කබඩි රැස්වීමේදී යුද හමුදාපතිවරයාට අපහාස කළ රත්නපුර දිස්ත්‍රික් ලේකම්ට වැඩ වරදින ලකුණු | දිනමිණ

කබඩි රැස්වීමේදී යුද හමුදාපතිවරයාට අපහාස කළ රත්නපුර දිස්ත්‍රික් ලේකම්ට වැඩ වරදින ලකුණු

ෆවුස් මොහොමඩ්

ක්‍රීඩා පනතට පටහැණිව නිලවරණ කමිටුව පත් කළ බව තහවුරු වීම හේතුවෙන් නැවත නිලවරණ කමිටුවක් පත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබුණු උපදෙස් මත පසුගියදා පැවති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමේදී යුද හමුදාපතිවරයාට අපහාස කරමින් අදහස් පළ කළ රත්නපුර දිස්ත්‍රික් කබඩි සංගමයේ ලේකම් සනත් සමරසේකර මහතාට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරිමට නියමිතව ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ.

රටේ දැඩි ආර්ථික අර්බුදයක් පවතින බවත්, ප්‍රවාහන වියදම් අධික බවත් කියමින් සූම් තාක්ෂණය ඔස්සේ කැඳවූ බව කියන එම විශේෂ මහා සභා රැස්වීම අතරතුර ශ්‍රී ලංකා යුද හමුදා කබඩි ක්‍රීඩා සමාජය නියෝජනය කළ හමුදා නිලධාරියාට තර්ජනාත්මක ස්වරූපයෙන් බැණ වදින ආකාරය සහ යුද හමුදාපතිවරයාට අපහාස වන ආකාරයෙන් ඉතා අවිනීත ලෙස ප්‍රකාශ නිකුත් කර ඇතැයි වාර්තා වේ. එම රැස්වීමේ පටිගත කළ හඬ පටයේ එම සියලු තොරතුරු ඇතුළත් වන බවත්, යුද හමුදා කබඩි සංගමය විසින් එම හඬ පටය සමඟ ලිඛිත පැමිණිල්ලක් යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට භාරදීමට නියමිතව ඇති අතර, අනතුරුව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයාට ද එහි පිටපතක් සහ පැමිණිල්ලක් භාරදීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම රැස්වීම අධීක්ෂණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ කබඩි සම්බන්ධිකාරක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා පත් කර තිබූ බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගෙන් ද වාර්තාවක් කැඳවනු ඇතැයි වාර්තා වේ.

ප්‍රසිද්ධ සභාවකදී සිවිල් පුද්ගලයකු විසින් රටේ ඉහළම තනතුරක් වන යුද හමුදාපති ධුරය හෑල්ලුවට ලක් කරමින් ඊට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සදාචාර විරෝධී සහ නීති විරෝධී බවට බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකින් පසු සනත් සමරසේකර මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ද පවතින බවට කබඩි ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව රැසක් මත පළ කරති.

සූම් තාක්ෂණය ඔස්සේ කබඩි විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමෙන් ප්‍රතිවාදී පාර්ශ්ව රැසක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්වීමට ඇති හැකියාව සම්බන්ධව එම රැස්වීමට පෙර ‘දිනමිණ’ පුවත්පත කරුණු වාර්තා කළ අතර, එය ඒ අයුරින්ම සිදු කරමින් ප්‍රතිවාදී පාර්ශ්ව අදහස් පළ කිරිමේදී බාධා කිරීම් සහ ඔවුන් සූම් තාක්ෂණයෙන් ඉවත් කිරීමට හෝ ඔවුන්ගේ හඬ අත්හිටුවීමට (Mute) කිරීමට කටයුතු කළ බවට තොරතුරු වාර්තා වේ.

සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීම කැඳවීමේදී රටේ ආර්ථිකය අයහපත් බවට සහ ප්‍රවාහන වියදම් අධික බවට රට පුරා පිහිටි සාමාජික කබඩි සංගම් අතර ව්‍යාජ තොරතුරු පතුරුවාලීමට කටයුතු කළ බවට කබඩි සම්මේලනයේ වැඩ බලන ලේකම්වරයා වන කේ. යෝගරත්නම් මහතාට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවත් බොහෝ පාර්ශ්ව පෙන්වා දෙති.

නව අදහස දක්වන්න