සිරකරුවෝ 1115ක් එල්ලුම් ගහ පා මුල | දිනමිණ

සිරකරුවෝ 1115ක් එල්ලුම් ගහ පා මුල

රක්ෂණ ශ්‍රියන්ත

 මරණ දඬුවම නියමවී එල්ලා මරණ දිනය නියම කරන තෙක් සිරකරුවන් 1115 දෙනෙකු බන්ධනාගාර තුළ බලා සිටින බව බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

මෙම සිරකරුවන්ගෙන් හයසිය දෙනකු එම තීන්දු අභියෝගයට ලක් කරමින් අභියාචනා පෙත්සම් ඉදිරිපත් කැර ඇති බවද සඳහන් කෙළේය.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කැර යළිත් මරණ දඬුවම ඇති කිරීමට ආණ්ඩුව තීරණය කළහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළ හැකි බව පෙන්වා දෙන බන්ධනාගාර කොමසාරිස්වරයා වදක තනතුරට දෙදෙනකු පත්කර ගැනීම සඳහා දින 21ක් තුළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.

එම තනතුරු සඳහා පුද්ගලයින් 15 දෙනෙකු අයදුම්කර ඇති බවත් කීවේය. ශ්‍රී ලංකාවේ මුල්වරට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමින් 1812 ජුනි මස 10 වැනිදා ඉංගිරියේ කළු අප්පු නැමැත්තා එල්ලා මරා ඇති අතර අවසන් වරට එල්ලුම් ගස ක්‍රියාත්මක කැර ඇත්තේ එම්. කේ. චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවා නැමැත්තා 1976 ජුනි මස 23 වැනිදා එල්ලා මැරීමෙන්ය.


නව අදහස දක්වන්න

Or log in with...