බෝසත් කුද්දාලයෙනි, මේ තපස කවරේද...? | දිනමිණ

බෝසත් කුද්දාලයෙනි, මේ තපස කවරේද...?

ඉන්දියාවෙන් ඊයේ කතා දෙකක් ආරංචි විය. නව පාර්ලිමේන්තුවකට ඉන්දියාව ඊයේ ගොඩවැදුණු බව එකකි. අනික තමාගේ වැටුණු සෙල්ෆෝනය සොයා ගැනීම සඳහා ජලාශයක් හිස් කළ නිලධාරියෙකුගේ කතාවය. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී මේ නිලධාරියාගේ සෙල්ෆෝනය ජලාශයට වැටුණේය.

ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයේ කන්කර් දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරියකු වන ඒ මහතා, මේ සඳහා පිළියමක් කල්පනා කළේය. කෙර්කටා වේල්ල මත සිට ඔහු අණ දුන්නේ, කිමිදුම්කරුවන් යොදා එය සොයා දෙන ලෙසය. කිමිදුම්කරුවන් වෙත එවැන්නක් සොයා ගැනීමට නොහැකිවූ කල්හි ජල පොම්ප යොදා ගනිමින් ජලාශය හිස් කරන ලෙස ඔහු කනිෂ්ඨ නිලධාරීන්ට නියෝග කළේය.

‘පොඩි එකාගේ ආශාව’ සැපිරීම සඳහා, දින 3ක් පුරා, මිලියන 2කට වැඩි ජල ලීටර් ප්‍රමාණයක් පිටතට ඇද දැමීමට සිදු විය. ගිම්හාන සමයේ අක්කර 1500කට අධික භූමියකට සැපයීම සඳහා වන මහා ජල කඳක් ඒ අනුව අපතේ ගියේය.

කතාව කියවාගෙන යද්දී පාඨකයාට සිතෙනු ඇත්තේ සෙල්ෆෝනය ජලාශයේ බැම්මේ රැඳී ‘අර යකා’ වතුරට වැටුණා නම්, හොඳය කියාය. මේ අප්‍රියජනක වැනි බඩුවකි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ඔහු කළේ ද මේ පන්නයේම වැඩකි. තමන්ගේ ජනාධිපති ආශාව මුදුන්පත් කර ගැනීම සඳහා ඔහු මේ රටේ බලශක්තිය ‘බල්ලාට දමා’ කටයුතු කළේය. එවැනි නිලධාරීහු තරම් හෙණයක් රටකට නැත. මේ ජාතියේ චරිත රටේ තීරණ ගැනීමට නොව, වැටකට හිටවීම ද භයානකය.

එදා සිට අපි වැටකට හිටවන්නේ ද පැළවූ පසු, අතු ටික කඩා පොහොරකට හෝ යෙදිය හැකි ගසකි. එහෙම නැත්නම් යටි වගාවකට සුදුසු ශාකයකි. මේ ජාතියේ එකෙක් වැටකට හිට වා, පැළවුවහොත් එය වගා පාළුවක් වනවා මිස, වැටේ කාර්යය ඉටු කරන්නේ නැත.

වැටක් යනු රැකවරණය සඳහා ඇති කරන්නකි. ශාසනය සඳහා ඇති රැකවරණය සිව් සේනාවෝය. එහිදී ද පෙරටු වන්නෝ භික්ෂුහුය. අත්හැරීම හුරු කිරීම එකල භික්ෂු ලකුණය. මේ පිළිබඳව සද්ධර්මරත්නාකරයේ, කුද්දාල පණ්ඩිතයන් පිළිබඳ කතාවේ එන සඳහන අනුව, විජිතයක් ජයගත් රජකමට ද වඩා තපස අගනේය.

එවන් භික්ෂු ජීවිතයක් සඳහා බුදුහු ද අනුදැන වදාළ සිරිතකි, පිණ්ඩපාතය. එය ගතමනාපාතයක් හෝ වෛරයක් පාත්තරයේ පුරාව ඒ තුළට තණ්හාව දමන මෙන් කරන ආරාධනයක් ද නොවිය යුත්තේය. පිණ්ඩපාතය පිණිස, පිළිවෙත සරු මහා සඟ වඩින කල්හි, ගිහි අප කළ යුතු දේ අපි දනිමු. අප නිවෙස්හි ලිප් තබන ආහාරයේ අග්‍ර ඵලය, බුදුපාමොක් මහා සඟ විෂයෙහි, පූජා කරනුයේ, ගිහි යුතුකම මනාව අප දන්නා හෙයිනි. ඒ සඳහා වඩිනා මහ සඟ සඳහා ද බුද්ධ විනයේ පිළිවෙතක් ඇතැයි අප කියවා ඇත්තෙමු, ඒ කාරණා අප විෂයෙහි කැප නැත්තේ වුවද අප දන්නා පමණට, කුමක් හෝ ආකාරයක් මිස ඉලක්කගත දෙයක් අපේක්ෂාවෙන් පිඬු සිඟා නොවැඩිය යුත්තේය. මේ සිඟමනක් නොවේ. සිඟමන් නම් යදින්නේය. මහ සඟ ඒ නිවස හෝ පුද්ගලයා ඉදිරිපිට නිහඬ වතෙන් සිටින්නේය. ඒ ගමනේදී භික්‍ෂුව තමාගේ දකුණත මැනවින් සිවුර රඳවා ගත යුතුය. සන්සුන්ව ගම දෙසට පියවර තැබිය යුත්තේ, වියගහක දුර ප්‍රමාණයක් ඉදිරිය බලාය. පොහොසත්, දුප්පත්, උස් කුල, පහත් කුල යැයි නොසලකා සියලුම නිවෙස් සඳහා වැඩම කළ යුත්තේය. ආහාරයේ රසවත් බව ද නොසලකා, කවරෙකු විසින් දෙන්නේ දැයිද නොසලකා භික්‍ෂුව සැදැහැවතුන් විසින් දෙනු ලබන ආහාර පිළිගත යුතුය. පිඬු පිණිස වඩිනා භික්‍ෂුන් වහන්සේ ගෙදරට තරමක් ඈතක දුරින් ඉදිරිපස දොර පැත්තේ සිටගත යුතු ය.

භික්ෂුව වහා ඇතුල් නොවිය යුතු අතර වහා පිටත්ව ද නොයා යුතුය. ගෙදර ඇත්තන්ට බඹයක් පමණ ඈතින් ළංව ඔවුන් අහර පිළිගැන්වීම සූදානම් දැයි දැන ගත යුතු අතර, ඔවුන් ඒ සඳහා අකමැති නම් එතැනින් පිටව යා යුතුය. අහර පිළිගැනීමේ දී භික්‍ෂුව පාත්‍රය දෑතින්ම අහර පූජා කරන්නා වෙත ඉදිරිපත් කළ යුතුය. භික්‍ෂුව, අහර පිළිගන්වන්නාගේ මුහුණ දෙස නොබැලිය යුතුය, පිළිගන්වන ඔහු හෝ ඇය සමඟ සිනාසීම හෝ කතා කිරීම නොකළ යුතුය. විශේෂ ආහාරයක් ගැන ද කතා නොකළ යුතුය. බත් පිළිගැන්වූ බැතිමතා වෑංජනයක් පිළිගැන්වීමට සූදානම් වන්නේ නම්, භික්‍ෂුව ඊට සූදානම් විය යුතුය, එහෙත් ඊට අකමැත්තේ නම්, එතැනින් ඉවත්ව යා යුතුය. පාත්තරයෙන් භාගයක් පිරෙනතුරු පමණක් පිණ්ඩපාතය පිළිගෙන, අවස්ථාව පැමිණෙන විට පිණ්ඩපාත චාරිකාව නැවැත්විය යුතුය. කෑදරකම හෝ බොහෝ ආහාර ලබාගැනීම භික්‍ෂුවකට සුදුසු නොවේ.

මේ අප දන්නා තරමෙන්, ඒ වතේ තරමය. ආණ්ඩුව සල්ලි දෙන්නේ නැහැ කියා පාත්තරය රැගෙන පොළේ ගොස් පාත්තරය මුදලින් පිරවීමක් පිළිබඳව, මෙහි වතක් නැත්තේය. සල්ලි ඉල්ලා යන්නේ හිඟමනේ මිස, පිණ්ඩපාතයේ නොවේය. එහෙව් දුගීන් වෙත මේ කාලයේ හැටියට රුපියල් දහයක්, විස්සක් අපි ලබා දෙන්නෙමු. ඊට වඩා අඩුවෙන් දුන්නහොත්, බස් හෝල්ට් එකේ සිටින සියලු දෙනා ඉදිරියේ, ඒ දුගියා අපට විස්සේ කොළයක් දික් කරන්නේය. දෙනෝදාහක් ඉදිරියේ මේවාගේ මඩ කන්නට නොහැකි නිසාත්, වැරහැලි නොඇන්දා මිස අපිදු දුගියන් බැවින්, යාචකයෙක් ඈතින් එන විට අපට කෝල් එකක් එන්නේය. ඒ ආදී ගැලවිජ්ජා ප්‍රගුණ කර යන්තම් දවස ගෙවන අපට, චැලෙන්ජර්ධාරි යාචක පිරිසක් ද පහත් වී තිබේ.

අනේ ! ඒ මහ පර්වතයේදී ‘ධම්ම රාජස්ස සාවකා තවෙව අනුකම්පාය ජම්බු දීපා ඉදා ගතා...’ යැයි මහ මහින්ද රහත් අනුබුදු හිමියෝ දෙසූහ. පොසොන් සඳ නැඟ එන මොහොතේ ඒ පිරිසට ‘අනුකම්පාදායා’ කරනවා හැර, මේ තියෙන ප්‍රශ්නවල හැටියට අපට කරන්නට දෙයක් නැත.

ඉන්දියාවේ එකා ෆෝන් එක වැටුණු කළ, වැවක් හිස් කළාසේ, පඬු වස්ත්‍ර පෙරවා යමෙක් ශාසනය හිස් කරන්නේ නම්, ඒ තන්හි අප නැමෙන්නේ නැත.

නව අදහස දක්වන්න