන් ඉඩ නොදීම හේතුවෙන් මේ සිදුවීම ඇති විය. මතීෂ පතිරණ මිනිත්තු නවයක් පිටියෙන් ඉවත්ව සිටි අතර, නැවත පන්දු යැවීමට සූදානම් වෙද්දී ඒ හා සමාන කාලයක් ක්‍රීඩා පිටිය තුළ සිටිය යුතු වේ. එම කාලය සම්පූර්ණ වීමට නම් තවත් මිනිත්තු 4ක් ඉක්ම විය යුතු බව පෙන්වාදීමත් සමඟ දෝනි විනිසුරුවන් සමඟ වාද විවාද ඇති කර ගනිමින් එම මිනිත්තු 4ක කාලය අපතේ යැවූ බවට චෝදනා එල්ලවී තිබේ.

දෝනි එම මිනිත්තු 4ක කාලයේ විනිසුරුවන් සමඟ ඇතිකරගත් තර්ක සම්බන්ධයෙන් ප්‍රවීණ විස්තර විචාරකයන් වන සුනිල් ගවස්කාර් සහ සයිමන් ඩූල් තරගය අතරතුර දැඩි විවේචනයක් එල්ල කිරීමෙන් මේ සිද්ධියේ ආන්දෝලනාත්මක තත්ත්වය වර්ධනය විය. “විනිසුරුවරුන් සමඟ විනාඩි 5ක වාදයක් ඇති කර ගැනීම අනවශ්‍ය දෙයක්. ඔහු කළේ තවත් පන්දු යවන්නකුට පන්දු යැවීමට ඉඩ නොදී තරගය නතර කිරීමයි. තරගය අවසානයේ දෝනිට ඒ ගැන පසුතැවිලි වන්න සිදු වෙයි” සයිමන් ඩූල් විස්තර විචාරයේදී පැවසීය. මෙයට දින කිහිපයකට පෙර දෝනිගේ අත්සන තම කමිසයට ලබාගත් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක සුනිල් ගවස්කාර් දෝනිගේ හිතාමතා ප්‍රමාදය ගැන කෝපයෙන් කතා කළ බව වාර්තා වේ.

චෙන්නායි එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි පළමු සුදුසුකම් ලැබීමේ තරගය දොනිගේ ක්‍රියාවෙන් ඇණහිටි බවට වන චෝදනාව සම්බන්ධයෙන් දෝනි කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

 

නව අදහස දක්වන්න