පරාජය ඉවසිය නොහැකි සිසුන්ගේ පහර දීම ගැන පොලිස් පරීක්ෂණ | දිනමිණ

පරාජය ඉවසිය නොහැකි සිසුන්ගේ පහර දීම ගැන පොලිස් පරීක්ෂණ

පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පරදවමින් මලල ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ පහළොස් හැවිරිදි ශිෂ්‍යයෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය 23 වන දින දහවල් විවේක කාලයේදී පාසලේ පන්ති කාමරයක් තුළදීම මෙම පහරදීම සිදුව ඇත.

පහර කෑමට ලක්වූ සිසුවා එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන කුරුණෑගල සමන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මලල ක්‍රීඩා සඳහා සුවිශේෂී දස්කම් දක්වමින් නැඟී එන ක්‍රීඩකයෙකු බව කියයි. ඔහුගේ දස්කම් හේතුවෙන් මෙතෙක් එම පාසලේ මලල ක්‍රීඩාවට දස්කම් දැක්වූ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහු හමුවේ පරාජයට පත්ව ඇති බවත් එම පරාජය ඉවසා දරාගත නොහැකිව ඔවුහු වෙනත් සිසුන් පිරිසක් ලවා මෙම පහරදීම සිදු කර ඇති බවද අනාවරණය වී තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

එම සිසුවා දහවල් කෑම විවේකයේදී පන්ති කාමරය තුළ ආහාර ගනිමින් සිටියදී ඔහු වටකරගත් සිසුන් අට දෙනෙකු පමණ බිම පෙරළාගෙන ඔහුට පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ. පහරකෑමෙන් ඔහුගේ මුහුණට සහ හිසට තුවාල සිදුව තිබේ.

එම පහරදීම වැළැක්වීමට උත්සාහ ගත් තවත් සිසුවෙකුටද එම සිසුන් පිරිස පහරදී තිබෙන අතර පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනාම මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රහාරයෙන් සිසුවාගේ හිස පැළී තුවාල සිදුව ඔහු හිසේ වේදනාවකින් පෙළෙන බව වාර්තාවේ. මේ නිසා හිස පරීක්ෂා කිරීම සඳහා සීටී ස්කෑන් පරීක්ෂාවක් කළ යුතු වුවද මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ තිබෙන සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් එම පරීක්ෂණය කළ නොහැකිව සිසුවාගේ තත්ත්වය වෛද්‍යවරුන් විසින් අධීක්ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව පැවසේ.

කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න

නව අදහස දක්වන්න