අපේ ළමයි පණ වගේ ද | දිනමිණ


 

අපේ ළමයි පණ වගේ ද

දරුවන් වෙනුවෙන් සිදුවන සෑම අතපසුවීමක් ද සෑම වැරැද්දක් ද සාපරාධී ක්‍රියාවක් බව ද; ඊට කිසි ලෙසකින්වත් සමාවක් ලබා දිය නො හැකි යැයි ද ග්‍රේබියලා මිස්ට්‍රාල් කියා සිටී. ඇය සමස්ත දරු පරපුර වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නිරත වූ සමාජ සේවිකාවකි.

‍ෙල්ඛිකාවකි. දරුවන් ලෝකයේ දිය උල්පත ලෙස හඳුන්වා දෙන ඇය දරුවන් වෙනුවෙන් අද කළ යුතු දේ කල් දැමුවහොත්; එය නැවත කිසිදිනෙක ක්‍රියාත්මක කළත් එය නිෂ්ඵල නිස්සාර දෙයක් යැයි පෙන්වා දෙයි. ලෝකයේ සමස්ත දරු පරපුර වෙනුවෙන් ලබාදිය හැකි හොඳ ම පොදු නම “අද” යැයි ද ඇය කියා සිටී. මෙහි අර්ථය වන්නේ දරුවන් උදෙසා පමා නො වන්න යන්න ය.

අපි ආපස්සට හැරී බලමු. අපේ ම දරුවන් වෙනුවෙන් අපගේ කැපවීම කෙබඳු ද? අපගේ වගවීම කෙබඳු ද? සතුටුවිය නො හැකි නම්; අප දරුවන් වෙනුවෙන් කිසිවක් ම සිදුකර නැත. අමෙරිකා එක්සත් ජනපදය දරුවන් වෙනුවෙන් විශේෂ නීතියක් බලගන්වා ඇත. එනම්; කිසිදු දරුවකු තනිකර හුදෙකලාවේ දමා ගිය නො හැකි ය. එබඳු දරුවකු දුටු සැණෙන් පොලිසිය පැමිණ දරුවා රැගෙන යයි. මාපියන්ට නඩුවැටේ දරුවා නියම රැකවරණය ඇති තැනකට බාර දෙයි. ලෝකයේ දියුණු රටවල් දරුවන් උදෙසා නීතිය ක්‍රියාත්මක කරන්නේ එලෙසය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධයෙන් කෙරෙන සංවාදවලදී අංක එකේ මාතෘකාව බවට පත් ව ඇත්තේ ආරක්ෂාව ය. සේයා දැරියගේ ඝාතනයත් සමඟ රට පුරා කැලඹීමක් ඇති විය. අපේ දරුවන්ට නිසි ආරක්ෂාවක් නැතැ’යි මතයක් රට පුරා ම ප්‍රචලිත විය. කාමාතුරයෝ සෑම ගමක ම සෑම නගරයකම කරක් ගසති. මේ හැරෙන්නට සමීපත ම ඥාතීන් අතින් ද දරුවන් අපහරණයට ලක්වන අවස්ථා සුලභ වී තිබේ. පාසල් ගුරුවරු, විදුහල්පතිවරු පවා තම සිසුන් දූෂ්‍ය කරති. මෙය එක්තරා මෝස්තරයක් ලෙස ව්‍යාප්ත වන බවක් ද පෙනෙන්නට තිබේ. මේවාට විසඳුම් සෙවීම සඳහා සිවිල් සංවිධාන පවා පෙරමුණ ගෙන සිටිති.

රටේ ප්‍රධාන ආයතන කිහිපයක් ඒකාබද්ධ වී ඊයේ කොළඹ දී අපූරු වැඩසටහනක් ආරම්භ වන්නේ මේ අතර ය. ජාතික රූපවාහිනී සංස්ථාව, අධ්‍යාපන අමාත්‍යංශය, ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු තවත් ආයතන රැසක් ඊට සහයෝගය දක්වයි. වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන අතර එය “දරුවන් පණ මෙන් සුරකිමි” යන තේමාව යට‍ෙත් ක්‍රියාත්මක වෙයි. වැඩසටහන ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ය. මේ වැඩසටහනෙහි අරමුණු දෙකක් තිබේ. පළමුවන්න දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් කළ යුතු කැපවීම හා වගවීම රට පුරා දැනුම්වත් කිරීම ය. දෙවන්න දරුවන් උදෙසා ක්‍රියාකාරී වැඩසටහන් පැවැත්වීම ය.

හැබෑවට ම අපේ දරුවන් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු ගැටලු මොනවා ද? එය ඉතා සරල ය. පැහැදිලි ය. දරුවාට පෝෂණය අවශ්‍ය ය. රැකවරණය හා ආදරය අවශ්‍ය ය. අධ්‍යාපනය හා මගපෙන්වීම අවශ්‍ය ය. මේ කරුණු කිහිපය සම්පූර්ණ වන්නේ නම් කිසි ම දරුවකුගේ අනාගතය සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැත. එහෙත් ඉහත කී සාධක අපේ හැම දරුවකුටම නැත. වීදිවල සිඟමන් යදින දරුවන් ගැන බලන්න! වැඩබිම්වල හා ගොවිබිම්වල ශ්‍රමය වගුරන දරුවන් ගැන බලන්න! මෙහෙකාර සේවයෙහි යොදවා ඇති දරුවන් ගැන බලන්න! තම නිවස තුළම හිරිහැරවලට ලක්වන දරුවන් ගැන බලන්න! අපට අප ගැන ම ලැජ්ජා සිතෙනු ඇත.

ශ්‍රී ලංකාවේ වීදි දරුවන්ගේ ගණන කවුරුත් දන්නේ නැත. ඔවුන් අපහරණයට ලක්වන අවස්ථා ගණන ද කිසිවකු දන්නේ නැත. මෙහෙකාර සේවයේ යොදවා ඇති ළමයින්ගේ ගණන නිශ්චිත ව කිව නො හැකි ය. පාසල් නොයන දරුවන්ගේ අනුපාතයක් දක්වා ඇතත් එය සත්‍යයමදැ’යි විශ්වාස කළ නො හැකි ය. තම නිවස තුළදී ම හිරිහැරයට ලක්වන දරුවන්ගේ සංඛ්‍යාව කිසිසේත් ම ගණනය කළ නො හැකි ය. නිවස තුළ ම ආදරය හා රැකවරණය අහිමි වූ පිරිස ද ගණනය කළ නො හැකි ය. මේ අන්දමින් බලන විට දරුවන් පිළිබඳ සොයා බැලිය යුතු අංශ ගණනාවක් ඇති බව ඉතා පැහැදිලි ය.

දරුවන් කෙරෙහි බලපාන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති සම්පත් බෙදීයෑමේ විසමතාවයි. මෑතකදී හෙළිදරව් වූයේ ග්‍රාමීය අංශයේ පාසල් එක්දහස් ගණනකට වැසිකිළි පහසුකම් නැති බව ය. ගම හා නගරය පාසල් අතර බරපතළ විභේදනයක් ඇති කර තිබේ. නගරයේ සුපිරි පාසල්වලට ඕනෑතරම් පහසුකම් ඇති අතර ගම්බද බොහෝ පාසල්වලට අවම පහසුකම්වත් නැත. ගුරු හිඟය ඒ අතර විශේෂ වෙයි. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වැනි විෂයයන් සඳහා ගම්බද පාසල්වල විශාල ගුරු හිඟයක් පවතී. දරුවන් උදෙසා සාර්ථක හෙට දිනයක් උදාකිරීමට නම් මේ සියල්ල සම්පූර්ණ විය යුතු ය.

වත්මන් ආණ්ඩුව දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඊළඟ අයවැයෙන් අධ්‍යාපනය උදෙසා වැයකරන මුදල හතර ගුණයකින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යවරයා මෑතක දී කියා සිටියේ ය. එය හොඳ තත්ත්වයකි. රටේ සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් වසර ගණනාවක සිට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කරනු යැයි විරෝධතා දැක්වූහ. රජය ඊට කන්දී ඇති බවක් ද පෙනී යයි. ඒ හැරෙන්නට දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් වැඩි කර තිබේ. දරුවා යනු රටේ අනාගතය බව නායකයන් පිළිගෙන තිබේ.

මේ කාරණයේ දී ඉතා වැදගත් වන්නේ වැඩිහිටියන් දැනුම්වත් කිරීම යැයි අපට සිතේ. දරුවන්ගේ ආරක්ෂාව බිඳ වැටී ඇත්තේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා යැයි සිතිය හැකි ය. මතට යොමු වූ දරුවන් පිළිබඳ විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ මාපියන් හා ගුරුවරුන් එම දරුවන් කෙරෙහි නිසි සැලැකිල්ල දක්වා නැති බව ය. දරුවා පණ මෙන් සුරැකිය හැක්කේ ආදරණීය හැඟීමකින් දරුවන් දෙස බැලීමෙන් පමණී.

නව අදහස දක්වන්න