පොසොන් උත්සවයට සමගාමිව රට පුරා විහාර සංවර්ධනයට රු. මිලියන 100ක් | දිනමිණ

පොසොන් උත්සවයට සමගාමිව රට පුරා විහාර සංවර්ධනයට රු. මිලියන 100ක්

අනුරපුරට දැනටමත් ලක්ෂ 31ක් පිරිනමලා

මෙවර පොසොන් උත්සවයට සමගාමිව රු. මිලියන 100ක පමණ මුදලක් යොදවමින් දිවයින පුරා පිහිටි විහාරස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයා විසින් වෙන් කර තිබෙන බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද අනුරාධපුර දිසාපතිවරයා වෙත දැනටමත් ලක්ෂ 31 ක ප්‍රතිපාදන යොමු කර තිබෙන බවද කී ලේකම්වරයා, මීට පෙර රාජ්‍ය වෙසක් උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 250ක මුදලක් ලබා දුන්නත් පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ 50ක් බවද මෙහිදී සඳහන් කළේය.

එම ලක්ෂ 50ක මුදලින්ද පැවැති විදුලි ගැටලුව විසඳා ගැනීම ලක්ෂ 35ක මුදලක් වැයූ බවද පැවසීය. එහෙයින් ඉතිරි වූ ලක්ෂ 15ක මුදලින් රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ නායක හිමියන්ගේ කැපවීම, සම්බන්ධතා උපයෝගි කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය අභිමානවත්ව පැවැත්වූ බවත් සඳහන් කළේය.

ලේකම්වරයා මේ අදහස් පළ කළේ ඊයේ (26) නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. පසුගියදා කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වූ රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි. නායක හිමිවරුන්, ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා මේ අවස්ථාවට සහභාගි වූහ.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න