ඩක්කුවේ ගැටලුව

'කන්ද පල්ලමෙහි පිහිටි දුම්රිය හන්දියේ පාලක කුටිය තනා තිබූයේ මදක් ඈතිනි. එහි සිටින මාර්ග පාලක හරවන ආකාරය අනුව ප්‍රධාන මාර්ගය අතු දෙකෙන් ඕනෑම එකකට සම්බන්ධ කළ හැකිය.

හන්දිය කරා ප්‍රධාන මාර්ගයේ පාලනයකින් තොරව වේගයෙන් පහළට ඇදෙන ඩක්කුවකි. එය නැවතිය නොහැකි අතර ස්ථිරවම හන්දියෙන් බෙදෙන දුම්රිය මාර්ග දෙකෙන් එකක යා යුතුමය.

දැනට ඩක්කුව ගමන් කරන මගෙහි පාසල නිමා වී ගෙදර යන දරුවන් දහ පහළොවක් ඇවිද යති. ඩක්කුව එන්නේ ඔවුන් පසුපසින් නිසාත් මාර්ග පාලකයා සිටින ස්ථානය බොහෝ ඈත නිසාත් දරුවන් බේරා ගත හැකි එකම ආකාරය නම් ලීවරය ඇද මාර්ගය අනෙක් අතට හැරවීමයි.

වැඩිපුර දුම්රිය ගමන් නොගන්නා අනික් මගෙහි සාජ්ජයක් දමන බේබද්දන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද බමන මත නිසා ඩක්කුව නොදකිනු ඇත. එම මඟට හැරෙව්වොත් දරුවන් දහ පහළොවකගේ ජීවිත බේරුණත් බේබද්දන් දෙදෙනා ඉතිරි නොවනු ඇත.

මේ සියල්ල දකින්නේ මාර්ග පාලක පමණි. තීරණයක් ගැනීමට ඔහුට ඇත්තේ සුළු තත්පර කීපයකි. ඔහු අනෙක් මඟට හැරෙව්වත්, නොදැක්කා මෙන් සිටියත්, මනසෙහි වාද කරමින් සිටියත්, මොන දෙයක් කළත් කවුරුන් හෝ ජීවිතයෙන් වන්දි ගෙවනු ඒකාන්තය. ඔහු විසින් කළ යුත්තේ කුමක්ද?

දෛවය විශ්වාස කරන්නේ නම් මේ පාසල් දරුවන්ගෙ දෛවයයි, මාර්ග පාලක ඒ වෙනුවෙන් කරදර නොවිය යුතුය. ඔහු මේ සිද්ධියට කොහෙත්ම සම්බන්ධ නොවිය යුතුය.

එහෙත් ඒ ම‍ඟෙහි දරුවන් දහ පහළොවකි. අනෙක් මගෙහි බේබද්දන් දෙදෙනෙකු පමණි. දහ පහළොවක් වෙනුවෙන් දෙදෙනෙකු බිලි දීම අනතුරේ හානිය අඩු කිරීමකි. එහෙත් එවිට මාර්ග පාලකයා හිතා මතාම මිනිසුන් දෙදෙනෙකු ගෙ ජීවිත වනසා දමයි. කිනම් යහපත් අරමුණින් කළ ද මේ මිනිසුන් දෙදෙනාගේ මරණවල වගකීමෙන් ඔහු විඳවනු ඇත.'

1967 වසරේ දර්ශනවාද අධ්‍යයන කණ්ඩායමක් ඉදිරියේ ෆිලිපා ෆූට් විසින් ඉදිරිපත් කළ 'ඩක්කුවේ ගැටලුව' මෙයයි. සරල අර්ථයෙන් ගත් කළ එය ව්‍යසනයකදී කළ යුතු දේ ගැන කතිකාවකි. කිසිවක් නොකර සිටියොත් හානිය වැඩිය. වැඩි හානිය වළකන්නට ඇති එකම පිළියම වෙනත් කාට හෝ ඒ ව්‍යසනය හරවා යැවීමයි. එසේ කළ විට විශාල පිරිස බේරෙන මුත් අහක හිටි කුඩා පිරිස වැනසෙයි. යුක්ති ධර්ම අනුව එසේ අනුන්ගේ යහපත වෙනුවෙන් කාව හෝ බිලි දීම නිවැරදිද? මේ ගැටලුවට පිළිතුරක් නොතිබුණ මුත් ඇති තරම් කතා කරන්නට කරුණු පැවතුණි.

එක අතකට මුළු ශිෂ්ටාචාරයේම පදනම වනුයේ මේ පැනයයි. ප්‍රබල හෝ විශාල පිරිසකගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දුබල හෝ කුඩා පිරිසක් නිරපරාදේ බිලිදීමයි. එහෙත් එය ගැටලුවක් ලෙස කතාවට ගැනුණේ දර්ශනවාද කතා කරන තේ මේසවල පමණි. ඒ නිසාම එය ඒ හැටි ලොකු ප්‍රශ්නයක් ලෙස කිසිවෙකුත් සැලකුවේ නැත.

සෝවියට්වරුන් ගැන ඔත්තු බලන්නට ගුවන්ගත කළ වේලා නම් චන්ද්‍රිකාව ගැමා කිරණ පිපිරුමක් නිරීක්ෂණය කළේ ද 1967 වසරේ ම ය. මුලින් මොස්කව් කෙරෙහි ඇති වූ සැකය මන්දාකිණි ගණනක් දුර ගොස් අවසානයේ ඒවා විශ්වයේ ඈත කෙලවරේ දුරස්ථ මන්දාකිණිවල මිය යන තාරකා විසින් මුදා හරින ගැමා කිරණ පිපිරුම් ලෙස හඳුනා ගැනුණි. ෆිලිපා ෆුට් ගේ ඩක්කුවේ ගැටලුවට ගැමා කිරණ පිපිරුමක් සමඟ සම්බන්ධයක් ඇති වේ යයි කිසිවෙකුත් සිතුවේ නැත.

........................................................................................................................................

යශ්වාන්ත් පටෙල් ගැමා කිරණ පිපිරුම් ගැන අහම්බෙන් කියවා තිබුණ නමුත් ඩක්කුවේ ගැටලුව දැන සිටියේ නැත. ඔහු එය දැන සිටියා නම් මේ කතාව මෙසේ නොලියවෙනු ඇත.

සැන් හොසේ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ අවසන් වසර සිසුන් අතර අසාර්ථකම සිසුවා ඔහු විය. සම්මුඛ පරීක්ෂණ කීපයකට පෙනී සිටියත් දිගටම අසාර්ථක වූ ඔහු ඒ ගැන නො තැවුණේ ඔහුගේ ප්‍රියතම සම්මුඛ පරීක්ෂණය තවමත් ඉතිරි නිසාය. එහෙත් එයට මුහුණ දෙන දිනයේ ඔහු ප්‍රිය කළ මයික්‍රොසොෆ්ට් සමාගමේ පරීක්ෂක ඔහු ගැන එතරම්ම පැහැදුණේ නැත. ඒ බව යශ්වාන්ත් හට ද වැටහී තිබුණි.

'හොඳයි යශ්වාන්ත් මේ ඔබේ අවසාන ප්‍රශ්නය. ඔබ මෙයට දෙන පිළිතුර මත බොහෝ දේ තීරණය වෙනවා. ගැටලුව තමයි ....'

යශ්වාන්ත් ඩක්කුවේ ගැටලුව ඇසුවේ එදාය. යශ්වාන්ත් දහ අතේ කල්පනා කළේය. කොහෙන් ගියත් කවුරුන් හෝ මිය යයි. ඇත්තෙන්ම පරික්ෂකයාට අවශ්‍ය වූයේ උත්තරයක් නොවේ, ඉල්ලුම්කරුවා ගැටලුවට මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. එහෙත් ලෝකයේ සෑම ප්‍රශ්නයක්ම එක වර විසැඳීමට තතනන අවසන් වසර සිසු මානසිකත්වයෙන් යශ්වාන්ත් ට එය නොවැටහුණි.

'හරි මම දන්නවා කරන දේ. ඩක්කුව හන්දිය පහු කරන කොටම අදිනවා ලීවරේ. ඩක්කුව පීලි පනිනවා. ඔක්කොම බේරෙනවා'

මෙය පරීක්ෂක නොසිතු උත්තරයකි. ඔහුට අවශ්‍ය බුද්ධිමය සංවාදයට වඩා මේ තක්කඩි ඉන්දියානුවා කළේ ගොඩ වෙදකමකින් ප්‍රශ්නයෙන් පලා යාමයි. මේ ආකාරයටම ඔහු මයික්‍රොසොෆ්ට් කේතනවල ගැටලු විසඳුවොත් සමාගමට අත්වන ඉරණම එතරම් හොඳ නොවනු ඇත.

'ඒක මාර ලස්සන උත්තරයක් එහෙත් අවාසනාවට මම බලාපොරොත්තු වුණේ එය නොවේ. ස්තුතියි යශ්වාන්ත් අපි ඔබට දැනුම් දෙන්නම් ඔබ සාර්ථක වුණා නම්'

යශ්වාන්ත් පටෙල් නැවත නේවාසිකාගාරයට ගියේ ලකුණු බින්දුවට දැවී ගිය පිතිකරුවෙකු ලෙසිනි.

'ගොනෝ උඹ කෙල්ලන්ට චැට් කරන වෙලාවේ නිකම් ඊමේල් ජෝක් එකක් බැලුව නම් ඕක දකින්න තිබ්බ'

නේවාසිකාගාරයේ මිතුරෝ කියති.

'මේක මගේ කරුමේ. දෙයියෝ මට දුන්නේ මෙච්චරයි'

'දැන් උඹ මොකද කරන්නේ?'

'මම යනවා හයිද්‍රාබාද්. ගිහින් එහෙන් ජොබ් එකක් හොයා ගන්නවා. අම්මලා මට කසාදෙකුත් කතා කරලා තියෙන්නේ'

'යන්න එපා බන් පිස්සුද?'

'මෙහෙ ඉඳල මොනවා කරන්නද? මම හරි අසාර්ථක මිනිහෙක්. මට මෙහෙ ජොබ් නැහැ'

'හරි උඹ මේක ට්‍රයි කරපන්. මේක මගේ යාලුවෙක් මට සෙට් කළේ, ඒත් මම යන්නේ නැහැ. මේක පොඩි ස්ටාටප් කොම්පැනියක්. ටිකක් පිස්සු වගේ වැඩක්. උන් හදන්නේ මිනිස්සු පදවන්නේ නැතුව තනියම දුවන ෆුලි ඉලෙක්ට්‍රිකල් කාර් එකක් හදන්න. '

'ඕක හරියන වැඩක්ද?'

'දන්නේ නැහැ. සල්ලි තියෙන පොරකගේ වැඩක්. ටෙස්ලා ද කොහෙද කොම්පැනියේ නම. උඹ මේකට කතා කරපන් හයිද්‍රාබාද් යනවට වඩා පොඩි එකකට හරි සෙට් වෙන එක හොඳයිනේ'

එය දෛවය විය. එහෙත් කවුරුන් හෝ රේල් පීල්ල මාරු කළේය. යශ්වාන්ත් සිතුවේ දෙවියන් කළා කියා ය. වසර පහළොවකට පසු නිෂ්පාදන සැලසුම්කරු යශ්වාන්ත් පටෙල් සිටියේ ටෙස්ලා සමාගමේ අතිශය වැදගත් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

'දැන් අනිත් හැම දෙයක්ම සූදානම්. අපිට අවශ්‍ය නම් කිසිම මිනිහෙකුගෙන් තොරව වාහනය යවන්න පුළුවන්. එකම එක ගැටලුවයි ඉතුරු'

'ඒ මොකද්ද?'

'හරිම ටෙක්නිකල් වචනයෙන් කිව්වොත් 'ඩක්කුවේ ගැටලුව'. ....'

ඉතා කෙටියෙන් එහෙත් තාර්කිකව ඔහු ගැටලුව පැහැදිලි කළේය.

'... දැන් ඔය ගැටලුව මේ දක්වා උත්තරයක් නැති දාර්ශනික ගැටලුවක්. එහෙත් අපි මේක විසඳන්න ඕනේ. ඕක අපිට බලපාන්නේ ස්වයං ධාවක මෝටර් රථයක් අනතුරකට ලක්වෙන විට. නිකමට හිතන්න වාහනේ මිනිස්සු ගොඩක් යටකරගෙන යන්නයි හදන්නේ. එහෙත් එයට පුළුවන් එහි ඉන්න හිමිකරුවා පමණක් මියයන සේ අසල පල්ලමකට පෙරලා මාර්ගයේ ඉන්න මිනිස්සු බේරන්න. ඔය දෙකෙන් එකක් තෝරන්න වෙනවා.'

'යශ් ඔබට පිස්සුද? ඔතන තේරීමක් නැහැ. අපි අපේ පාරිභෝගිකයා මරන්නේ නැහැ'

'සමාවන්න මිස්ට පීටර්ස්. ඔතන තමයි කට්ටියම වරද්ද ගත්තේ. ස්වයං ධාවක වාහන හදපු සමාගම් ඔක්කොම හිතුවේ ඔහොම එහෙත් ඇමරිකාවේ ෆෙඩරල් රජය මෙය සලකන්නේ මාර්ගස්ථ ප්‍රජාව අනතුරට ලක් කිරීමක් ලෙස. ඕනෑම වෙලාවක වාහනය හිමිකරු බේරන්න මිනිස්සු ඕනෑම ගාණක් මරණවා. ඒ නිසාම වෙනත් වාහනයක දෘෂ්ටි කෝණයෙන් මේ වාහනයේ හිමිකරුත් අනතුරුදායක තත්ත්වයට එනවා. මේ නිසා මාර්ගයේ අනතුරුදායක බව වැඩි වෙනවා. ෆෙඩරල් රජය ස්වයං ධාවක වාහනවලට ඉඩ දෙන්නේ නැත්තේ ඒකයි'

'මේක ආණ්ඩුවේ පිස්සුවක්, එතකොට මිනිහෙක් එලෙව්වොත් කරන්නෙත් ඕකමනේ '

'ඔව් හැබැයි මිනිහට නඩු දාන්න පුළුවන්. වරදින්නත් පුළුවන්. කාර් එකට වරදින්න බැහැ. වැරදුනත් නඩු නැහැ'

'ඒ වුණාට මොන කස්ටමර් ද අපේ කාර් එකක් ගන්නේ අපි මිනිහව මරන්න තීන්දු කරනවා කියල දැනගෙන'

'අන්න ඒකයි මේ ගැන පර්යේෂණ කරන්න ඕනා වෙන්නේ. අපි මේක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕනේ. මේ ප්‍රශ්නයේ පතුලේ හැමෝම එකඟ වෙන උත්තරයක් ඇති. ඕක මුලින්ම විසඳන කෙනා තමයි ස්වයංධාවක මෝටර් රථ නිෂ්පාදන සටන දිනන්නේ'

'හොඳයි යශ් ඔබ මේකට පෙරමුණ ගන්න. ඔබ මේ ගැන තීරණය කිරීමට ලෝකේ ඉන්න ඉහළම දාර්ශනිකයින් විද්වතුන් සමන්විත තින්ක් ටෑන්ක් එකක් හයර් කරගන්න. ඒ වෙනුවෙන් මුදල් දෙනවා. ඔබ වසරක් ගන්න. කෙසේ හෝ වාහන මගියා සහ මාර්ගස්ථ මිනිසුන් කියන දෙන්නගෙම අතර මැදි සුදුසු තැනක මේ ගැටලුව විසඳන්න ඕනේ. ඒක කරන්න මේ ලෝකේ ඉන්න හොඳම මිනිහෙක් ඔබ'

(දෙවැනි කොටස ලබන සතියේ)

සුජීව කොකාවල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...