පාසල් දරුවන්ට සරල දිවා ආහාර වේලක් දීම කෙරෙහි මිලින්දගේ අවධානය | දිනමිණ

පාසල් දරුවන්ට සරල දිවා ආහාර වේලක් දීම කෙරෙහි මිලින්දගේ අවධානය

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට සරල දිවා ආහාර වේලක් සැපැයිය හැකි ක්‍රමවේදයක් සොයා බැලීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පියවර ගෙන ඇත.

ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි අක්ෂය පත්‍ර පදනම පාසල් පවත්වන දිනවල දිනපතා එරට පාසල් 22,367ක සිසු සිසුවියන් මිලියන 2.3කට දිවා ආහාරය සපයන අතර, ඒ පිරිවැයෙන් 50%ක් ඉන්දීය රජය හා ඉතිරිය දානපතියන්ගෙන් සපයන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ සඳහා විශාල මුළුතැන්ගෙවල් 67ක් ඉන්දියාවේ ප්‍රාන්ත 15ක පවත්වාගෙන යන අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගියදා කර්නාටක ප්‍රාන්තයේ ඛෙංගාලෝර්හි පිහිටි අක්ෂය පත්‍ර පදනමේ මූලස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

එහි සභාපති මධු පණ්ඩිත් දාස් සහ පදනමේ උප සභාපති ශ්‍රී චංචලපති දාස මහත්වරුන් මුණගැසී ඔවුන්ගේ වැඩපිළිවෙළ අධ්‍යයනය කර තිබෙන අතර, අත්හදා බැලීමේ පියවරක් වශයෙන් වසර දෙකක් සඳහා ජංගම රථ දෙකකින් පාසල් දරුවන්ට පෝෂ්‍යදායි සරල ආහාර වේලක් සපයන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අක්ෂය පත්‍ර පදනම මෙහිදී එකඟතාව පළ කර තිබේ.

නැඟෙනහිර කොළඹ ප්‍රදේශයේ වයස්ගත ජන කොටස් සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර සහිතව සැනසිලි පදනම වසරක කාලයක් කරගෙන ගිය දිවා ආහාර වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න