ගුජරාට් සමඟ සටනට මුම්බායි | දිනමිණ

ගුජරාට් සමඟ සටනට මුම්බායි

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එක් වන දෙවැනි කණ්ඩායම තෝරා ගන්නා දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට එක් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරේදා සමත් විය.

තරගාවලියේ අවසන් වටය යටතේ පැවති දෙවැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ලකුණු 81කින් පරාජය කරමින් දෙවැනි තරගයට සුදුසුකම් ලැබීමේ තරගයට එක් වීමට මුම්බායි පිල සමත් වූ අතර, ඒ අනුව මුම්බායි සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජය වූ ගුජරාට් ටයිටන්ස් පිල අද (26) අහ්මදාබාද්හිදී දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට එක් වෙයි.

මේ තරගයේ ජයග්‍රාහකයන් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟින් ලබන ඉරිදා (28) අවසන් මහා තරගයට එක් වීමට නියමිතය. චෙන්නායිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් මුම්බායි පිල ලකුණු 183ක ඉලක්කයක් දුන් අතර, එම ඉලක්කය හමුවේ ලක්නව් පිලට ඕවර 16.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි.

මාර්කස් ස්ටොයිනිස් ලකුණු 40ක් රැස් කරමින් ලක්නව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, දීපක් හූදා ලකුණු 15ක් රැස් කළේය. මුම්බායි පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ආකාශ් මද්වල් ඕවර 3.3කදී ලකුණු 5කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, එය ඔහුගේ හොඳම විස්සයි20 පන්දු යැවීම ලෙස ද සටහන් විය.

මුම්බායි පිල වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 41ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 33ක් සහ තිලක් වර්මා ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූහ.පන්දු යැවීමේදී නවීන් උල්හක් කඩුලු 4ක් සහ යෂ් ඨාකූර් කඩුලු 3ක් දවා ගත්හ.

 

නව අදහස දක්වන්න