මැති සබේ ඇතැම් කමිටුවලදී විපක්ෂ මන්ත්‍රීන්ට අයුතු ලෙස බැට දෙනවා | දිනමිණ

මැති සබේ ඇතැම් කමිටුවලදී විපක්ෂ මන්ත්‍රීන්ට අයුතු ලෙස බැට දෙනවා

පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටුවලදී නීතියට පිටින් ගොස් ප්‍රශ්න අදිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසාධාරණ ලෙස පහර ගැසීමට උත්සාහ කරන බවත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (26) දිනට නියමිත කටයුතු ආරම්භයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ කරුණ නියෝජ්‍ය කථානායකවරයාගේ අවධානයට යොමු කළේය. ලක්මන් කිරිඇල්ල මහතා එහිදී මෙසේද සඳහන් කළේය:

සෑම කාරක සභාවකටම සීමා තියෙනවා. ඒත් සමහර සභා නීතියට පිටින් ගිහිල්ලා ප්‍රශ්න අදිනවා. කෝප් කමිටුව යම් සිද්ධියක් ගැන පරීක්ෂණයක් කරන්න නම් ඒ ගැන විගණන විමසුමක් තියෙන්න ඕනැ. එහෙම දෙයක් නැතුව පරීක්ෂණ කරන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක රූපවාහිනිය පෙන්නනවා. මේක අපට කරන බලවත් අසාධාරණයක්. විගණන විමසුම් විතරයි ගන්න පුළුවන්. නමුත් නිලධාරීන් ඔක්කොම ගෙන්නනවා. මහවැලි එකෙ ඔක්කොම ගෙන්නුවා. ඉඩම් ප්‍රශ්න රස්සා දෙන ක්‍රමය ඔක්කොම සාකච්ඡා කරනවා. මේවා විගණන විමසුම්වල නැහැ. කෝප් එක දාල තියෙන්නෙ විගණන විමසුම්වලට විතරයි. මමයි සභානායකතුමායි තීරණය කළා කථානායකවරයා හමු වෙලා මේ සභාපතිවරුන්ට උපදෙස් දෙන්න.

නියෝජ්‍ය කථානානයක අජිත් රාජපක්ෂ මහතා:

මම මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරවන්නම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා:

මම හිතන්නේ මෙතුමා මේ කියනවා ඇත්තේ පසුගිය දිනක කෝප් කමිටුව වෙත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේදී සාකච්ඡා කළා ඉඩම් වගයක් ලබාදීම සම්බන්ධයෙන්. කිරිඇල්ල කියලා කෙනෙකුට ඉඩම් ලබාදීමක් සම්බන්ධයෙන්. මම හිතන්නේ මෙතුමා මේ කතා කරනවා ඇත්තේ ඒක ගැන වෙන්න ඇති. ඒ නිසා වරදක් සිදුව තිබෙනවානම් එය නිවැරදි කරන්න.

සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා:

මමත් පාර්ලිමේන්තු ඇවිත් වසර 23ක් . කෝප් කමිටුවල වැඩකරලත් තිබෙනවා. හිටපු සම්භාවනීය සභාපතිවරුන් එක්ක කටයුතු කළා. මහාචාර්ය විශ්වා වර්ණපාල, ඩියු ගුණසේකර වැනි අයත් සමගත් එම කමිටුවල වැඩකළා. කෝප් කමිටුවක කටයුතු සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පොතක් පවා ලියා තිබෙනවා. මම හිතන්නේ කතානායකවරයාගේත් අවධානය යොමුකර තමන්ගේ වපසරිය තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කතාකිරීම හොදයි කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය ලිඛිතව යොමුකිරිමටත් අපේක්ෂා කරනවා.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

 

නව අදහස දක්වන්න