රියැදුරුගෙන් මියගිය අයගේ යැපෙන්නන්ට සානුකම්පිත දීමනාවක් | දිනමිණ

රියැදුරුගෙන් මියගිය අයගේ යැපෙන්නන්ට සානුකම්පිත දීමනාවක්

දංඕවිට හැලගල මාරක අනතුරට සම්බන්ධව රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර ලොරි රියදුරා මියගිය අය වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් තාවකාලිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (25) ඔහුට රුපියල් ලක්ෂ දෙකක කොන්දේසි සහිත ශරීර ඇප නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළේය.

මහවෙල දොඹවෙල පදිංචි රංජිත් විජේසිරි නැමැති ලොරි රියදුරෙකුට එසේ ඇප නියම කැරිණි.

රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයට පුද්ගලයින් දෙදෙනකු අත්සන් කළ යුතු බවටද නියෝග කැරිණි.

සැකකාර රියදුරා පසුගිය 13 වනදා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙස සිට කොළඹ දෙසට ලොරියක් පදවා ගෙන යද්දී දංඕවිට හැලගල දී ඉදිරියෙන් මහනුවර දෙසට පදවා ගෙන පැමිණි යතුරු පැදියක හැපී අනතුර සිදු වී තිබිණ.

එම අනතුරින් යතුරු පැදිය පදවා ගෙන පැමිණි වරකාපොල දුම්මලදෙණිය පදිංචිව සිටි තිස් නව හැවිරිදි දෙදරු පියෙකු වන සචින්ත චන්ද්‍රසිරි නැමැත්තෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට සිටියදී මිය ගොස් තිබිණ.

මේ පිළිබඳව දංඕවිට පොලීසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වා සැකකාර ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන තිබිණ.

මෙය ඊයේ 25 නැවත කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ සිට අධිකරණය ඉදිරියේ පෙනී සිටි සැකකාර රියදුරා මිය ගිය අය වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් තාවකාලිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව එසේ කොන්දේසි සහිත ශරීර ඇප නියම කැරිණි.

නැවත කැඳවීම ඔක්තෝබර් මස 05 වනදාට කල් තැබිණ.

සැකකරු වෙනුවෙන් නීතිඥ චමින්ද ගුණවර්ධන මහතා පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ උදය කුමාර මහතා පෙනී සිටියේය.

දංඕවිට පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය.

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න