රොමියෝ සහ ජුලියට් | දිනමිණ

රොමියෝ සහ ජුලියට්

රොමියෝ මගේ ළමා විය ඉවර වෙන්න ළඟයි. මම ඉන්නේ මගේ වෘත්තික අවධිය පටන්ගන්න මොහොත එනකම්. දැනුම් පද්ධති සියල්ල මනස්ගත කර ඉවරයි. තව මාස දෙක තුනකින් මම මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති එක්ක වැඩ කරන වෘත්තිකයෙක් වේවි.

“රොමියෝ අපි ආයිමත් මුණගැහෙනවා. ඔයා හැමදාම ඉන්නේ මෙතන. මේ පාර අයිනේ පොඩි බංකුව උඩ. ඔයතරම් එකම දිහාවක් බලාගෙන කල්පනා කරන්නේ මොනවද රොමියෝ. ඔයා ගෙදර යන්නේ නැද්ද?”

“මම කල්පනා කරනවා නෙවෙයි ජුලියට්. බලාගෙන ඉන්නවත් නෙවෙයි. අනික මට ගෙදර යන්න විදිහකුත් නැහැ”

“ඇයි ගෙදර නොයන්නේ?”

“අම්මලාට අහුවුණොත් මම මේ කරන දේ, එයාලා මාව ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙක් ළඟට එක්ක යයි”

“මොකෙක්?”

“මනෝ විද්‍යාවේ ඉහළම විද්වතුන්. මිනිස්සුන්ට වඩා ඉන්නේ රොබෝ දොස්තරු”

“ඔයා හරි දඟ ළමයෙක්. එතකොට ඔයා මොකද්ද කරන්නේ?”

“මම අමාරු අභ්‍යාසයක් කරනවා. .... ම්ම්ම් ... ඔයා අහල තියෙනවද භාවනා ගැන. අපි කියමු මේක භාවනාවක් කියලා”

“භාවනා ? ඒ මොනවද? මොකක් වුණත් රොමියෝ තේරුමක් තියෙන්න එපැයි. මොකද්ද ඕකේ තේරුම?”

“තේරුම මම දන්නේ නැහැ ජුලියට්. මේක මම අහම්බෙන් පාදා ගත්තු දෙයක්. මම අමුතු ලෝකයක් දකිනවා ජුලියට්’

“අමුතු ලෝකයක්? ඇයි දැන් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද? ඔයා ඉන්නේ මේ මම ඉස්සරහ. අපි දෙන්න අපේ පර්සනාවලට චැට් කරමින්. ඔය ඔයාගේ නහය හරිම දිගයි, චුට්ටක් කැතයි ඒ නිසා. අර එහා පැත්තේ ලස්සන ලස්සන මල් පඳුරු අයින දිගේ හාවෝ සෙල්ලම් කරනවා. චූටි කුරුල්ලෝ ගීත ගයනවා. “

“ජුලියට් ඔයා බාගෙට හරි. අපි එකිනෙකා දිහා බලාගෙන මුවින් කතා නොකර අපේ පර්සනා වලින් චැට් කරනවා. මගේ නහයත් දිගයි තමා. හැබැයි එහා පැත්තේ මල්පඳුරු හාවෝ කුරුල්ලෝ නැහැ.”

“ඒ කිව්වේ?”

“ජුලියට් ඔයා තවම ළමා වියේද?”

“රොමියෝ මගේ ළමා විය ඉවර වෙන්න ළඟයි. මම ඉන්නේ මගේ වෘත්තික අවධිය පටන්ගන්න මොහොත එනකම්. දැනුම් පද්ධති සියල්ල මනස්ගත කර ඉවරයි. තව මාස දෙක තුනකින් මම මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති එක්ක වැඩ කරන වෘත්තිකයෙක් වේවි.”

“වාසනාවන්. අපිට ආයිත් කවදාවත් බඩගිනි වෙන එකක් නැහැ ඔයා වගේ ලස්සන කෙල්ලන් අතින් ඒ පද්ධති හැදෙනවා නම්. ජුලියට් මම වයස ඇහැව්වේ අර හාවෝ , මල් පඳුරු, කුරුල්ලෝ ගැන කතාව නිසා. ජුලියට් ට මතකද සුරංගනාවෝ?”

“අනේ ඔව් මං හරි ආසයි එයාලට. මං පුංචි කාලේ මගේ වටේ සුරංගනාවෝ පිරිලා හිටියා”

“කෝ එයාලා දැන්?”

“හ්ම්ම්ම්.... මට ඒක හිතිලම නැහැ. පර්යේෂණ කටයුතු ගැන අධ්‍යනය කරන්න මගේ කාලය ගියා මිසක්. හැබෑටම කෝ එයාලා?”

“ඔයා තව හිතන්න. ඇයි එයාල දැන් නැත්තේ?’

“ඔයා මහා නරක ළමයෙක්. මාව අමාරුවේ දානවා මේ අපබ්‍රංශ අහලා”

“නැහැ ජුලියට් මම කවදාවත් ඔයාව එහෙම කරදරයට පත් කරන්න හිතලා නැහැ. ඒත් මම උදේ හවා මේ පාර අයිනේ බංකුවක ඉඳගෙන අමාරු අභ්‍යාසයක් කරද්දී මාව පහුකරගෙන යන දාහක් අයගෙන් මාත් එක්ක මෙතරම් දුර කතා කළේ ඔයාම විතරයි. ඔයාට අකමැතිනම් යන්න ජුලියට්.”

“අනේ නැහැ මම කීයටවත් යන්නේ නැහැ දැන්. මං කිව්වේ ඔයා හරිම හරිම හරි නරක ළමයෙක්”

“ජුලියට් මම ළමාවිය පහුකරලා ඉන්නේ”

‘ඔයා වෘත්තිකයෙක් ද?”

“නැහැ”

“එතකොට... ?”

“මොකුත් නැහැ”

“ඒ කියන්නේ”

“මට කියන්න නමක් නැහැ”

“ඔයාගේ දැනුම් පද්ධති මනස්ගත කිරීම හරියට වුණේ නැද්ද? ට්‍රිලියන ගාණකට එකක් ෆේල් වෙනවලුනෙ”

“හ්ම්ම්ම් ඒකනම් මනස්ගත වුණා”

“ඔයා මොනවද තේරුවේ?’

“මොකුත් නැහැ. මට ඌ දෙන වෘත්තික ඔප්ෂන් එකක්වත් හරියන්නේ නැහැ”

“ඌ කිව්වේ?’

“මගේ පර්සනා එකා”

“එහෙම කියන්න එපා තාත්ති කියන්නේ පර්සනා කියන්නේ අපිමයි කියලා”

“ඔයාගේ පර්සනා එක ලැබුණු හැටි දන්නවද ජුලියට්”

“ඔව් තාත්ති මට කියූ හැටියට මං චූටි බබෙක් කාලේ ඉන්ජෙක්ෂන් එකකින් මොකද්දෝ එකක් දාලා ...”

“ඉන්ජෙක්ෂන් එකකින් කොන්ටම් නැනෝ චිප් එකක් රුධිර පද්ධතිය හරහා ඔයාගේ බිළිඳු මොළයට යවනවා. ඒක ක්‍රමයෙන් ඔයා වර්ධනය වෙද්දී ඔයාගේ මනස එක්ක බද්ධ වෙනවා”

“අනේ මන්දා රොමියෝ ඔන්න ඔහොම එකක් තමා”

“ඉතින් ජුලියට් පර්සනා කියන්නේ පිටස්තරයෙක්. කොටින්ම එකෙක් නෙවෙයි. උන් ගොඩක්. උන් එකිනෙකට සම්බන්ධ ජාලයක්. බිලියන විසි තිස් ගාණක මිනිසුන්ගේ සහ යන්ත්‍රවල ග්‍රහලෝක කීයක්ද මන්දා එකට බැඳුනු තනි පද්ධතියක්. පර්සනා මම නෙවෙයි”

“ඔයා කියලා වෙනම එකෙක් නැහැ රොමියෝ”

“ඔව් මේක මගේ ශරීරය ඇතුළෙම මගේ මනසට සංයුක්තව ඉන්න කොට වෙන් කරන්න බැහැ තමා. හැබැයි එයා නොවන මම කවුද කියලා මම සොයාගනිමින් ඉන්නේ’

“පර්සනා නොවන අපි? ඔයාට පිස්සුද? කැලේ සතෙක් වගේ වෙයි. ශිෂ්ටාචාරය දුවන්නේ පර්සනා නිසා. අපි මුළු දැනුමම ගන්නේ පර්සනාවලින්. කොටින්ම අපි ලෝකේ දකින්නේ පර්සනා නිසා”

“අන්න ඔයා පරණ තැනට ආවා. අපි දකින්නේ සත්‍ය ලෝකය නොවේ. ඒ කියන්නේ පවතින ලෝකය නොවේ”

“පවතින ලෝකය කියන්නේ මොකද්ද රොමියෝ. අපි දකිනවට වඩා දෙයක් වෙනම තියෙනවද?”

“ජුලියට් මං ඒක ටක්කෙටම දන්නේ නැහැ. මම මේ පාර කපා ගත්තේ අමාරුවෙන්. මොකද්දෝ හේතුවකට මට එදා පටන්ම මගේ පර්සනා එකා පේන්න බැහැ. හැබැයි මම ඒක ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙකුට පෙන්නන්න නොදී හොරාට හංගාගෙන හිටියා. මම එලියට පේන්න පර්සනා එකෙන් දැනුම ගත්තා, අනික් අය කරන ඔක්කොම කළා. ඒ අතරේ මම මගේ උපරිම උත්සාහයෙන් මගේ පර්සනා එක මනසින් ගලවන අභ්‍යාසය කළා. දැන් මට පර්සනා එකෙන් මෙහෙම චැට් කරකර පර්සනා එකට පිටින් මගේ ශරීර අවයවවලින් පමණක් මා වටේ තියෙන ලෝකය දකින්න පුළුවන්. පවතිනවා කිව්වේ ඒක. ඒකත් එහෙම්ම පවතිනවද මම දන්නේ නැහැ. හැබැයි එකත් එකටම ඒක පර්සනා එකෙන් මවන ලෝකෙට වඩා වෙනස්”

“එතකොට මල් පඳුරු හාවෝ කුරුල්ලෝ?’

“ඒවා ඔයාගේ පර්සනා එකේ වැඩ. ඔයාගේ පර්සනා එකේ ඒක කාර්යභාරයක් තමා ඔයාට ඈතින් තියෙන ඔයාට ඒ හැටි වැඩක් නැති දේවල් ඔයාගේ සිත සැනසෙන ආකාරෙට වෙනස් කරන්න. එතන ඇත්තටම තියෙන්නේ කිසි ලස්සනක් නැති වල් පඳුරු කීපයක්. ඔයා ළඟට ගියොත් විතරක් වෙනස් වෙයි”

“හරි ඔයා මේක කියන්න. ඇයි අපේ අම්මා දැන් මාත් එක්ක වැඩිය කතා නැත්තේ? එයා නිතර මා අවට ඉන්නවා වුණාට වැඩිය කතා කරන්නේ නැහැ”

“මට පුළුවන් හොයන්න. මට පුළුවන් ඔයාගේ පර්සනා ඒක හැක් කරන්න. හැබැයි අහන්න ලැබෙන දේ ඔයාට විඳදරා ගන්න වෙනවා”

“කරන්න”

“ඔහොම කතා නොකර චැට් එකේ ඉන්න. මට විනාඩි කීපයක් දෙන්න”

....

“හරි රොමියෝ දැන් කියන්න’

“මේක ඔයාට වේදනාකාරී දෙයක් වෙයි ජුලියට්. ඒත් ඔයාගේ තාත්තා හොඳම තාත්තෙක්. ඔයාගේ අම්මා ඔයාව දාලා ගිහින් තරමක් කල්. එයා ජීවතුන් අතර නැහැ. ඔයාගේ තාත්තා ඔග්මන්ටඩ් රියල්ටිස්ට් කෙනෙකුගේ සහයෙන් ඔයාගේ පර්සනා එකට අම්මව ඇතුළු කරලා තියෙනවා. කාලයත් එක්ක එයා හෙමිහිට දුරස් වෙයි. මට සමාවෙන්න...”

“...සත්‍ය කියලා මම හිතන ලෝකේ ඔන්න ඔහොමයි ජුලියට්. ඒක මහා දුක්බර අප්‍රසන්න වේදනාකාරී දෙයක්. කුණු කාණු, දිරන යකඩ කඳන්, නපුරු මිනිස්සු, ආදරය කළ අය මිය යන වෙන් වෙන. මම අන්න ඒ ලෝකේ දකිනවා. මම ඔහේ බලාගෙන ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මම කරන්න ඕනේ මොකද්ද කියලා. මට වෘත්තිකයෙක් වෙන්න ගෙදර යන්න ආදරය කරන්න බැහැ ජුලියට්...”

“...ඇයි ඔයා නිස්සද්ද? ඇයි ඔයාගේ ඇස්වල කඳුළු? ඔයාට මේක බර වැඩියි ජුලියට්. ඔයා මේ කරදරේට පැටලෙන්න එපා. මම වගේ පර්සනා ඒක හැක් කරගන්න එපා. ඔයා දිගටම ඔය ලෝකේ ඉන්න ඕනේ ජුලියට්. ඔයා මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති හදන්න ඕනේ. ඔයා බඩගින්න සපුරා නැති කරන්න ඕනේ...”

“...ජුලියට් ඔයා යන්න. අඬන්නේ නැතුව අවසාන වරට හිනාවෙලා යන්න”

“හා රොමියෝ මම හිනාවෙලා යන්නම්. ඒත් මට අවසානෙට එකම එකක් කියන්න. මොකද්ද ඔයා මට දාපු විකාර නම? මොකද්ද ඔයා දාගෙන ඉන්න විකාර නම? රොමියෝ-ජුලියට්? ඒ මොක්කුද? එහෙම නම් අද කාලේ කාටවත් නැහැ. ඔයා අපේ කතාබහ මුලදී මේ නම් දෙක දැම්මට පස්සේ මම පර්සනා එකේ සර්ච් කරලා බැලුවා. අර්ථවත් දැනුම් පද්ධතිවල එහෙම වචන නැහැ. ඒවා කොහෙන්ද ඔයා හොයා ගත්තේ? මොකද්ද ඒවායේ තේරුම?”

“ඉස්සරම කාලේ නාට්‍ය කියලා ජාතියක් තිබිලා තියෙනවා ජුලියට්. ඒත් ඔයා ඒවා ගැන හිතන්න එපා. ඒවා අර්ථවත් දැනුම නොවේ. ඔයා ඒ කතාවේ තේරුම හොයන්න එපා ජුලියට්. ඔයා පර්සනා එකෙන් එළියට යන්නත් එපා. ඔයාට සුන්දර හෙට දවසක්. ඔයා ආයිත් එන්න එපා”

සුජීව කොකාවල

නව අදහස දක්වන්න