කරාපිටිය වෛද්‍ය පීඨයට ගෙන ගිය ෂාෆ්ටර්ගේ සිරුරට ඊයේම ස්කෑන් පරීක්ෂණයක් | දිනමිණ

කරාපිටිය වෛද්‍ය පීඨයට ගෙන ගිය ෂාෆ්ටර්ගේ සිරුරට ඊයේම ස්කෑන් පරීක්ෂණයක්

-විශේෂ මරණ පරීක්ෂණය අද
- සිරුර තහවුරු කරගත්තේ අන්දවා තිබූ ඇඳුමින්
- මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් කළේ ලොව නවීනතම අධිකරණ ‌ෙවෙද්‍ය  විද්‍යා ක්‍රමවේදයන්ට අනුවයි

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව හා පවුලේ ඥාතීන් ඉදිරියේ ඊයේ (25) යළි ගොඩ ගැනීමෙන් අනතුරුව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අවමංගල්‍ය රථයකින් ගෙන යනු ලැබීය.

ඒ අනුව සවස 3.00 ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය ගෙන එනු ලැබූ සිරුර ඊට සුළු මොහොතකට පසු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර තිබේ. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රමවේදයන්ට අනුව මෙවැනි විශේෂ ස්කෑන් පරීක්ෂණයන් සිදු කරන බවත් එමඟින් සිරුර අභ්‍යන්තරය පිළිබඳ සුවිශේෂ තත්ත්වයන් අනාවරණය කරගත හැකි බවත් දිනමිණ කළ විමසීමකදී වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළේය. ස්කෑන් පරීක්ෂණයක් මඟින් අනාවරණය කර ගන්නා තොරතුරුවලට අනුකූලව සහ ඊට අමතර වැඩිදුර පරීක්ෂණයක් සඳහා සිරුර විච්ඡේදනයකට භාජනය කිරීම ඉන් පසුව සිදු කරන බවද හෙතෙම තවදුරටත් අනාවරණය කළේය.

ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරව ෂාෆ්ටර් මහතාගේ සිරුර පිළිබඳ විශේෂ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (26) කරාපිටිය රෝහලේ වෝහාරික වෛද්‍ය ඒකකයේදී සිදු කිරීමට නියමිතය.

අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගයකට අනුව කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය, කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරුන් හා නිලධාරීන්, බොරැල්ල සෝකෝ නිලධාරීන්, ශාෆ්ටර් මහතාගේ පියා, සහෝදරයන් හා මස්සිනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම, මිහිදන් කළ ස්ථානය හඳුනා ගැනීම සඳහා මල්ශාලාවේ කම්කරුවන් පස්දෙනකු, මරණකරුගේ පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥයන් ඇතුළු පිරිසක් හමුවේ ඊයේ (25) පෙ.ව. 8.45ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේ දේහය තැන්පත් කළ ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ සටහන් යෙදූ අතර සෝකෝ නිලධාරීන් එම ස්ථානය ඡායාරූප ගත කිරීමෙන් අනතුරුව දේහය තැන්පත් කර තිබූ මිනී වළ මල්ශාලාවේ කම්කරුවන් පස් දෙනා විසින් ඉතා පරිස්සමට හාරනු දක්නට ලැබිණ. අනතුරුව පෙ.ව. 9.40ට පමණ මිහිදන් කර තිබූ සිරුර බහා තිබූ මිනි පෙට්ටිය කම්කරුවන් විසින් කෙමෙන් ගොඩ ගනු ලැබිණ. මහේස්ත්‍රාත්වරිය හා වෛද්‍ය කමිටුව ඉදිරියේ පෙට්ටියේ මුද්‍රා ඉවත් කර ශාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් වෙත පෙන්වා සිටි අතර, ශාෆ්ටර් මහතා ඇඳ සිටි බව කියන නිල් පැහැති කමිසය හා කළු පැහැති කලිසම මඟින් දේහය හඳුනා ගැනීමට ඥාතීහු සමත් වූහ. මෙසේ ඥාතීන් විසින් මෘත දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව නැවත මුද්‍රා තබා දේහය අවමංගල්‍ය රථයේ තැන්පත් කෙරිණ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඥාතීන්ගෙන් හා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර, මෘත දේහය දැඩි පොලිස් ආරක්ෂාව යටතේ බොරැල්ල කනත්තේ සිට ගාල්ල කරාපිටිය රෝහල වෙත ගෙන යනු ලැබිණි. මීට අමතරව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව හා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිලධාරීහු හා වෛද්‍යවරු ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේදී සිද්ධියට මුහුණ දුන් ස්ථානයද ස්ථානීය පරීක්ෂාවකට ලක් කළහ.

ශාෆ්ටර් මහතාගේ සිරුර ගොඩ ගැනීම රහසිගතව සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අවස්ථාවක මාධ්‍යවේදීන්ට මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා බොරැල්ල කනත්තට ඇතුළු වීම පවා පොලිසිය විසින් වැළැක්වීම පියවර ගෙන තිබීම සුවිශේෂ කරුණකි. දේහය ගොඩ ගැනීමේ මූලික පියවර අවසන්ව දේහය මල්ශාලා රථයේ තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට බොරැල්ල කනත්තට පිවිසීමට පොලිසිය අවස්ථාව සලසා දුන්නේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලට අදාළව රැස් කළ සාක්ෂි මත දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම එම කමිටුවේ නිර්දේශ මත සිදු කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපති ලෙස කටයුතු කරන මේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන සාමාජිකයන්ගෙන් යුක්තය.


සිරන්ජනි කුමාරි, කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට, දකුණු පළාත් සංචාරක එස්. දියගහගේ

නව අදහස දක්වන්න