අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ජෝෂප් මයිකල් පෙරේරා කටයුතු කළා
අගමැති දිනේෂ් ගුණවර්ධන
ජෝෂප් මයිකල් පෙරේරා කථානායකවරයා, තමාව කථානායක කළ ආණ්ඩුවට එරෙහිව තීරණයක් දෙමින් රාජ්‍ය සේවකයන් ලක්ෂ ගණනාවක අයිතිවාසිකම් සුරක්ෂිත කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
හිටපු කථානායකවරයකුගේ අභාවය ගැන ශෝක යෝජනාවක් ගෙන ඒමට දිගු කලක් ගත කිරීම සුදුසු නැහැ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයකු ලෙස කටයුතු කරමින්, පාර්ලිමේන්තුවට දැවැන්ත ශක්තියක්, ආදර්ශයක් දිවංගත ජෝෂප් මයිකල් පෙරේරා මහතා ලබා දුන්නා. දිවංගත ජෝෂප් මයිකල් පෙරේරා හිටපු කථානායකවරයාගේ වියෝව පිළිබඳ ශෝක යෝජනාවට එක්වන්නේ, එතුමාගේ දීර්ඝකාලීන ජනතා සේවයට පළමු කොට අපේ ගෞරවය පිරිනමමින්.
ඒ වගේම මම සම්ප්‍රදායෙන් පිට යමක් කියන්න කැමතියි නියෝජ්‍ය කථානායකවරයා මූලාසනයේ සිටින විට හිටපු කථානායකවරයකුගේ වියෝව පිළිබඳ ශෝක යෝජනාව මෙතරම් දිගු කලක් කල් දැමීම සුදුසු නෑ. මේ බව අපි මීට ඉස්සෙල්ලා ඇති කරපු සාම්ප්‍රදායික පිළිවෙත් තිබෙනවා. ඒ නිසා ඒවා අනුගමනය කරන්නට කියලා ඉතාම ඕනෑකමින් නියෝජ්‍ය කථානායකවරයා මඟින් කථානායකවරයා හා කාර්යය මණ්ඩලයට දැනුම් දෙන්නට ඕනෑ. විශාල කාලයක් ගතවීම ගැන කනගාටු වෙනවා.
ඒ වගේම අපේ රටේ ඉතිහාසයේ කෘතහස්තභාවයෙන් හා මානව හිතවාදී ගුණාංග රැසකින් බිහිවුණු නායකයෙක් බව සඳහන් කරන්නට ඕනෑ. පාර්ලිමේන්තු කාලය කථානායකවරයා හැටියටත්, කැබිනට් ඇමැතිවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් විපක්ෂයේ ප්‍රධාන නායකයෙක් හැටියටත් එතුමා පාර්ලිමේන්තු කටයුතුවල දී සියලු දෙනා සමඟ මිත්‍රත්වයෙන්, සුහදතාවයෙන් කටයුතු කළා. ඒ වගේම යම් යම් තීරණ ගැනීමේ දී ස්වාධීනත්වය එතුමා පෙන්නුම් කළා. එතුමාට කථානායකවරයා හැටියටත්, ඒ වාගේම ඇමැතිවරයෙක් හැටියටත් හිමිවන්නේ ගෞරවයක්.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැමවිටම පෙනී සිටියා
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය, බලතල වරප්‍රසාද, මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෑම අවස්ථාවකම මැදිහත් වූ දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා කථානායකවරයකු, දේශපාලකයකු ලෙස ඉටුකළ සේවය අනුපමේය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කෙළේය.
ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත, හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ශෝක යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.
අපේ රටේ නිදහසින් පසුව පත්වූ කථානායකවරු අතුරින් සුවිශේෂී අගයක් ලංකාවේ පාර්ලිමේන්තුවට එක්කළ කථානායකවරයෙක් ලෙස දිවංගත ජෝෂප් මයිකල් පෙරේරා මහතා හඳුන්වන්නට පුළුවන්. එතුමාගේ අභාවය වෙනුවෙන් නැවත වතාවක් සාතිශය සංවේගය පළ කරනවා. ලසන්ත අලගියවන්න ඇමැතිවරයා සඳහන් කළ පරිදි 1989 පළමු සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස මමත් තේරිපත් වුණා. ඉතා ප්‍රබල ආණ්ඩුවක් එවකට තිබුණේ. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණේ. එජාපයේ පතාක යෝධයෙක් ලෙස ජෝෂප් මයිකල් පෙරේරා මහතා හඳුන්වන්නට පුළුවන්. එතුමා සියනෑ කෝරලයේ ජනතා කැමැත්තෙන් පත් වී එම පළාතේ ජනතාව නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. විවිධ ඇමැති ධුර දැරුවා. එතුමාගේ පළාතේ ජනතාවට විතරක් නොවෙයි, රටේම ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා එතුමා කටයුතු කළා.
පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ඔහු කටයුතු කළේ නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
කොතරම් වාද විවාදවල පැටලුණත් ඉන් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ජෝෂප් මයිකල් පෙරේරා මහතා කටයුතු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝකය පළ කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
මානව හිතවාදීව දේශපාලනය කළ එතුමන්ගේ දේශපාලන ජීවිතයෙන් තරුණ දේශපාලනඥයන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. අප සමඟ ප්‍රතිවිරුද්ධ දේශපාලනයේ නිරත වුණත් එතුමාගේ දේශපාලනය හැමදාමත් අගය කරනවා.
මානව හිතවාදී දේශපාලනයක නියැළුණා
ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත්
අවංක මානව හිතවාදී දේශපාලනයක හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා නියැළුණු බව සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කෙළේය.
සභානායකවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
තමන්ගේ මතය නොබියව ඉදිරිපත් කිරීමටත්, ගැඹුරු දේ සරලව පැහැදිලි කිරීමටත් එතුමන් සමත් වුණා.
1964 කාලවකවානුව තුළ ජා-ඇළ නගර සභා මන්ත්‍රීවරයෙක් විදියට තමයි එතුමා සක්‍රිය දේශපාලනයට පිවිසුණේ 1976 පැවැති අතුරු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන එතුමා 1978 මැයි 18 වැනි දින සිට 2015 ජුනි 26 වැනි දින දක්වා ඒ මහතා වසර 38කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැතිකම්, කැබිනට් ඇමැතිකම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ 17 වැනි කථානායකවරයා ලෙස ජනතාවට අනුපමේය මෙහෙවරක් සිදු කළා. එතුමා මහජන සේවාව කුඩා තැනකින් ආරම්භ කරලා තමයි ජාතික දේශපාලනයට පිවිසියේ. තමන්ගේ දේ ඉදිරිපත් කරන්න නොපැකිළි වුණ ඒ මහතා කරන සියලු දේ නිවැරැදිව කරන්න කටයුතු කළා.
පාර්ලිමේන්තු සේවකයකුගේ දරුවකුට සුදුසුකම් මත රැකියාවක් දුන්නා
මන්ත්‍රී වජිර අබේවර්ධන
පාර්ලිමේන්තුවේ වසර 20ක් සේවය කළ සේවකයකුගේ එක් දරුවකුට සුදුසුකම් මත පාර්ලිමේන්තුවේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව සලස්වා දුන්නේ හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝකය පළ කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසීය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවැසීය.
එපමණක් නොව සේවකයන්ට සුදුසුකම් මත ඉහළට යෑම, අසනීප නිවාඩු නොගන්නා සේවකයන්ට දීමනාවක් ලබා දීම, විදෙස් පුහුණුවල යෑමට අවස්ථාවක් උදාකරදීම වැනි දේවල් ආරම්භ කළේ ජෝෂප් මයිකල් පෙරේරා මහතායි.
එතුමන්ගේ පවුලේ අයට, එක්සත් ජාතික පක්ෂයෙත්, ජනාධිපතිවරයාගෙත් ශෝකය පළ කර සිටිනවා.
තරාතිරම නොබලා හැම දෙනාටම ශක්තියක් වුණා
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තුවේ විවිධ තරාතිරම්වල ඉන්න හැම දෙනාගේම හදවතේ ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ නාමය නිධන්ගතව තිබෙන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝක යෝජනාවේදී මේ බව පැවසීය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
පාර්ලිමේන්තු සේවකයන්ට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති උසස් වීම් පිළිබඳ ප්‍රශ්නයට සංවේදීව මැදිහත්ව ඒවාට විසඳුම් ලබා දුන්නා.
එතුමන්ගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටින පවුලේ සැමට නිදහසේ ජනතා සභාවේ සංවේගය පළ කර සිටිනවා.
වත්මන් ජනපති- හිටපු ජනපතිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්න
මන්ත්‍රී එරාන් වික්‍රමරත්න
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන් ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවැසීය.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
ජනාධිපතිවරුන් එසේ කටයුතු කරනවිට ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මඟහැර යා නොහැකියි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමාගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් දෙන්නෙකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමැතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ට ආදර්ශයෙන්ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්.
අපක්ෂපාතිව වැඩකළ කථානායකවරයෙක්
හිටපු කථානායක චමල් රාජපක්ෂ
ජෝෂප් මයිකල් පෙරේරා මහතා කථානායක ධුරය දරන කාලයේ අපක්ෂපාතිව වැඩ කළ බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝකය පළ කරමින් චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
එතුමා කථානායකවරයා ලෙස කටයුතු කරද්දී කළ කී දෑ අධ්‍යයනය කිරීමෙන් බොහෝ දේ උකහාගත හැකියි.
මම එතුමාව මුලින්ම හඳුනා ගත්තේ 1985දී. ඒ මුල්කිරිගල අතුරු මැතිවරණයේදී. ඒ මැතිවරණයේදී එතුමා ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වුවත්, විරුද්ධ පක්ෂයේ මාත් සමඟත් ඒ කාලයේ සුහදව කටයුතු කළා. මැතිවරණයක් කිවුවම ඇන කොටා ගන්න ක්‍රමයක්නෙ තියෙන්නේ. නමුත් එතුමා ආදර්ශයෙන් අපේ හිත දිනා ගෙන කටයුතු කළා. එතැනින් තමයි මම එතුමා හඳුනා ගත්තේ.
පොඩි මිනිසුන් වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
පොඩි මිනිසුන් වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ දේශපාලනඥයකු ලෙස හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පෙන්වා දිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) පැවැසීය.
දිවංගත හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පිළිබඳ ශෝකය පළ කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
එතුමාගෙන් සෑම දේශපාලනඥයකුට ගත හැකි ආදර්ශයන් රැසක් තිබෙනවා. මම ජනාධිපති ධුරය සඳහා තරග කරන විට ජෝෂප් මයිකල් පෙරේරා මහතා විශාල වැඩ කොටසක් කළා.
මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට විශාල කැලලක් උපරිම ක්‍රියාමාර්ගය ගන්න
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී යෝජනාවක්
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැලලක් සහ අපකීර්තියක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ලෙස අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගතයුතු බවට පක්ෂ නායකයන් පිරිසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ (26) යෝජනා කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රැස්වු අතර මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු කරන බවට නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ .සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, චමල් රාජපක්ෂ සහ සී. බී. රත්නායක යන මහත්වරුන් මෙම ඉල්ලීම සිදු කර ඇත. මේ අනුව නියෝජ්‍ය කථානායකවරයා සහ සභානායක අැමැති සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් කථානායකවරයා සමඟ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ඇත.
නව අදහස දක්වන්න