ලක්ෂයක වන්දියක් ගෙවන්නැයි පෙත්සම්කරුට නියෝග
ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව හිටපු බස්නායක නිලමේවරයකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබූ නඩුවක් නිෂ්ප්‍රභ කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දුන් නඩු තීන්දුව මහනුවර මහාධිකරණ අංක 1දී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් ඊයේ (25) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව සුදන්ත සේනානායක මහතා විසින් අදාළ මුදල අධිකරණයේදී දියවඩන නිලමේවරයා වෙත ලබාදෙන ලදි. ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නැති බවට දියවඩන නිලමේවරයාට චෝදනා කරමින් වර්ෂ 2012දී සුදන්ත සේනානායක මහතා විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබිණි.
මේ නඩුව විභාගයට ගැනීමට තිබියදී දියවඩන නිලමේවරයා විසින් ඊට එරෙහිව මහනුවර මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදු කළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණ විනිසුවරුවරයා විසින් නඩුව නිෂ්ප්‍රභ කෙරිණි.
කාර්තු හතකරට අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් සුදන්ත සේනානායක මහතා අදාළ නඩුකර ගොනු කර තිබූ අතර එක් නඩුවකට රුපියල් 125,000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට නියෝග කළේය.
ඒ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර, මහාධිකරණය මඟින් දී තීන්දුව ඒ ආකාරයෙන්ම එහිදීද තහවුරු කර ඇත.
ඊට එරෙහිව සුදන්ත සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එහිදී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25,000 බැගින් රුපියල් ලක්ෂයක් මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය. ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් සමන් තන්තිරිගේ මහතාද සුදන්ත සේනානායක මහතා වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න මහතාද පෙනී සිටියහ.
නව අදහස දක්වන්න