අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් පිලට ත්‍යාග මුදල ලෙස අමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6කට වැඩි ගණනකි.
නවසීලන්තය සමඟ නිමාවූ ටෙස්ට් තරගාවලිය පරාජය වීමට පෙර අවසන් මහා තරගයේ ස්ථානයක් සඳහා බලාපොරොත්තු රඳවා සිටි ශ්‍රී ලංකාව එම පරාජයත් සමඟ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස් වැනි ස්ථානය දක්වා පහත වැටිණි.
ලබන මස 7 සිට 11 දක්වා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති අතර, අනුශූරයින්ට අමෙරිකානු ඩොලර් 800,000ක් හිමි වේ. අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට එක්ව සිටි කණ්ඩායම් 9ට දිරිගැන්වීමේ ත්‍යාග මුදල් ලබාදීම විශේෂත්වයකි.
වසර 2021 සිට 2023 දක්වා පැවැති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සියලු තෑගි මුදල් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් වෙන් කිරීමට අයිසීසිය පියවරගත් අතර, තෙවැනි ස්ථානයට පත්වූ දකුණු අප්‍රිකාවට අමෙරිකානු ඩොලර් 450,000ක්, සිවුවැනි ස්ථානයට පත් වූ එංගලන්තයට අමෙරිකානු ඩොලර් 350,000ක් ලබාදේ.
හයවැනි ස්ථානයේ සිට නවවැනි ස්ථානය දක්වා පිළිවෙළින් සිටි නවසීලන්තය, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය යන රටවලට අමෙරිකානු ඩොලර් 100,000 බැගින් පිරිනැමේ.
ප්‍රින්ස් ගුණසේකර
නව අදහස දක්වන්න