හෝමාගම පොසොන් කලාපය හෙට සිට... | දිනමිණ

හෝමාගම පොසොන් කලාපය හෙට සිට...

පැමිණෙන බැතිමතුන්ට ප්‍රවාහන පහසුකම්

තුන් වසරකට පසු මෙවර හෝමාගම, පිටිපන ආශ්‍රිතව පැවැත්වෙන පොසොන් උළෙල හෙට (3) රජය හා පෞද්ගලික අංශය එකතුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මීට සමගාමිව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇති නීලගිරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක්ද මේ මස හෙට (3) සිට 5 තෙක් තෙදින තුළ දහවල් 2.00 සිට රාත්‍රී 10.00 දක්වා හෝමාගම ශ්‍රී සුගත බිම්බාරාමයේදී පැවැත්වේ.

 බැතිමතුන්ගේ වන්දනාමාන වෙනුවෙන් හා රණවිරුවන්ට පින් පිණිස ත්‍රිවිධ හමුදාව විසින් පනාගොඩ යුද හමුදා කඳවුරෙහි ස්ථාපිත අවුකන බුදු පිළිමයක අනුරුවක් ප්‍රදර්ශනය කෙරෙන මෙම පොසොන් උළෙලේදී අයි.ටී.එන්. ඔස්සේ විකාශය කෙරෙන ශීල ව්‍යාපාරය වෙනුවෙන් 1,200ක පමණ බැතිමත්හු සහභාගි වීමට නියමිතය. අතර දාන ශීල භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් බිම්බාරමයේදී සංවිධානය කර ඇත.

හරිත සරසවිය විසින් සංවිධානය කරන වෛද්‍ය සායනය සහ ලේ දන් දීමේ ව්‍යාපාරය, පොත් දන්සල, බොදු බැති ගී, රූකඩ සන්දර්ශන ඇතුළු සංස්කෘතික අංග රැසක් පැවැත්වේ. හැටදහසකට අධික පිරිසකට මහා බත් දන්සලක් සංවිධානය කරන මෙම උළෙලේදී යුද හමුදාව ගොඩගම සිට මීගොඩ දක්වා මහා කූඩු ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය. මේ පොසොන් උළෙල වෙනුවෙන් කොස්ගම සිට මහරගම දක්වා රාත්‍රී විශේෂ දුම්රිය සහ විශේෂ බස් රථ සේවාවක් සැපයේ. කිලෝමීටර් 10ක පමණ භූමිභාගයක සංවිධානය කෙරෙන මෙම පොසොන් උළෙල වෙනුවෙන් පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් සංවිධානය කර ඇති අතර, පෞද්ගලික වාහනවලින් පැමිණෙන මඟීන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලිසිය ඉල්ලීමක් කර සිටී.

මේ අතර හෝමාගම පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇතැයි එහි සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි. ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හා කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පළේ සිට අදියර දෙකක් යටතේ ප්‍රවාහන සේවා දෙකක් ක්‍රියාත්මකය.

අධිවේගී මාර්ගය හරහා පැමිණෙන බැතිමතුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණ එම ස්ථානයෙන් ආරම්භ කරන බස් රථ සේවාව හරහා හෝමාගම නගරය, දුම්රියපොළ අසල සුගත බිම්බාරාම විහාරස්ථානය, පිටිපන හන්දිය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හරිත සරසවිය (NSBM) දාම්පේ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ගොඩගම හන්දිය හරහා හයිලෙවල් මාර්ගය ඔස්සේ යළි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණිය හැකිය. අනෙක් බස් රථ සේවාව කොට්ටාව නගර මධ්‍යයෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ හරහා හෝමාගම නගරය, දුම්රියපොළ අසල සුගතබිම්බාරාම විහාරස්ථානය, පිටිපන හන්දිය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හරිත සරසවිය (NSBM) දාම්පේ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, ගොඩගම හන්දිය හරහා යළි කොට්ටාව නගරයට පැමිණිය හැකිය.

‘ධර්ම රශ්මී’ පොසොන් කලාපය එළඹෙන 03, 04 සහ 05 යන දිනවලදී පැවැත්වෙන අතර, දිනපතා සවස 06 සිට රාත්‍රි 12 දක්වා විනාඩි 15කට වරක් මෙම ප්‍රවාහන සේවාව නොමිලේ ක්‍රියාත්මක බව සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි .

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ මඟපෙන්වීම යටතේ, හෝමාගම පිටකොටුව (138) හා කොට්ටාව මොරගහහේන (129) පෞද්ගලික බස්රථ සංගම්වල බස් රථ හිමිකරුවන් විසින් මෙම සත්කාරයට දායකත්වය ලබා දී තිබේ.

උදුලා පීරිස්, කොට්ටාව - ප්‍රදීප් කුමාර

නව අදහස දක්වන්න