අළු මතින් නැඟිටින ෆීනික්ස් කුරුල්ලා | දිනමිණ

අළු මතින් නැඟිටින ෆීනික්ස් කුරුල්ලා

භාරතයේ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට තමා කිසිදා පරාජය නොවන්නේය යන දැඩි විශ්වාසයේ සිටින්නට තරම් කරුණු ඕනාවටත් වැඩියෙන් තිබිණි. මන්ද, පසුගිය වසර ගණනාවම භාරතයේ රජ කරන්නට සමත් වූයේ නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හෙයිනි. මෙනිසා ඉන්දියාව පුරා මෝදිගේ සෙවණැල්ල අතුපතර ගිය විසල් ගසක් මෙන් සෙවණ සදන්නට විය. එහෙත් මේ සියල්ල ප්‍රශ්නාර්ථයකට ලක් කරන්නට පසුගියදා අවසන් වූ කර්ණාටක ඡන්ද ප්‍රතිඵලය සමත් විය. මැයි 10 වනදා පැවැත් වූ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය පරාද කර කොංග්‍රසය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් කර්ණාටක ප්‍රාන්තය ජයග්‍රහණය කරන්නට සමත් විය. කර්ණාටකයේ ප්‍රාන්ත සභාව ආසන 224කින් යුක්ත වන අතර එය තනි පක්ෂයක් ලෙස ජයග්‍රහණය කිරීමට නම් ඔවුන් ආසන 113ක් ලබාගත යුතුව තිබිණි. පසුගිය කාලය පුරාවටම එය තවත් හවුල්කාර පක්ෂ සමඟ අටවාගත් සභාග ආණ්ඩු පිහිට වූ අතර තනි පක්ෂයක් ලෙස ජයග්‍රහණය කිරීමට තරම් වාසිසහගත තත්ත්වයක් නොතිබිණි. මීට ආසන්නම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ 2018 කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයයි.

එම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය දිනාගැනීමට සමත් වූයේ ආසන 104ක් පමණි. මේ නිසා ඔවුනට තවත් පක්ෂයක සහාය ලබාගැනීමට අවශ්‍ය විය. එම මැතිවරණයේදී කොංග්‍රසයට දිනාගැනීමට හැකි වූයේ ආසන 80ක් පමණි. එහෙත් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ඔවුනට ගමන දිගු වුවත් කිසිවෙකුත් නොසිතූ පරිද්දෙන් එහි ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට ද සමත් වූයේ ඔවුන්ය. කොංග්‍රස තම සන්ධාන ආණ්ඩුව පිහිටුවීමට සමත් වූයේ ජනතා දාල් පක්ෂයේ ආසන 37 ද සමඟිනි. එහෙත් හවුලේ කැඳත් එපාය කියන්නාක් මෙන් සන්ධානයේ විපත මාස 14කදී පමණ සිදුවිය. අදහස් නොගැළපීම් මෙන්ම තීරණ ගැනීමේදී සිදුවන්නා වූ නොයෙකුත් ගැටලු සහගත තත්ත්වයන් මත ඉන් ඉවත්ව ගිය මන්ත්‍රීවරු 16 දෙනෙකු ද සමඟින් ස්වාධීන මන්ත්‍රීවරු භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ විය. මෙනිසා භාරතීය ජනතා පක්ෂය සතු ආසන ගණන වැඩිවීම නිසා දිශාව සොයා යන මාලිමාවේ කටුව මෙන් ඔවුන් වෙත ජයග්‍රහණයේ මාවත හැර වී තිබුණි. එහෙත් සති කිහිපයක සටන්කාරී දින ගණනාවක් අවසන කර්ණාටකයේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස දිවුරුම් දී ජයග්‍රහණය කරන්නට සමත් වූයේ ජනතා දාල් පක්ෂයයි. එහෙත් ඔවුනට වැඩි කලක් තම බලය රඳවා ගැනීමට නොහැකි වූ අතර බහුතරය පෙන්වීමට නොහැකි වීමෙන් බලය යළිත් හුවමාරු වූයේ භාරතීය ජනතා පක්ෂය වෙතයි. එහිදී ප්‍රධාන ඇමැතිවරයා පත්වූයේ භාරතීය ජනතා පක්ෂයෙනි. කෙටි කලකදී යළිත් කර්ණාටකයේ අර්බුද මතුවන්නට විය. එයට ප්‍රධානතම හේතුව වූයේ 2023 පෙබරවාරි මාසයේදී භාරතීය ජනතා පක්ෂයේ, කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රබලයකු වූ තම්මයියා කොංග්‍රස් පක්ෂය සමඟ එක්වීමයි. ඒ සමඟම තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු කොංග්‍රසය හා එක්වීම නිසා තරාදියේ බර කොංග්‍රසය දෙසට බරවෙන ලකුණු පෙනෙන්නට විය. එය වඩාත් තීව්‍ර වූයේ මැයි මාසයේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමත් සමඟයි.

පෙර මග සලකුණ

කර්ණාටක ප්‍රාන්තයේ තත්ත්වය, යම් ආකාරයෙන් භාරතයේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට හිතකර නොවන තත්ත්වයක් ඇති කිරීමට තවත් එක් ප්‍රබල කරුණක් විය. එනම්, ඉන්දියාව එක්සත් කිරීමේ අරමුණින් රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය ඉන්දියාව පුරා ගමන් කිරීමේ අරමුණින් ඇරඹූ පාද යාත්‍රාවයි.

එය ආරම්භ කරනු ලැබුවේ ඉන්දියාවේ ප්‍රාන්ත 12ක් හරහා ගමන් කිරීමේ අරමුණින් පසුගිය වසරේ සැප්තැම්බර් 7 වනදාය.

මේ සඳහා පක්ෂයේ ප්‍රබල පෙළේ සාමාජිකයන් 100 දෙනෙකු පමණ එක්ව සිටි අතර ඔවුන් සමඟ දිනපතා හමුවී සාකච්ඡා කිරීමට ද රාහුල් ගාන්ධි කටයුතු කළේය. ඒ අතරතුරම ඔහු සංවිධායකයින් මෙන්ම පක්ෂයේ ආධාරකරුවන් හමුවීමට ද කටයුතු කළේය. මෙම පාද යාත්‍රාවෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ කොංග්‍රස් පක්ෂය වඩාත් ජනතාව තුළට ගෙනයමින් පක්ෂයේ ජනප්‍රියතාව වර්ධනය කිරීමයි.

එය වඩාත් සාර්ථකම වූ පියවරක් ලෙස පෙනී යන්නේ ඉන් මාස 8කට පසු පැවැත්වූ කර්ණාටක මැතිවරණයේදී කොංග්‍රසය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමත් සමඟිනි. මෙම මැතිවරණයේදී කොංග්‍රසය ආසන 224න් 135ක් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් තනිව ජයග්‍රහණය කරනු ලැබුවේ අවශ්‍ය ආසන ප්‍රමාණයටත් වඩා තවත් ආසන 25ක් ජයග්‍රහණය කරමිනි. කොංග්‍රසය තම පා ගමනින් උපරිම ඵල ප්‍රයෝජන නෙළාගනිමින් වඩ වඩාත් ජනතාව හා බැ‍ඳෙමින් සිටින මොහොතක මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සිදු කළේ ඊට හාත්පසින්ම වෙනත් දෙයකි.

එනම් ඔවුන් කර්ණාටක ප්‍රාන්තය තුළ තම පාලනය ගෙන ගියේ මුස්ලිම් ජනයා අඩු තක්සේරුවකට ලක් කරමිනි. දේශපාලන විචාරකයන්ගේ මතයට අනුව එය ඔවුනට මහත් අවාසිදායක විය. හිජාබය ගැන මහත් කතා බහක් ඇති වූයේ ඉරානයේය. එහෙත් ඒ හිජාබය පිළිබඳවම කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කරනු ලැබුවේ වෙනත්ම ආකාරයකටය. ඔවුන් විසින් නීති මාලාවක් ගෙන එනු ලැබුවේ මුස්ලිම් ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන විදුහල්වලදී පවා හිජාබය පැලඳීමට නොහැකි ආකාරයෙනි. එය වඩාත් මුස්ලිම් සිසුවියනට දැනුණු කාරණාවක් වූ අතර මුළු මහත් මුස්ලිම් ප්‍රජාවටම කලකිරීම් දනවන කරුණ වූයේ හින්දු ජනතාව නොමැතියයි සලකණු ලබන, අනෙකුත් ජන කොට්ඨාස වෙනුවෙන් වෙන්කර ඇති ආසන ප්‍රතිශතය අඩු කිරීමට පියවර ගැනීමයි. මීට අමතර ගව ඝාතනය තහනම් කිරීම මෙන්ම තම ආගම වෙනස් කිරීමට එරෙහිව නව නීති පැනවීම ද සිදු කෙරිණි. මෙය කොංග්‍රසය ගත් ගමන් මඟට ඉඳුරාම වෙනස් වූ තීරණයකි. එමෙන්ම කොංග්‍රසයේ සියලු දෙනා එකාවන්ව පාද යාත්‍රාවන් ආරම්භ කරනා විට භාරතීය ජනතා පක්ෂයේ ඉහළ පෙළේ අයවළුන් අතර කිසිදු ආකාරයකට එකමුතුකමක් දක්නට නොලැබුණු බව සඳහන් කරන්නේ ඉන්දීය දේශපාලන විචාරකයින්ය. ඔවුන් සඳහන් කරන අයුරින් කොංග්‍රස අභ්‍යන්තරයෙහි කවර ආකාර මත ගැටුම් පැවතිය ද කිසිදු විටක ඔවුන් එය පිටස්තර සමාජයට ඒත්තු ගැන්වීමට නොගිය බවයි.

වසර 34කට පසු ලැබූ කොංග්‍රස් ජය

පසුගිය මැයි මස 10 දා පැවැති කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේදී ආසන 224න් ආසන 135ක් දිනාගනිමින් තනි බලයක් රඳවා ගැනීමට සමත් වූයේ කොංග්‍රසයයි. ඔවුන් මෙවන් ජයක ලබාගැනීමට සමත් වූයේ 1989 වසරේදී ඔවුන් ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුවයි. එම වසරේදී එවක පැවති ආසන 221න් 178ක් ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර එහි ඡන්ද ප්‍රතිශතය ලෙසින් සඳහන් වූයේ 44%කට ආසන්න ප්‍රමාණයකි. එහිදී භාරතීය ජනතා පක්ෂයට ආසන 4ක් හිමි වූ අතර ආසන 24ක් දිනා ගනිමින් තුන්වැනි ස්ථානයට පත්වූයේ ජනතා දාල් පක්ෂයයි.

එය ඒ ආකාරයෙන් වුවත් පසුගිය දශකයකට ආසන්න කාලයකදී කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය තුළ කිසිදු පක්ෂයකට තනි බලයක් හිමි නොවුණු අතර සියලුම විට ඇති වූයේ සන්ධානයන්ය.

2004 වසරේදී භාරතීය ජනතා පක්ෂය ආසන 79ක් දිනාගනිමින් පෙරමුණට පත්ව සිටි අතර ඉන්දීය ජාතික කොංග්‍රසයට ලබා ගැනීමට හැකි වූයේ ආසන 65ක් පමණි. මේ නිසා කිසිදු අයකුට තනි බලයක් හිමි නොවුණි. මේ නිසා ජනතා දාල් පක්ෂය, කොංග්‍රසය සමඟ එක්වී රජයක් පිහිට වූ මුත් 2006 වසරේදී එය බිඳී ගියේය.

එමෙන්ම 2008 වසරේ පැවති කර්ණාටක මැතිවරණයේදී ද භාරතීය ජනතා පක්ෂය ආසන 110ක් හිමිකර ගත් අතර ඔවුන්ට ආසන තුනේ අඩුපාඩුව පෙන්වීමට ඉදිරිපත් වූවේ ස්වාධීන මන්ත්‍රීවරු හය දෙනෙකි. එවරද තවත් කණ්ඩායමක ආධාරයෙන් ජනතා පක්ෂය ආණ්ඩුව පිහිටුවීමේදී ගාන්ධිලාගේ කොංග්‍රසයට දිනාගැනීමට හැකි වූයේ ආසන 28ක් පමණි.

භාරතීය ජනතා පක්ෂයට අභියෝග

2013 වසර වන විට තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් කොංග්‍රසය ආසන 122ක් දිනාගනිමින් ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට සමත් විය. එහිදී භාරතීය ජනතා පක්ෂය ආසන 40ක් ද ජනතා දාල් පක්ෂය ආසන 40ක් ද දිනා ගැනීමට සමත් විය.

ඒ කෙසේ වෙතත් ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට කොංග්‍රසයට හැකිවනු ඇතැයි ඉන්දීය දේශපාලන විචාරකයන්ගේ අදහසය. මේ අතර කර්ණාටක ප්‍රාන්තයේ පැවති මැතිවරණයෙන් තම පක්ෂයට ජයග්‍රහණය ගෙනදීම සම්බන්ධයෙන් සෝනියා ගාන්ධි විශේෂ ස්තුති කතාවක් ද පැවැත්වීය. එහිදී ඇය පැවසුවේ ‘කොංග්‍රස් පක්ෂයට මෙවන් ඓතිහාසික ජනවරමක් ලබාදීම සම්බන්ධයෙන් කර්ණාටක ජනතාව වන ඔබ සැමට මගේ හදවතින්ම ස්තුතිය පුද කරමි. මේ ජනවරම ජනතාවට හිතවාදී වූ රජයක් සඳහා වගේම, දුප්පතුන්ට හිතවත් රජයක් වෙනුවෙනුත් දේශපාලන බෙදීම් නැති දූෂණය ප්‍රතික්ෂේප කරන රජයක් වෙනුවෙනුත් ගොඩ නැඟුණකි’ යනුවෙනි. එමෙන්ම ඇය තවදුරටත් පැවසුවේ ප්‍රාන්ත සංවර්ධන කටයුතු වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබාදෙන බවයි.

ගාන්ධිලාට බලයට එන්නට නොහැකියයි පැවසූ බොහෝ දෙනාට, මේ වන විට කර්ණාටක ප්‍රාන්තයෙන් පිළිතුරු ලැබෙමින් පවතී. එම පිළිතුරු කවරාකාර බලසම්පන්න ද යන්න මෝදිට මේ වන විටත් අවබෝධව ඇතිවාට සැක නැත. එහෙත් මැතිවරණයක ප්‍රතිඵල යනු සැණින් මිදී, සැණින් දියව යන හිමකන්දක් නොවේ. එනිසා හිමකන්දේ ස්වභාවය කවරේද යන්න වටහා ගැනීමට තවමත් කල් වැඩිය. එහෙත් අඩියටම වැටී සිටිනවා යැයි කියූ ගාන්ධිලා මේ වන විට යළිත් හිස ඔසවමින් සිටී. එනිසා පිටියේ ස්වභාවය කවරේද යන්න දැනගෙන ඔවුන් සටන්බිමට පැමිණ සිටින බව නම් හොඳාකාරව පෙනෙන්නට තිබේ. එය ඔවුන්ගේ ඉදිරි ගමන් මගේ සලකුණයි.

නව අදහස දක්වන්න