කේරල ගංජා කිලෝ 24ක් ප්‍රවාහනය කරමින් තිබුණු මෝටර් රථයක් පොලිස් පරීක්ෂාවකදී ගංජා තොගය අත්හැර පලායන අවස්ථාවේ එම මෝටර් රථය හා පලායමින් සිටි රියැදුරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකළ බව කියමින් පෑලියගොඩ පොලිසියට අනුයුක්ත කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට කැලණිය සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (24) පියවර ගෙන තිබේ.
මේ සිදුවීම වී ඇත්තේ කොළඹ නුවර මාර්ගයේ පෑලියගොඩ තොරණ හංදියේදීය ආසන්නයේදී පසුගිය 13 දාය. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව ක්‍රියාත්මක අපරාධ නිවාරණ මෙහෙයුමකට සම්බන්ධව සිටි කැලණිය කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් සැකකටයුතු මෝටර් රථයක් මෙදින රාත්‍රී කාලයේදී නතරකර පරීක්ෂා කර තිබේ. කිරිබත්ගොඩ සිට පෑලියගොඩ දෙසට නුවර පාරේ ධාවනය වෙමින් තිබුණු සුඛෝපභෝගී මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනකු සිට ඇති අතර, රියදුරු වාහනයේ අනන්‍යතා සහතික මෙන්ම රියැදුරු බලපත්‍රය රැගෙන පොලිස් නිලධාරීන් හමුවට පැමිණ ඇත්තේ රියැදුරු විසිනි. ඒ ලියකියවිලි සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබී නැත. පොලිස් නිලධාරීන් අහඹු ලෙස මෝටර් රථය පරීක්ෂාවට ලක් කර ඇත්තේ එහි ඩිකිය විවෘත කරමිනි. එහි විශාල පර්සල් දෙකක් තිබී ඇත.
ඒ පාර්සල් දෙකෙන් එකක් රථවාහන අංශයේ නිලධාරීන් අතට ගෙන එහි ඇත්තේ මොනවාදැයි රියැදුරුගෙන් ප්‍රශ්න කරන විට රියැදුරු සමඟ මෝටර් රථයේ පැමිණි අනිත් පුද්ගලයා එක්වරම රියැදුරු අසුනට ගොස් රථය පණගන්වාගෙන පලාගොස් ඇත්තේ රියැදුරුද නංවාගෙනය.
මෙහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා තරමක් කලබල වී ඇති බැවින් මෝටර් රථය පස්සේ පැන්නීමට ඉඩක් ලැබී නැත. ඒ වන විටත් එම රථයේ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය තිබී ඇත්තේ පොලිස් නිලධාරීන් අතය. එසේම රථයේ අංකය පවා පොලිස් නිලධාරීගේ මතකයේ තිබී ඇත. මෝටර් රථය ධාවනය කර ඇත්තේද එහි ඩිකිය විවෘතව තිබියදීය.
දමා ගිය පාර්සලය කුමක්දැයි පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එහි ඇත්තේ කේරල ගංජා තොගයක් බවය. කිලෝ 12ක ප්‍රමාණයක් එහි තිබී ඇත.
මේ අතර කැලණිය බියගම පාරේදී ගුවන් හමුදා සෙබළකුට මාර්ගයේ වැටී තිබී පාර්සලයක් හමු වී එය කැලණිය පොලිසියට භාරදී තිබේ. සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ එහි ඇත්තේ කේරල ගංජා බවය. තොරණ හන්දියේදී පරීක්ෂාවට ලක්වුණු මෝටර් රථයේ තිබුණු අනිත් පාර්සලය එය බව පෙනී ගොස් තිබේ. එම පාර්සලයේද කේරල ගංජා කිලෝ 12ක් තිබී ඇත. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ තොරණ හන්දියේදී පොලිස් පරීක්ෂාවේදී පලාගිය මෝටර් රථය පට්ටිය හන්දියෙන් හරවා බියගම පාර ඔස්සේ ගමන්කර ඇති බවය. ඩිකියේ තිබුණු පාර්සලය බිමට වැටී ඇත්තේ එම මාර්ගයේදී බව පොලිසිය කියයි.
රියැදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයට අනුව පොලිස් පරීක්ෂාවේදී පලාගිය පුද්ගලයා වැලිගම පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.
මේ වන විට එම පුද්ගලයා නිවෙසින් අතුරුදන්ව සැඟවී සිටින බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මෝටර් රථයද කුලියට ගත් එකක් බව අනාවරණය වී ඇත.
එම මෝටර් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එසේ තිබියදීත් සැකකටයුතු මෝටර් රථය පරීක්ෂා කර ගංජා තොගය සොයා ගැනීමට මුල්වූ නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන වී ඇත.
ඒ අනුව රථවාහන අංශයේ නිලධාරීන් රැසක් තීරණය කර ඇත්තේ තමන්ට පැවරී ඇති රාජකාරියට එහා යමින් මින් ඉදිරියට වාහන පරීක්ෂා කිරීම් නොකර සිටීමටය.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න