හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් දේශපාලන පක්ෂය තහනම් කිරීම සම්බන්ධව අවධානය යොමු කර ඇතැයි පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා ආසිෆ් ප්‍රකාශ කර තිබේ. එරට රජය මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ ඉම්රාන්ගේ ආධාරකරුවන් පසුගියදා හමුදාව සමඟ ගැටුම් ඇති කරගැනීම හේතුවෙනි. දශක ගණනාවක් පුරා පාකිස්තානයේ දේශපාලන කුණාටු රැසකට හේතු වූ එරට සිවිල් ජනතාව, දේශපාලඥයන් සහ හමුදාව අතර ගැටුමට ඉම්රාන් ඛාන් ද මුහුණ දී සිටින අතර, පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ රට පුරා උද්ගත වූ කැරැලි කෝලහාල රැසක් සිදු විය. එරට ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය මේ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටි බවය.
‘පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම ගැන රජයේ අවධානය යොමු වී ඇතැයි ද, එම පක්ෂය තහනම් කිරීමේ රජයේ තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වී ඇතැයි ද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉම්රාන්ගේ ආධාරකරුවන් පසුගියදා හමුදා මූලස්ථානය ඇතුළු වෙනත් කඳවුරුවලටත්, රජයේ ගොඩනැඟිලිවලට ප්‍රහාර එල්ල කළ බවත් ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මේ අතර ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂයේ නීතිඥවරයකු වන අලි සෆාර් අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ එවැනි ඕනැම තීරණයක් අධිකරණයේදී අභියෝගයකට ලක් කිරීමට සූදානමින් සිටින බවය. එක් එක් කණ්ඩායම් විසින් සිදු කරනු ලැබූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමස්ත පක්ෂයම වගකිව යුතු නැතැයි ද ඔහු සඳහන් කර ඇත. වසර 2018 දී ඉම්රාන් ඛාන්ට පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමට එරට හමුදාව විශාල කාර්යභාරයක් සිදු කර තිබිණි. මේ ප්‍රසිද්ධ රහස දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප කළ ද, සැබෑ තත්ත්වය එය බව පසුව වාර්තා වී තිබිණි. එහෙත් අගමැති ධුරයට පත්වීමෙන් පසු ඉම්රාන් ඛාන් හමුදා ජෙනරාල්වරුන්ට එරෙහිව ගිය බවත්, එය සිදු වූයේ හමුදා නායකයන් ආරක්ෂක අංශවල ප්‍රධාන තනතුරු සඳහා මැදිහත්වීමට ගත් උත්සාහය නිසාය. අවසානයේ පසුගිය වසරේ මුල් භාගයේදී ඉම්රාන් ඛාන් එරට විශ්වාසභංග යෝජනාවකින් තනතුර අහිමිකරගත් පළමු අගමැතිවරයා ලෙස ගෙදර යෑමට එය ප්‍රධාන සාධකය බවට පත් විය.
තනතුර අහිමිවීමෙන් පසු මහමැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ඔහු රට පුරා ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ද, ඔහුගෙන් පසු අගමැති ධුරයට පත් වූ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරු ශෙබාස් ෂරීෆ් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මේ වසරේ ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය එක් දිනකින් හෝ ඉදිරියට නොගන්නා බව සහතික කරමිනි.
නව අදහස දක්වන්න