නීති විරෝධී වැඩ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න ආණ්ඩුව සූදානම් -ඇමැති ප්‍රසන්න රණතුංග | දිනමිණ

නීති විරෝධී වැඩ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්න ආණ්ඩුව සූදානම් -ඇමැති ප්‍රසන්න රණතුංග

නීති විරෝධී කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නේ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දිවංගත රෙජි රණතුංග මහතාගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පල පිහිටි එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය කාලයේදී කතා බහට ලක් වූ එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරනවා. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

එහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න සහ ඇමැතිවරයා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමක් සිදු වෙනවද?.

පිළිතුර - නැහැ. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිටම සාකච්ඡා වෙමින් පවතිනවා. සියලුම දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ආරාධනා කරලා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් හදන්න එන්න කියලා රටේ අර්බුද විසඳන්න. තවත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඒ සඳහා යම් කණ්ඩායමක් එකතු වෙනවා නම් ජනාධිපතිතුමා කල්පනා කරලා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි.

ප්‍රශ්නය - ඔබගේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඇමැතිකම් ඉල්ලා තිබෙන බව ප්‍රකාශ වෙනවා. නැත්නම් ඔවුන් විපක්ෂයට යනවාද?

පිළිතුර - කවුරුවත් එහෙම ඉල්ලලත් නැහැ. දුන්නේ නැත්නම් යනවා කියලත් නැහැ. ඒවා මේ මාධ්‍ය හදන ප්‍රකාශ. රට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සියලුම දෙනාටම අවබෝධයක් තිබෙනවා. අපි හැමෝම මේ ආණ්ඩුවට ශක්තියක් වෙන්න මේ අර්බුදයෙන් ගොඩ එන්න සහයෝගය දෙනව මිසක් කවුරුත් අගය වැඩි කරගන්න මේ වෙලාවේ කටයුතු කරලා නැහැ.

ප්‍රශ්නය - ඇමැතිකම් දුන්නේ නැත්නම් විපක්ෂයට යනවා කියලා ඇතැමුන් ප්‍රකාශ කරනවාද?

පිළිතුර - එක එක මතවාද තිබෙන අය ඉන්නවා. නමුත් පක්ෂයක් විදිහට එහෙම තීන්දුවක් අරගෙන නැහැ කියලා මං හොඳින් දන්නවා. පක්ෂයේ ලේකම්තුමාත් පසුගියදා ඒ ගැන මාධ්‍යයට ප්‍රකාශ කළා.

ප්‍රශ්නය - ආගම් ප්‍රශ්න විශාල ලෙස ඇති වෙමින් තිබෙනවා. ආණ්ඩුවක් ලෙස එයට මුහුණ දෙන්නෙ කෙසේද?.

පිළිතුර - මේවා පිටුපස කවුද ඉන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. සමාජ අරගලයක් හදලා රට විනාශ කරලා මිනිස්සු මරලා ගෙවල් ගිනි තියලා ජනාධිපතිතුමාව, මහින්ද මහත්තයව මරන්න සැලසුම් තිබුණා. ඒවා පිටුපස කවුද හිටියේ. ඒවාට සල්ලි වියදම් කළේ කවුද? සමාජ අරගලය අසාර්ථක වුණු නිසා දැන් ආගම් අතර අර්බුදයක් ඇති කරන්න යනවා. මේකත් අසාර්ථක වුණාම ජාතිවාද ඇති කරන්න උත්සාහ කරයි. මේවා කාගේ වුවමනාවට වෙන දේවල් ද කියලා මාධ්‍යවේදීන් ලෙස ඔබත් හිතන්න.

අරගලයේ දී වෙසක් එකට කළු කොඩි දානකොට, කළු වෙසක් කූඩු හදනකොට හුරේ දාපු අය අද ආගම වෙනුවෙන් කතා කරනවා. එදා අරගලයේ හිටිය කලාකරුවන් කරපු දේවල් රට දකිනවා. එතකොට මේවට සල්ලි වියදම් කරන්නේ කවුද? මේ ගැන රට තේරුම් ගන්න ඕනේ. ආගමික ප්‍රකාශ කළ කෙනා පමණක් නොවෙයි සමහර හාමුදුරුවෝ වෙසක් එකට කළු කොඩි දාපු එක හොඳයි කිවුවා. ඒවගේ ප්‍රතිඵල එනවා. සිස්ටම් චේන්ජ් කියලා හදන්න ආව අය කොයි වගේ අය ද කියලා අද රට දන්නවා. මං දැක්කා සමහර අය යූ ටියුබ්වලට ගිහින් කියලා තිබ්බා සල්ලි ආව හැටි. ඔතන එක එක අය හිටියා. පාතාලේ අය, ගණිකාවෝ, හිටියා. අපි ඕක වේලාසන කිවුවම අපිට දොස් කිවුවා. මට බැන්නා. හැබැයි දැන් ඒ අයට ඒක කියනවා. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මේක නෙමෙයි. රටේ වෙනසක් ඇති වෙන්න ඕනෙ කියන්නේ ආණ්ඩු වෙනසක් කරන්න නෙමෙයි. ක්‍රමවේදයේ වෙනසක් වෙන්න ඕනෙ. ඒකට මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් කරන්න අවශ්‍යයි. මේක තේරුම් ගන්න අවශ්‍යයි. බොරු කියලා වෛරය පතුරවලා කරපු අරගලවල ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා.

ප්‍රශ්නය - ජාත්‍යන්තර සංවිධාන පවා කියනවා කතා කිරීමේ නිදහස තිබිය යුතුයි කියලා ?

පිළිතුර - ඔය කියන රටවල්වල ඔය දේවල් කරන්න ඉඩ දෙනවාද ? දියුණුයි කියලා සම්මත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකුවට කතා කරන රටවල් පොඩි රටවල් පාගගෙන ඉන්නවා මිසක් ඒ රටවල්වල ඕව සිදුවෙනව ද කියල හොයල බලන්න.

ප්‍රශ්නය - මේ වන විට මන්ත්‍රීවරයෙක් රත්තරන් සමග අහුවෙනවා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කිව්වට ආණ්ඩුව මේ වනතෙක් කිසිම පියවරක් අරන් නැහැ නේද?

පිළිතුර - ආණ්ඩුව පැහැදිළිවම ඒ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න ඉඩ හැරලා තියෙනවා. අපි කාවවත් බේරගන්න ගියේ නැහැ. ආණ්ඩුවක් හැටියට අපි ඒවට උදව් කරන්නේ නැහැ කියන ස්ථාවරයේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ආණ්ඩුවත් සිටිනවා.

ප්‍රශ්නය - ඔහු කළ ප්‍රකාශ මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට අගතියක් වගේ නේද? මේ සම්බන්ධව මොනවද කියන්නෙ ?

පිළිතුර - ඔහු වැරැද්දක් කළා. දඩුවම් ලැබිල තිබෙනවා. දඩුවම් කළ යුතුයි කියන ස්ථාවරයේ අපිත් සිටියා. ඔහුට නීතිය ක්‍රියාත්මක කරයි. අපි දේශපාලනඥයින්ට කියලා තිබෙන්නේ නීතියට ඇඟිලි ගහන්න එපා කියා. නීතියෙන් පිට වැඩක් කරන්න අපි මැදිහත් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - චීන ජාතිකයෙක් මෙරටට ගැනීමට මන්ත්‍රීවරයෙක් යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒකට විපක්ෂය සහ මන්ත්‍රීවරු චෝදනා කරනවා. ඒ පිළිබද ආණ්ඩුව මොකද කියන්නේ ?

පිළිතුර - මේ පිළිබද ආණ්ඩුව මේ වන විට පරීක්ෂණයක් කරනවා. ආණ්ඩුව එවායින් නවත්තන්නේ නැහැ. ආණ්ඩුව නීත්‍යානුකූලව අවශ්‍ය දේවල් කරනවා. අණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද කියල භේදයක් නැහැ. එතුමා දැන ගන්න ඕන එම දඬුවම සමග, පාර්ලිමේන්තු එනව ද නැද්ද කියල තීරණය කරන්න ඕනෑ.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න