අගමැති රනිල් | දිනමිණ

අගමැති රනිල්

ශිරෝමි අබයසිංහ

ශ්‍රි ලංකාවේ දහසය වැනි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (21) පෙරවරුවේ දිවුරුම් දුන‍්නේය.

චාම් සහ අභිමානවත් අන්දමින් පැවත් වුණු ‍මෙම උත්සවය මේ රටේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කළ වැදගත් සන්ධිස්ථානයක් විය. ලෝක වාර්තාවක් සම කරමින් සිවු වැනි වතාවටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධු‍රයේ දිවුරුම් දීමෙන් පසු එළැඹියේ එවැනිම සුවිශේෂි අවස්ථාවකටය.ඒ ඉදිරි කාලයේ සම්මුතිවාදයෙන් එක්ව කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ ඓතිහාසික අවස්ථාවයි.

උත්සව සභාවට ආරාධිත අමුත්තන්ගේ පැමිණිමෙන් පසුව ඒ සියල්ලන්ම බලා සිටියේ අභිනවයෙන් දිවුරුම් දෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි සපැමිණෙන තුරුය. සියල්ලන්ගේම ඇස් පිවිසුම් දොරටුව දෙසට යොමු වී තිබිණි. හරියටම පෙරවරු 10.03ට දොර විවර වී ඉන් ඇතුළු වුයේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාය . නිලධාරින් පෙන්වා දුන් ඉදිරි පෙළේ ආසනයක වාඩි වූ රාජපක්ෂ මහතාට යාබද ආසනයේ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිය වු හේමා ප්‍රේමදාස මහත්මියත් ඊටත් යාබද ආස‍නයේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් අසුන් ගෙන සිටියේය. පෙරවරු දහයයි පහට රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිය වු මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමඟ උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සභාවේ සිටි සියලු දෙනාම නැඟි සිටිමින් නව අගමැතිවරයාට ආචාර කළ අතර ඒ පිරිසේ මහින්ද රාජපක්ෂ මහතා ද විය. මහා සංඝරත්නයට නමස්කාර කළ වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා මහත්වරුන්ට ද හේමා ප්‍රේමදාස මහත්මියට ද අත‍ට අත දී ආචාර කෙළේය. අනතුරුව රාජපක්ෂ මහතාට යාබද ආසන දෙකේ වික්‍රමසිංහ මහත්මියත් වික්‍රමසිංහ මහතාත් අසුන් ගත්තේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සව සභාවට පැමිණීමෙන් පසු වැඩ කටයුතු ආරම්භ විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දහසය වැනි අගමැතිවරයා වශයෙන් සිය පත්වීමේ ලිපියට අත්සන් තැබීය. මෙවර මහ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තරඟ වැදුණු මහින්ද රාජපක්ෂ මහතා ද ඉදිරි‍ පෙළේ සිට ඒ දෙස බලා ගෙන සිටිනු දක්නට ලැබිණි.

"රනිල් වික්‍රමසිංහ වන මම ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගමැති ධුරයේ කාර්යයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවද ශ්‍රිලංකා ජනරජයට පක්ෂපාතිව කටයුතු කරන බවද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‍ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කැර අනුගමනය කරන බවද ප්‍රකාශ කැර ප්‍රතිඥා දෙමි." යැයි වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිව්රුම් දෙමින් ප්‍රකාශ කෙළේය. ශ්‍රිලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ වක්‍රාකාරව ආධාර දීම, අනුබල දීම, මුදල් දීම, සිදු නොකරන බවටද ප්‍රතිඥා දෙන ලදී.

දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා පත්වීම් ලිපියට අත්සන් තබා අගමැතිවරයාට එය පිළි ගන්වා සු බ පැතුම් පිරි නැමීය.

ජාතික කර්තව්‍යය ඉ‍ටු කිරීම සඳහා සම්මුතිවාදයෙන් එක්ව කටයුතු කිරීමට අගමැතිවරයා කළ ආරාධනයට අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදු ‍වුයේ ඉන් අනතුරුවයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ. අනතුරුව මහා සංඝරත්නය නැවතත් සෙත් පිරිත් සජ්ජායනා කැර ආශිර්වාද සිදු කළහ.

උත්සව සභාවෙන් පිටත්ව යෑමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතා බහ කිරීමටද අමතක නොකළේය.

අනතුරුව පැමිණ සිටි ආරාධිත අමුත්තන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළ අතර ප්‍රථමයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සුබ පතනු දක්නට ලැබිණි.

මෙම ‍අවස්ථාවට මාදුළුවාවේ සෝභිත, දඹර අමිල, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක තිනියාවල පාලිත, අතුරලියේ රතන, ආචාර්ය කිරින්දේ අස්සජී, ‍බෝපිටියේ ධම්මිස්සර හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නය, මහ මැතිවරණයෙන් තේරී පත් වුණු එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමිජයත්ත, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්,වික්‍රමසිංහ යුවලගේ ඥාතීන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. 


නව අදහස දක්වන්න

Or log in with...