බැඳුම්කර නිකුතුව පූර්ණ විනිවිදභාවයෙන් සිදු වූවක් - මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් | දිනමිණ

බැඳුම්කර නිකුතුව පූර්ණ විනිවිදභාවයෙන් සිදු වූවක් - මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්වීමත් බැඳුම්කර නිකතුව පිළිබඳවත් විවිධ චෝදනාවන් එල්ල කරමින් විපක්ෂය වි‍රෝධතා දක්වමින් සිටින මොහොතක මෙම බැඳුම්කර නිකතුවේ දී විපක්ෂය කරන චෝදනා සත්‍ය ද අසත්‍ය ද යන්න සොයාබැලීම සඳහා විමර්ශනයක් සිදුවෙමින් පවතී. ඒත් ජනතාව දේශපාලනඥයන් වේදිකාවල දී කරනු ලබන ප්‍රකාශයන් පදනම් කරගෙන යම් යම් සිතුවිලිවලින් පසුවෙතත් මේ ‍චෝදනාවල සත්‍ය අසත්‍ය තාව කවරේද යන්න සෘජුවම පැහැදිලිකරන්නට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ස්වාධීන රූපවාහිනිය ඊයේ රාත්‍රියේ අවකාශ සලසාදෙනු ලැබිණි.

ස්වාධීන ‍රූපවාහිනිය “නඩුව” වැඩසටහන තුළින් ඔහු සමඟ පැවැති පිළිසඳරක දී විපක්ෂය විසින් කරනු ලබන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තම බෑණනුවන්ට අයත් සමාගමකට අයුතු ලෙස විශාල ලාභයක් ලැබෙන පරිදි බැඳුම්කර නිකුත්කළේ ද එම සමාගම හා තම බෑණනුවන්ට සබඳතාවයක් ඇත්ද නැත්ද යන්න පිළිබඳවත් තමන්ගේ පුරවැසිභාවය පිළිබඳවත් පැහැදිලිකරන්නට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවස්ථාවක් කරගත්තේය. එම සංවාදය මෙසේ ගෙනඑන්නෙමු.

* ප්‍රශ්නය - ඔබ ගැන කියමින් සාකච්ඡාව ආරම්භ කරමු.

පිළිතුර - මම දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප වූ රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ පුතෙක් . මම 1977 උසස් පෙළ අවසන් කරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අවුරුදු 3ක් එංගලන්තයේ අධ්‍යාපනය හදාරා 1983 දී මගේ පළමු රැකියාව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට බැදුණා.

 

* ප්‍රශ්නය - රාජකාරී ජීවිතයේ මුල් අවදිය මතක් කරන්න පුළුවන්ද ?

පිළිතුර - මම මහවැලි අධිකාරියේ ආර්ථික විද්‍යාඥයෙක් ලෙසට සේවය කළා. එයින් පසු මා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස සිටි කරුණාතිලක මහතා හමුවුණා. මම මහ බැංකු විභාගයට පෙනී සිට මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවයට බැඳුනා. මම එහි සේවය කරන කාලයේ වෙනත් ව්‍යාපෘති සඳහා මාව නිදහස් කළා.

ඒ යටතේ මුදල් අමාත්‍යාංශයේ, මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ වගේම කර්මාන්ත , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ රාජකාරි කරන්න ලැබුණේ හිටපු මහ බැංකු අධිපති වරයෙකු වූ ඒ. එස්. ජයවර්ධන මහතාගේ මැදිහත් වීම මතයි.

1983 සිට එක්සත් ජාතික පක්ෂ රජයේ යටතේ සේවය කළ මම 1994 චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වූ විට ඒ රජය යටතේ ද කාලයක් සේවය කළා. ඉන් පසු මම පෞද්ගලික අංශයේ සේවයට බැදුණා.

ඒ විදියට මා අවුරුදු 40ක් විතර ශ්‍රී ලංකාවේම රැකියාවේ නිරත වුණා. මම මහවැලි අධිකාරියේ වැඩ කරන කාලය තුළ ලංකාව පුරා ඇවිදින්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම කොළඹ , යාපනය, නුවර වැනි ප්‍රදේශවල නෑදෑ ඥාති හිතමිතුරන් රැසක් ඉන්නවා.

* ප්‍රශ්නය - ඔබේ මවුපියන් පිළිබඳ විස්තර කරනවා නම් ?

පිළිතුර - මගේ පියා සී. මහේන්ද්‍රන්. ඔහු දීර්ඝ කාලයක් රාජතාන්ත්‍රික නිලධාරියෙක් ලෙස සේවය කළා. ඔහු උපාධිය ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ මවත් එම සරසවියේම උපාධිය ලැබූ කෙනෙක්. මගේ මවුපියන් දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු අය. මේ වගේ පසුබිමක් තිබියදී තමයි මම විදේශිකයෙක් කියලා චෝදනා කරන්නේ.

* ප්‍රශ්නය - ඔබ සිංගප්පුරුවේ පුරවැසිභාවය ලබාගත්තේ ඇයි ?

පිළිතුර - මම 2001 වසරේ ආයෝජන මණ්ඩලයේ සභාපතිත්වයට පත්වෙලා වසර එකහමාරක් ඒ තනතුරේ කටයුතු කළා. 2004 වසරේ ආණ්ඩුව පෙරළීමෙන් පසු මම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ලංකාවේම රැකියාවක් ලබා ගන්න උත්සහ කළා. එහෙත් එවැනි රැකියාවක් ලබා ගැනීම අමාරු කාර්යයක් වුණා. මම අපක්ෂපාතීව වැඩ කළත් සමහරු උදවිය මාව එක්සත් ජාතික පක්ෂයේ අයෙක් විදිහටයි මට සැලකුවේ. මේ නිසා තමයි මට සිංගප්පුරුවට ගොස් රැකියාවක් ලබා ගන්න සිදු වුණේ. ඒ කාලයේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ , ඩලස් අලහප්පෙරුම වැනි දේශපාලඥයන් මාව ද්‍රවිඩ අන්තවාදියෙක් ලෙස හැඳින්වීමට ද කටයුතු කළා.

මම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සේවය කළ වෘත්තියවේදීයෙක්. කොහොම වුණත් මගේ පෞද්ගලික විශ්වාසය විදියට මා එක්සත් ජාතික පක්ෂයට ලැදි කෙනෙක්. ඒක මගේ පෞද්ගලික දේශපාලන මතයයි.

සිංගප්පුරුව ඒ රටේ ප්‍රතිපත්තියක් විදියට බුද්ධිමත් විදේශිකයෙක් ඒ රටට ඇවිත් සේවය කරන විට ඒ රටේ පුරවැසිභාවය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව වසර කිහිපයකට කලින් සිංගප්පුරුව මට පුරවැසිභාවය ලබා දුන්නා. ලංකාවේ විවිධ පාර්ශ්වයන් අභූත චෝදනා එල්ල කළ නිසා මම සිංගප්පුරුවේ පුරවැසිභාවය ලබා ගන්න කටයුතු කළා.

ඒ වගේ සිංගප්පුරුව පිරිනැමූ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළොත් රැකියාව අහිමි වේ යයි බියක් මා තුළ තිබුණා. මගේ අවුරුදු තිහක රාජකාරි ජීවිතයේ තිබුණේ මූල්‍ය විශේෂඥ දැනුමයි.

 

* ප්‍රශ්නය - මහ බැංකුවේ අධිපති ධුරය දැරීමට කලින් ඔබ කළ රැකියාව කුමක්ද ?

පිළිතුර - මම එක්සත් ආරාබි රාජ්‍යයේ ප්‍රධාන ආයෝජන නිලධාරියා වශයෙන් කටයුතු කළා. එය එම බැංකුවේ ඉහළම තනතුරක්.

 

* ප්‍රශ්නය - එවැනි ඉහළ තනතුර අතහැර ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති වෙන්න හැදුවේ ඇයි ?

පිළිතුර - මම ශ්‍රී ලාංකිකයෙක් බව තදින්ම විශ්වාස කළ නිසා. නැවත මවු රටෙන් කැඳවීමක් ලැබුණාම මම පැමිණිය යුතු නිසයි. මගේ මව පියා විතරත් නොවෙයි ඔවුන්ගේ මවුපියනුත් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් සේවය කර තිබෙනවා. ඒක අප අතර තිබෙන සම්ප්‍රදායක්.

 

* ප්‍රශ්නය - ඔබට මහ බැංකු අධිපති විදියට සේවය කරන්න විශේෂඥ දැනුම හා සුදුසුකම් තිබෙනවා යැයි විශ්වාස කරනවාද ?

පිළිතුර - මම සියලු දේ දන්නවා යැයි කියන්න බෑ. ඒ වුනත් මෙම තනතුරේ රාජකාරි කිරීමට අවශ්‍ය අත්දැකීම් තිබෙනවා. මහ බැංකු අධිපතිගේ කාර්යභාර්ය වන්නේ මුදල් කළමනාකරණය කොට ආර්ථිකය ස්ථාවර කර ගෙන උද්ධමනය පාලනය කිරීමයි. මගේ වෘත්තීය අත්දැකීම් හා පළපුරුද්ද අනුව ඒ දෙය කළ හැකියි.

* ප්‍රශ්නය - ඔබ ශ්‍රී ලංකාවට යළි පැමිණිමට ගත් තීරණය පිළිබඳව අද පසුතැවෙනවාද ?

පිළිතුර - කොහෙත්ම නැහෑ. මට විරුද්ධව චෝදනා එල්ල කළේ මධ්‍යවලින් එක කොටසක් විතරයි. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය මෙය වාර්තා කළේ නැහැ. යම් වෙනසක් ඇති කරන්න හදනකොට විරෝධතාවයන් එනවා . අප බැඳුම්කර නිකුත් කළ ආකාරයෙන් විශාල වෙනසක් ඇති කළා. මේ වෙනස නිසා රිදුන අය තමයි මේ විරෝධතාවයන් ඇති කරන්නේ. පහුගිය රජය කටයුතු කළේ බොහෝ දේ පාලනය කරන්නයි. ඒ අනුව පොලි අනුපාත පාලනය කරන්නත් ඔවුන් කටයුතු කළා. ඒ අය ක්‍රියා කළේ පොදු වෙන්දේසිවලට නොගිහින් පෞද්ගලික ගනුදෙනු හරහා බැඳුම්කර නිකුතුව පාලනය කිරීම තුළින් පොලී අනුපාතය පාලනය කිරීමටයි. මේක ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝණය කිරීමක්.

 

* ප්‍රශ්නය - තව අවුරුදු 30ක බැඳුම්කර නිකුතුවකට මහ බැංකුව යන්න හැදුවේ ඇයි ?

පිළිතුර - අපට තිබෙන දීර්ඝතම බැඳුම්කර නිකුතුව තමයි අවුරුදු 30ක බැඳුම්කර නිකුතුව. අවසන් වතාවට නිකුතුවක් තිබුණේ 2014 දෙසැම්බර් මසයේ. ඒක ප්‍රමාණාත්මකව කුඩා එකක්. ඊට කලින් සැප්තැම්බර් මාසේ තවත් එකක් තිබුණා. මා යෝජනා කළේ මේ කාර්ය ප්‍රමිතින්ට අනුව නියමාකාරයෙන් සිදු කිරීමටයි.

මහ බැංකුවේ මූලික කාර්යය වනුයේ රජය වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ තීරණය ගන්නේ මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශයයි. මේ අවස්ථාවේත් සිදු වුනේ ඒකමයි. මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට තමන්ගේ මුදල් අවශ්‍යතා දන්වා තිබුණා. මේ අනුව මාර්තු මාසය සඳහා රුපියල් බිලියන 13.5ක මුදලක් අවශ්‍ය බව ඔවුන් දැනුම් දුන්නා.

නමුත් පෙබරවාරි 26 වනදා වන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගතව හැකිව තිබුනේ රුපියල් බිලියන 3.5ක් පමණයි. මේ නිසා එක දවසක් තුළ රුපියල් බිලියන 10 ක් සොයා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා.

පෙබරවාරි මාසයේ අවසන් වැඩ දිනය වුනේ පෙබරාවාරි 27 වන සිකුරාදා.

මුදල් සොයා දීමට තිබුනේ මීළඟ සඳුදා ඒ මාර්තු 2 වන දා. මේ අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ දැන්වීමක් තුළින් ඒ බව දැනුම් දුන්නා. එම දැන්වීම සියලුම ජාතික පුවත්පත්වල පළ වුණා. පෙබරවාරි 27 වැනි සිකුරාදා පෙ.ව 11.00 වන විට ලංසු භාරගන්නා බවයි ඒ තුළින් දැනුම් දුන්නේ.

මේ පිළිබඳ සියලු තීරණ පෞද්ගලික ගත් ඒවා නොවෙයි.

ඒ සියල්ල සාමූහිකව ගන්නා ලද තීරණයි. සියලු පාර්ශ්ව ඒ පිළිබඳ දැනුවත් කර සියලු කටයුතු නියමිත කාල රාමුවක් තුළ සිදු වුණා. දීර්ඝ කාලීන බැඳුම්කර නිකුතු විවිධ හේතුන් මත අවශ්‍ය වන්නක්. අමෙරිකාව, ඉතාලිය, එංගලන්තය, සිංගප්පූරුව, ජපානය , චීනය , වැනි රටවල්වල අවුරුදු 50ත් අවුරුදු 99ත් ආතර කාලයන්ට බැඳුම්කර නිකුතු ලබා දෙනවා. ඔවුන් විවිධ කාරණ සඳහා දීර්ඝ කාලීන බැඳුම්කර භාවිත කරනවා. දීර්ඝ කාලීන ව්‍යාපෘතීන් සඳහා මෙවැනි දීර්ඝ කාලීන බැඳුම්කර අවශ්‍ය වෙනවා. මේ නිසා තමයි මෙවැනි වෙනසක් ඇති කරන්න අපි මුලදීම තීරණය කළේ. මේ වෙනස ඇති කරන්න ගිය නිසා තමයි සියලු ප්‍රශ්න ඇති වුණේ. 1993 වසරේත් අපේ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන්ට විවෘත කරන්න ගිය අවස්ථාවේ මේ විදියටම විවිධ චෝදනා එල්ල වුණා.

 

* ප්‍රශ්නය - මේ නිකුතුව නිසා ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවුණා කියන්නේ ඇත්තද ?

පිළිතුර – නැහැ. ඒක බොරුවක්. මා කලින් කීවා වගේ මේ සඳහා වූ සියලු තීරණ සාමූහිකව විනිවිදභාවයෙන් යුතුව ගන්නා ලද ඒවා. මේ ගනුදෙනුව පිළිබඳව සියලු චෝදනා එල්ල කරනු ලබන්නේ වැරැදි තොරතුරු පදනම් කරගෙනයි.

මම කලින් කිව්වා වගේ බැඳුම්කර නිකතුව ගැන තීරණය ගත්තේ මුදල් අමාත්‍යාංශයේ දැනුම්දීමකට අනුකූලවයි.

අප ඒ තීරණය නොගත්තා නම් මුදල් අමාත්‍යාංශය විශාල අපහසුතාවයකට පත්වෙනවා. නව රජය භාණ්ඩාගාරය භාරගන්නා විට එය තිබුණේ ඉතා දුෂ්කර තත්ත්වයකයි. ඒ නිසා මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට සිදුවුණා.

 

* ප්‍රශ්නය - ඔබේ බෑනට අයත් සමාගමක් මේ ගනුදෙනුවෙන් විශාල ලාභයක් උපයා ගත්තාද ?

පිළිතුර - මේ බැඳුම්කර නිකුතුවෙන් සියයට පනහක් එක්තරා සමාගමකට ගිය බව කියවෙනවා. මේ බැඳුම්කර නිකුතුව ගැන පරීක්ෂණ සිදු කළ ත්‍රි පුද්ගල කමිටුව කියා සිටියේ මෙහි එක ලන්සුවක් අසාමාන්‍ය බවයි. ඒ එක ගැනුම්කරුවෙකු හරහා තවත් ගැනුම්කරුවෙකු ලන්සුවක් ඉදිරිපත්කර තිබූ නිසයි. මේ පිළිබඳ කෝප් කමිටුව පරීක්ෂණ පවත්වනවා. මෙහිදී කිවයුතු කාරණය වන්නේ ටෙන්ඩර් මණ්ඩලය තමන්ගේ රාජකාරිය හරියටම ඉෂ්ඨ කළ බවයි. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි නිසියාකාර ප්‍රමිතියට අනුව අදාළ මුදල සොයාගැනීමට ඉඩ සලසා දීමයි. ගැනුම්කරුවන්ගේ අභ්‍යන්තර තොරතුරු එළියට ආවේ ඉන් පසුවයි.

 

* ප්‍රශ්නය - ඔබේ බෑණා එම සමාගමේ ඉහළ කළමනාකාරීත්ව සාමාජිකයෙක් ද ?

පිළිතුර - නැහැ. මම මහ බැංකු අධිපති ධූරයට පත්වීමත් සමඟ ඔහු එම සමාගමෙන් එම තනතුරින් ඉල්ලා අස්වුණා. ඒ ප්‍රශ්නයකින් තොරව මාගේ රාජකාරිය මට ඉටුකිරීමට ඉඩ සලසා දීමක් විදිහටයි. මේ පිළිබඳව ඔහු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ද දැනුම් දුන්නා. එය ඔහු ස්වේඡාවෙන්ම සිදු කළ කාර්යයක්. හොඳ පාලනයකින් පවත්වාගෙන යන සමාගමක ඉහළ කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු තමන්ගේ පවුලට හෝ පවුලේ සාමාජිකයෙකුට සෘජුව හෝ වක්‍රව බලපාන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියකට දායක වන්නේ නැහැ. මා අනුගමනය කළෙත් ඒ ප්‍රතිපත්තියමයි. සමාගමක් හොඳට පාලනය කරනවා කියන්නේ ඒකයි.

 

* ප්‍රශ්නය - එහෙනම් මේ ප්‍රශ්නය මේ තරම් බරපතළ වුණේ ඇයි ?.

පිළිතුර - මා කළින් කීවා වගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල වෙනසක් ඇති කළා. ගජ මිතුරන්ට හිතකර පරිසරයක් වෙනුවට වෙළෙඳ පොළට හිතකර පරිසරයක් ගොඩනැගුවා. මේ නිසා විවිධ පාර්ශ්වයන්ට රිදුනා. මේ කාරණයේ දී වැඩිපුරම කෑගැහුවේ ඒ අයයි.

 

* ප්‍රශ්නය - මේ ප්‍රශ්නය මතු වූ පසු ඔබ තාවකාලික නිවාඩු ගැනීමට කටයුතු කළා. ඔබ එසේ කළේ ඇයි ?.

පිළිතුර - මට අවශ්‍ය වුණා මේ පිළිබඳව විමර්ශනය කළ කමිටුවට ඔවුන්ගේ කටයුතු කිසිදු බාධාවකින් තොරව නිදහසේ කරගෙන යාමට ඉඩ සලසා දීමට. ඔවුන්ට එම පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු කිසිදු බාධාවකින් තොරව ලබාගත හැකි පරිසරය ගොඩනගාදීමටත් මට අවශ්‍ය වුණා. මේ නිසා මාගේ කාර්යාලය ඒ ආකාරයෙන්ම තිබිය දී මා නිවාඩු යන්න තීරණය කළා. ඒ වගේම මා ගත් තීරණය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් මා දැනුම් දුන්නා. මේ නිසා විමර්ශන කමිටුවට කිසිම බාධාවකින් තොරව කටයුතු කරන්න අවකාශ සැලසුනා.

 

* ප්‍රශ්නය - විපක්ෂයේ එක්තරා දේශපාලඥයෙක් මහ බැංකු අධිපති නිවාඩු ගෙන නිල නිවසේ සිට මහ බැංකුව මෙහෙයවනු ලැබුවා කියා චෝදනා කළා. ඒ ගැන මොනවද කියන්නේ ?

පිළිතුර - මම නිවාඩු ගොස් සිටියදී මහ බැංකු අධිපති නිල නිවස පරිහරණය කළ බව සත්‍යයක්. ඒ මට කොළඹ ඉන්න වෙන තැනක් නොතිබුණ නිසයි. ඒ වුණත් අවශ්‍ය ලිපි ලේඛන පරිගණක පද්ධති කාර්යාල පහසුකම් නැතිව මහ බැංකු අධිපති නිල නිවසේ ඉදගෙන රාජකාරි කරන්නේ කොහොමද? නිලධාරීන් මගේ නිවසට එනවා අවශ්‍ය සාකච්ඡා පවත්වන්න. මම නිවාඩු ලබා සිටියදී කිසිදු රාජකාරි කටයුත්තක නියලුනේ නැහැ. මම නිවාඩු ලබා ගෙන කොළඹින් පිටගියා.

 

* ප්‍රශ්නය - මේ පිළිබඳ විමර්ශන කළ කමිටුව ඔබව නිර්දෝෂී කළා. ඒ කළේ ඔබගේ යම් දේශපාලන බලපුළුවන්කාරකමක් නිසාද ?

පිළිතුර - මේ පරීක්ෂණ සිදු කළ නීතිඥවරුන් දෙදෙනාට විශාල ගරුත්වයක් තිබෙනවා. ඔවුන් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්. ඔය කියන තරම් මුල්‍ය විනාශයක් සිදුව තිබුණා නම් මාව නිකම්ම නිදහස් කරාවීද? ඒ වගේම සිවිල් සමාජ සාමාජිකයන් කිහිප දෙනෙකු මට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව විභාගයට ගැනීම නිශ්ප්‍රභ කළා. ඒ තුළින්ම සත්‍ය තත්ත්වය පැහැදිලි වෙනවා.

 

* ප්‍රශ්නය - ඔබ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගන්නා අවස්ථාවේ මහ බැංකුව පිළිබඳව ඔබ තුළ තිබූ තක්සේරුව කවරේද ?

පිළිතුර - පසුගිය කාලය තුළ මහ බැංකුවේ විශාල වෙනස්කම් රාශියක් සිදුව ඇති බව පැහැදිලි වුණා. විශේෂයෙන්ම නීති දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ තිබුනේ නැහැ. ඒක අතීතයේ මහ බැංකුවේ තිබුණු වැදගත් දෙපාර්තමේන්තුවක්. ඒ වගේම ඕනෑම බැංකුව තිබුණු මූලික අංගයක්. එහෙත් මහ බැංකුවට එවන්නක් තිබුනේ නැහැ. ඊට අනුයුක්තව සිටි නීතිඥයන් විවිධ අංශවලට මාරු කර තිබුණා. ආයතනයේ නීතිඥයන් අවශ්‍ය කරන සේවාවන් සඳහා නීතිඥයන් බාහිරව ලබා ගත්තා. මම මේ තත්ත්වය නිවැරැදි කරන්න කටයුතු කළා. ඒ වගේම ආයතනයේ පුහුණු සහ මානව සම්පත් අංශ එකට එකතු කරන්නයි පසුගිය කාලයේ ක්‍රියා කරලා තිබුණේ. මහ බැංකුවේ පුහුණු අංශය කියන්නේ ඉතාම වැදගත් අංශයක් . එම නිසා මේ අංශ දෙක එකට එකතු කිරීමේ තීරණයට ඉන්නා තැනින් ආපස්සට යන තීරණයක් වෙනවා. ඒ වගේම අවදානම් කළමනාකරණ ඒකකය ස්වාධීනව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකත් විශාල අඩුපාඩුවක් .

 

* ප්‍රශ්නය - ශ්‍රී ලංකා පුරවැසියකු නොවන එකම මහ බැංකු අධිපතිවරයා ඔබද ?

පිළිතුර - නැහැ. කොටින්ම මහ බැංකුව පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ජොන් එක්ස්ටර්න් මහතාද ඇමෙරිකානු පුරවැසියෙක්. ඔහු අමෙරිකාවේ සුප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයෙක්. මේ නිසා එයින්ම ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා.

 

* ප්‍රශ්නය - මුදල් නොට්ටුවල මහ බැංකු අධිපති විධියට ඔබ යෙදූ අත්සන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නිසා එය භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක් ඇති වෙනවාද ?

පිළිතුර - මා මුදල් නොට්ටුවල භාවිත කරලා තිබෙන්නේ මගේ සාමාන්‍ය අත්සනයි. මගේ සාමාන්‍ය අත්සන තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මට කලින් හිටපු මහ බැංකු අධිපතිවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් කරලා තිබෙනවා. එයට කිසිම නීතිමය බාධාවක් නැහැ. එකම නීතිමය අවශ්‍යතාවය තමන්ගේ නියමිත අත්සන භාවිතා කිරීමයි එය මා සිදු කර තිබෙනවා.

 

* ප්‍රශ්නය - මහ බැංකුවේ අතීතයේ සිදුවු වැරැදි නිසා රටට විශාල වශයෙන් පාඩු සිද්ධ වුණ බව ප්‍රකාශ වෙනවා. ඒ තත්ත්වය නිවැරැදි කොට යළි ආර්ථිකය නඟාසිටුවන්නට මහ බැංකුව ගනු ලබන පියවරයන් මොනවාද ?

පිළිතුර - පසුගිය රජය සිදුකළ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය බලවත් ලෙස කඩාවැටීමට ලක්වූ බවට චෝදනා එල්ල වුණා. පසුගියකාලයේ දේශපාලනඥයන් ගත් වැරැදි තීරණ විවේචනය කිරීම දේශපාලනඥයන්ම සතු කාර්යයක්. එය ආර්ථික විද්‍යාඥයන් වන අපට කරන්න බැහැ.

අපට කළ හැක්කේ එම වැරැදි නිවැරැදි කරන ආකාරයේ නව පිළිවෙත් ආර්ථිකයට හඳුන්වා දී රටේ ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ජනතාව විශ්වාසය ගොඩනැගීම පමණයි. ඒ කාර්යය අප මේ වන විට සිදුකරමින් පවතිනවා. දේශපාලන මඩගැසීම්වලට යන්න මගේ කිසිදු අපේක්ෂාවක් නෑ.

ඉතිරිය හෙට පුවත්පතේ


නව අදහස දක්වන්න

Or log in with...