සැරිසර : මහ බැංකු අධිපති | දිනමිණ

සැරිසර : මහ බැංකු අධිපති

සම්පත් බණ්ඩාර

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව තවත් පුස්සක්, අසාර්ථක නාට්‍ය රංගනයක් ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය.

මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධ සිද්ධියයි. ඒ සඳහා නිශ්චිත පිළිතුර මේ පිළිබඳව පත් කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ලබා දී අවසන්ය. එම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයක් මඟිනි. මෙම ටෙන්ඩර් මණ්ඩලයට මහ බැංකු අධිපතිවරයා ඇතුළත් වී නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලය විසින් ගත් සාමූහික තීරණයට සිය අනුමැතිය ලබාදීම පමණි. එබැවින් මෙම සිද්ධියට ඔහුගේ සෘජු සම්බන්ධතාවක් නොමැති බව පැහැදිලිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා පත් කළ අර්ජුන මහේන්ද්‍රන් යනු කවරෙක්ද? රටක ආර්ථිකයට සෘජුවම බලපාන මෙවැනි බලගතු තනතුරක් සඳහා ඔහු සපුරා ඇති සුදුසුකම් හා පළපුරුද්ද කවරේද ? යන්න විමසා බැලීම කාලෝචිත වනු ඇත.

ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ ඉහළින් සමත් වූ ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව හා දර්ශනය යන විෂයයන් තුනටම බී.ඒ. (ගෞරව) හා එම්.ඒ. උපාධි ලබා ගැනීමට ඔහු සමත් විය. මෙරට නිදහස් අධ්‍යාපනයේ සාඩම්බර නිෂ්පාදනයක් වූ ඔහු තම මව්බිමට සේවය කිරීමේ අදහසින් යළි ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු ලෙස දිගු කලක් සේවය කළේය. 2001 වසරේ සිට 2004 දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ඉතා සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කළේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලොව ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක කළමනාකාර අධ්‍යක්ෂ ධුරය පිරිනමනු ලැබුවේ 2008 වසරේදීය. එතැන් සිට 2013 වසර දක්වා පස් වසරක් ඔහු HSBC පෞද්ගලික බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට අමතරව ඔහු එහි ජ්‍යෙෂ්ඨ උපාය මාර්ග උපදේශකවරයා ද විය.

HSBC පෞද්ගලික බැංකුව යනු ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර මූලස්ථානය කොට ගත් ලොව ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවකි. එය ලොව විශාලත්වයෙන් හත්වැනි බැංකුව වන 'HSBC Holding' හා අනුබද්ධ ප්‍රධාන පෞද්ගලික බැංකුවයි. ලොව පුරා රටවල් 43ක ශාඛා කාර්යාල 96ක් පිහිටා ඇති මෙම බැංකුව ලොව සුපිරි ධනවතුන් හා ව්‍යාපාරිකයන් සඳහා වෙන්වූවකි. මෙම බැංකුවේ තැන්පතුවක් ආරම්භ කළ හැකි අවම මුදල අමෙරිකන් ඩොලර් මිලියන පහකි. (රුපියල් කෝටි 65ක් පමණ) මෙම බැංකුව ලොව ධනවත් පුද්ගලයන්, ව්‍යාපාරිකයන් හා ව්‍යාපාරික පවුල් සඳහා උපදේශක සේවාවන් සැපැයීමද සිදු කරයි. අර්ජුන මහේන්ද්‍රන් මහතා එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙස එය ලොව පුරා ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් බවට පත් කිරීමට සුවිසල් මෙහෙයක් ඉටු කළේය. ඔහුගේ සේවා කාලය තුළ එහි තැන්පතු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 365ක් දක්වා වර්ධනය විය.

HSBC පෞද්ගලික බැංකුවේ මව් බැංකුව ලොව විශාලත්වයෙන් හත්වැනි ස්ථානයේ පසුවෙයි. 1865 වසරේ ආරම්භ වූ එය මේ වසරේ සිය 150වැනි සංවත්සරය සමරයි. රටවල් 73ක ශාඛා කාර්යාල 6100ක් පිහිටා ඇති එච්.එස්.බී.සී. බැංකුවේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 51කි. සේවකයන් සංඛ්‍යාව 257,603කි.

අර්ජුන මහේන්ද්‍රන් මහතා 2013 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ NBD බැංකුවේ ඉහළ තනතුරක් සඳහා ආරාධනා ලැබ එහි සේවයට එක් විය. 2007 වසරේ ආරම්භ කරන ලද මැදපෙරදිග කලාපයේ වැඩිම වත්කම් ඇති බැංකුව ලෙස මෙම බැංකුව එම වසරේ මැදපෙරදිග විශිෂ්ටතම බැංකුව ලෙසද හොඳම මූල්‍ය කළමනාකරණ ආයතනය ලෙසද ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.

අදක්ෂ පුද්ගලයෙකුට හෝ මූල්‍ය වංචාකරුවෙකුට ලොව විශාලතම බැංකුවක අනුබද්ධ බැංකුවක කළමනාකාර අධ්‍යක්ෂ ධුරය ද, මැද පෙරදිග ඉහළම වත්කම් ඇති බැංකු ජාලයේ මූල්‍ය වගකීම් ද පවරන්නේ නැත. අර්ජුන මහේන්ද්‍රන් යනු වත්මනෙහි ඉහළම ජාත්‍යන්තර කීර්තියක් ලද ලාංකේය මූල්‍ය විශේෂඥයා ලෙස හැඳින්විය හැකි පුද්ගලයාය. අපේ රට දැවැන්ත ආර්ථික ආගාධයක ගිලී ඇති මොහොතක මෙවැනි විශ්වීය බුද්ධිමතුන්ගේ සේවය අත්‍යවශ්‍ය කරුණකි.

ජාත්‍යන්තරව පිළිගත් මෙවන් පුද්ගලයකු මහ බැංකුවේ මුල් පුටුව හොබවන විට ජාත්‍යන්තර ආධාර ලබාදෙන රටවල් ද විශ්වාසයෙන් යුතුව තම ආධාර ලබාදීමට ඉදිරිපත් වෙයි. මහ බැංකුව ප්‍රමුඛ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ පසුගිය යුගයේ සිදු වූ මහා පරිමාණ වංචා දැන් ඔහුගේ තීක්ෂණ බුද්ධියට හසුවෙමින් එකින් එක හෙළිදරව් වෙමින් පවතී. ඔහු පදවියෙන් ඉවත් කිරීම සඳහා ගෙන යන ඝෝෂාවේ සැඟවුණු රහස එයයි.


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

Or log in with...