ම්ලේච්ඡයෝ | දිනමිණ

ම්ලේච්ඡයෝ

"මම වැරදි දෙයක් ඇහුවද? මම ඇහුවේ ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් ජීවත් වුණේ සත්තුන්ගේ මස් සහ ගහකොළවල කොටස් කාලා නේද කියලා. හැමදාම ආහාර නිෂ්පාදන යන්ත්‍ර තිබුණා වෙන්න බැහැනේ. යන්ත්‍රය හදන්න කලින් හිටි ම්ලේච්ඡයොත් මොනවා හරි කන්න ඕනේ නේද?"

ඩෙන්වර් නිවසේ සාමයට බාධා කෙරුණු නොහොබිනා ප්‍රශ්නය අසනු ලැබුවේ රාත්‍රී ආහාර මේසයේදී එකොලොස් හැවිරිදි මැක්ස් ඩෙන්වර් විසිනි. 

ඊට තරමක වෙලාවකට පෙර ඩෙන්වර් මහතා දවසේ රාජකාරි නිමවා කන්තෝරු කාමරයෙන් නික්ම සිය පවුල සමඟ රාත්‍රී ආහාරයට එකතු විය. ශිෂ්ටාචාරය පුරා විසිරි ජාලගත දැනුම් පද්ධතියක් පැවතී නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීමට කාර්යාල නොවීය. ඒ වෙනුවට ශිෂ්ටාචාරයේ ඕනෑම තැනක් සමඟ සම්බන්ධ වී එම ස්ථානයේ සිටින ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණය සහිත කන්තෝරු කාමර සෑම නිවෙසකම පැවතුණි. 

ඩෙන්වර් නිවස ශිෂ්ටාචාර යුග පස්වැන්නේ එකකි. එය පැවතියේ සෑහෙන පිටත කක්ෂයකය. පහළ කක්ෂ සියල්ල ජනාකීර්ණ වීම නිසා දැන් ඒ ප්‍රදේශවල නිවාසයක් ලබා ගැනීම අපහසුය. ග්‍රහ ලෝකයට අවම හිරු එලිය ලබා දීමේ සීමා නිසා සමහර කක්ෂවල තවත් ජනපද බිහි නොකරන්නට තීන්දු කර තිබුණි. කොහොමත් නිස්කලංකව ඉන්න කැමති ඩෙන්වර් පවුල මෙතනට මනාපය. සංචරණය තව දුරටත් කාලය හෝ මහන්සිය වැයවන ක්‍රියාවක් නොවන බැවින් නිවස පිහිටි ස්ථානය එතරම්ම ගැටලුවක් නොවේ.

මිනිසා සිය තිඹිරිගෙය හැර එය වටා කක්ෂ ගතවීමට තීරණය කළේ, භුමියේ පාරිසරික අර්බුද තව දුරටත් තම පාලනයට නතු නොවන බව ඒත්තු යාම නිසාය. එසේම තම බලපෑම් නිසා ග්‍රහලෝකයේ සෙසු ජෛව පද්ධති විනාශ වී යාමේ අර්බුදය ගැන තමා තුළම උපන් වරදකාරී චින්තනය ඒ ගමනට දිරි දුන්නේය. තාක්ෂණයේ දියුණුවත් සමඟම ගුරුත්වාකර්ෂණය කෘත්‍රීමව නිෂ්පාදනය කිරීම, සංචරණය ගුරුත්වයෙන් නිදහස් වීම සහ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පය විසින් අභ්‍යවකාශය ජයගැනීම නිසා, ජීවයට වාසභවන නොවන වෙනත් ග්‍රහලෝකවලින් හාරාගත් ලෝහ භාවිතයෙන් කක්ෂගත ජනපද විශාල ප්‍රමාණයක් ග්‍රහලෝකය වටා ත්‍රිමාණ ලෙස මුද්‍රණය කිරීමට මිනිසා සමත් විය. නව ජනපදවල ජීවන තත්ත්වය ඉහළ යත්ම මිනිසා තමන්ට පාලනය කළ නොහෙන තිඹිරිගෙය අනෙකුත් ජීව ප්‍රජාවන්ට බාර දී තම අවශ්‍යතා උදෙසා ප්‍රමාණවත් සම්පත් රැගෙන නික්ම ගියේය.

මෙම ක්‍රියාවලිය තුළ නිර්මාණය කරගත් සංකීර්ණ පද්ධතිය පාලනය කිරීම මිනිසාගේ හැකියා සීමාවට බොහෝ සෙයින් එහා වූවකි. ඒ නිසා බොහෝ අභ්‍යවකාශ පද්ධති තුළ සිදු වූ පරිද්දෙන්ම පරිපාලනය බුද්ධිමත් කෘත්‍රීම පද්ධතියකට බාරදෙන ලදී. කාලයත් සමඟ මේ පද්ධතියේ කාර්යභාරය පුළුල් වී වර්තමානයේ මිනිසාගේ පාලකයා ලෙස සිය කැමැත්තෙන් පවත්වාගෙන යන්නේ මෙම මධ්‍යම පාලක පද්ධතියයි. තව දුරටත් බල ලෝභය හෝ ධන ලෝභය ගැන සිතන ආත්මාර්ථකාමී පාලකයන් නොමැති විය. පද්ධතිය මානව සංවර්ධනය උදෙසා විවිධ ඉලක්ක තීරණය කරමින් මිනිසාගේ සහය සමඟ ඒවා සාර්ථක විය. ශිෂ්ටාචාරය මෙසේ යුගයෙන් යුගයට කක්ෂ තුළ වර්ධනය වෙද්දී අභය භූමියක් බවට පත්වූ ග්‍රහලෝකය වන ගහනයෙන් වැසෙමින් මිනිසාගේ සංචාරක අවශ්‍යතා සපුරන ලදී.

ග්‍රහලෝකයෙන් එන කෝණික අඳුරු සෙවනැල්ල රාත්‍රිය සටහන් කළේය. ඩෙන්වර් මහත්මිය කෑම කාමරයේ ඇති ආහාර නිෂ්පාදන යන්ත්‍රයට අලුත්ම වට්ටෝරුවක් ඇතුළු කරමින් උන්නාය. 

"නතාලියා ඔයා කන්න එන්නේ නැද්ද?" 

"ඔයාලා පටන් ගන්න බිල් . මම මේ වට්ටෝරුව ඇතුළු කරලා එන්නම් .... තව එතකොට කොත්තමල්ලි... මොනවාද බිල් මේ කොත්තමල්ලි කියන්නේ? කොහෙන්ද ඒවා එන්නේ"

"ඔය නම් පරණ කාලේ ඉඳල එක එක වට්ටෝරුවල තිබ්බ නම්. වට්ටෝරුව ඔහොම දැම්මට නතාලි ඕවයේ සංඝටකනේ එන්නේ. මැෂිම ඔව්ව ඔක්කොම ගන්නේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතියෙන්. ඒ කිව්වේ අපේම අපරි ද්‍රව්‍යවලින්. ජනගහනය නොවෙනස් නිසා මිනිස් අවශ්‍යතා වෙනුවෙන් වැයවන සම්පත් ප්‍රමාණය නියතයි. අලුතෙන් යමක් ගන්න ඕනේ නැහැ. අවශ්‍යම නම් අවට ග්‍රහලෝකවලින් ගෙනෙන මූල ද්‍රව්‍යවලින් ඒ රසායනික සංඝටක පර්යේෂණාගාරවල හදන්න පුළුවන්"

"එතිකල් මයිනින් කියන්නේ ඒකද තාත්තා"

"ඔව් ජීවය නොපවතින ස්ථානවලින් සම්පත් නිස්සරණය කර ගැනීම තමයි එතිකල් මයිනින් කියන්නේ"

"තාත්තා මෙයා කන එකනම් මැෂිමට පාඩම් ඇති. හැමදාම ඉල්ලන්නේ එකම දේ" ඉල්ලන ඕනෑම වට්ටෝරුවක ආහාර ඒවායේ සංඝටකවල ත්‍රිමාන මුද්‍රණයක් ලෙස නිමැවීමට යන්ත්‍රයට හැකි නමුත් මැක්ස් ඩෙන්වර් හැමදාමත් කෑවේ එකම දේ ය. ඔහු තරමක් වෙනස් දරුවෙකි. වෙනත් දරුවන් නොදන්නා අසාමාන්‍ය කාරණා කෙරෙහි අනවශ්‍ය අවධානයක් දීම ඔහුගේ ස්වභාවයයි.

"අද කොහොමද දවස පුතා. කොහොමද අනිත් යාළුවන්"

සෑම පවුලකම ඇත්තේ දරු දෙදෙනෙකි. ඒ අනුව ජනගහනය පවත්වා ගන්නේ ආසන්න නියතයකය. ස්ථාවර ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණයක් ලෙස සංඛ්‍යාත්මකව ස්ථාවර ජනගහනය සැලකුණි.

වට්ටෝරුව ඇතුළු කළ ඩෙන්වර් මහත්මියත් පවුලේ අයට එකතු වූවාය. අල්ලාප සල්ලාපයෙන් විසුළු කතාවෙන් සහ ප්‍රීතියෙන් රාත්‍රී ආහාරය නිමා වන්නට විය. ශිෂ්ටාචාරයේ පාලක පද්ධති විසින් ඉලක්ක ගත කල පරිද්දෙන්ම මේ යුගය "සන්තුෂ්ටියේ යුගයයි". එය එසේම සිදු විය.

එහෙත් ඒ මොහොතේ නොඇසිය යුතු වූත් නොදැන සිටිය යුතු වූත් නොහොබිනා පැනය මැක්ස් ඩෙන්වර් ගේ මුවින් ගිලිහුණි.

සුළු වෙලාවකට කිසිවෙකුත් කිසිත් නොකීහ. තත්ත්වයේ බරපතලකම තේරෙන්නට ඩෙන්වර් මහත්මියටත් තරමක වෙලාවක් ගත විය. ඩෙන්වර් මහතා එක්වනම අසුනින් නැගිට ඉක්මන් අඩි තබමින් නිදන කාමරය දිහාට ගමන් කළේය. ඩෙන්වර් මහත්මිය ඉවෙන් මෙන් ඔහු පසුපස ගමන් කළාය.

"නතාලියා එයා ඒ කතාව දන්නේ කොහොමද? ඒ විස්තර වාරණයට ලක් කරලා තියෙන්නේ. ඒවා මනස නොමේරු කුඩා දරුවෙකුට තියා වැඩිහිටියෙකුටත් දෙන්නේ කාරණා දරාගන්න හැකිදැයි පරීක්ෂණයක් කරලා"

"බිල් මමත් එක හරියට දන්නේ නැති කතාවක්. කොහෙන් මෙයා හොයා ගන්නවද මන්දා"

"එක්කෝ මට මධ්‍යම පද්ධතිය දැනුවත් කරන්න වෙනවා එහෙම වුණොත් මැක්ස් ව එයාලා ටික කාලෙකට ඇතුළට ගනියි. මනස ශෝධනය කරන්න"

"ඔයාට පිස්සුද? අපි මේක ගෙදර මට්ටමින් බේරා ගම්මු"

"එහෙම බැහැ. කොහෙන් හරි අතීත දත්ත ලීක් වෙනවා"

"ඒවා මකා දාලා නැද්ද?"

"නැහැ ග්‍රහලෝකේ උන්නු ම්ලේච්ඡ යුගය ගැන තවම අධ්‍යනය කරන නිසා ඒවා මකන්නේ නැහැ. සම්පත් අද වගේ පූර්ණ ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකළ, ජනගහනය වර්ධනය වෙච්ච, පරිසරය විනාශකළ ඒ මානසිකත්වයන් අද දැඩි ලෙස පර්යේෂණය කරනවා. කෑදරකමට ස්වාභාව ධර්මය වනසපු, මුදල් මූලික ඉලක්කය වූ ඒ කාලයේ සියලු දත්ත පර්යේෂණාගාරවල තවම තියෙනවා"

"මාත් ටිකක් අහලා තියෙනවා ඒ කාලේ ගැන. මිනිස්සුලු නේද ශිෂ්ටාචාරයේ පාලනය ගෙනිච්චේ. පවුලක ළමයි පෝලිමක් හැදුවලු ඒ කාලේ මිනිස්සු"

"ඔව් ඒ කාලේ මිනිස්සුමයි සිස්ටම් එක පාලනය කරලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ පාලක මිනිහෙක් කියන්නේ වැරදීම්, දුරාචාර, අර්බුද කොපමණ ගණනක් ද?"

"ඒ කාලේ මිනිස්සු ග්‍රහලෝකයේ අනිකුත් ජීවිතවලට විශාල තර්ජනයක් වුණා. ඒ නිසයි ග්‍රහලෝකය හැර ගිහින් කක්ෂවල නිර්මාණය කරපු ජනපදවල ජීවත් වෙන්න පටන් ගත්තේ. අපි අද ජීවත් වන්නේ සන්තුෂ්ටියේ යුගයේ. මේ ඔක්කොම සියවස් ගණනක මධ්‍යගත පාලක පද්ධතියක් නිසා කෙරුණු දෙයක්. අපිට ආපහු ඒ කුණු කන්දල් ගන්න බැහැ ජීවිතවලට"

"දැන් අපි මොකද්ද කරන්නේ බිල්. මැක්ස්ව සෙන්ටර් එකට යවන්න වෙයිද?"

"මම හිතන්නේ. මොකද එයා එහෙම අහනවා කියන්නේ කොහෙන් හෝ ඒවා දැනගෙන. ඇහුව වගේ එයාට එහෙම කරන්නත් හිතුණොත්. ඔයාගේ දරුවා ම්ලේච්ඡයෙක් වෙනවා දකින්න ඔයා කැමතිද නතාලියා?"

"කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී අපි මේකට සන්තුෂ්ටිය කියන්නේ?" නතාලියා දෑතෙහි මුහුණ හොවා ගත්තාය.

"ඇයි  බිල්  ඒ  කතාව  මේ  තරම්  හංගන්නේ?  ඇයි  මේක  අපිට  මැක්ස්  එක්ක  කතා  කරලා  බේරා  ගන්න  බැරි?"

"අවු  20  පහළ කෙනෙකුගේ  අවබෝධය  තුළ  ඔය  වගේ  දෙයක්  පැලපදියම්  වුණොත්  එය  ධාවනය  වන්නේ කුතුහලය  නිසා. ඒ  වයසේදී  ඕනෑම  දෙයක්  කරලා  බලන්න  හිතෙනවා.  ඒ  නිසා තමයි  ඒ  වගේ  ම්ලේච්ඡ  හැසිරීම්  පොදු  සමාජයට  විශේෂයෙන්ම  දරුවන්ට  දැනගන්න  දෙන්නේ  නැත්තේ.  වර්තමානයේ  අපිට  එහෙම  දේවල් කරන්න වුවමනාවක්  එන්නේ නැහැ. අපේ  මනස  නිසි  හික්මීමකට ලක්  කරලා  තියෙන්නේ  අධ්‍යාපනය  හරහා.  අපි  වයස  විස්සේදී  අපේ  මානසික  හැකියාවන්  ගැන  කරන  පරීක්ෂණවලදී  අපේ  මනසට  මේ වගේ  දෙයක්  දරන්න  හැකිද  කියා  පද්ධතිය  පරික්ෂා  කරනවා.  ඒ  ටෙස්ට්  එක  පාස්  වෙච්ච  කෙනෙකුට පමණයි  මේ  වගේ  දෙයක්  දැනගන්න  ලැබෙන්නේ.  ස්වයං  විනය  තුළින්  මිසක්  මේවා නීති  දාලා  පාලනය  කරන්න  බැහැ"   

"ඒ  කියන්නේ  මැක්ස්  ගේ  මනසින්  මේ  අදහස  ඉවත්  කරන්නම  වෙනවා"

"ඔව්, මැක්ස් විතරක් නෙවි. අපිට නටාෂාත් යවන්න වෙයි. ඒ වගේම එයාලගේ යාළුෙවාත්. කුඩා කාලයේ මේ වගේ ම්ලේච්ඡ දේවල් ගැන දැන ගැනීමෙන් මනසේ ඊට ආශාවක් ඇතිවෙන්න පුළුවන්. මේ කාරණා දැනගන්න කලින් පුද්ගලයා පූර්ණ ලෙස හික්මවන්න ඕනේ"

ඈතින් ඇසෙන මවගේ ඉකිබිඳුම දරුවන් මීට පෙර අසා ඇති දෙයක් නොවේ. මොකක් හෝ නොවිය යුතු යමක් සිදු වූ බව තේරී නටාෂා වික්ෂිප්තව තම සොයුරා දෙස බලයි. මැක්ස් ගේ මුහුණ පිරී ඇත්තේ ඇය දකින්නට අකමැති දඟකාර ළමයාගේ හැඩරුවිනි.

"මැක්ස්, මොකද්ද ඒ අහපු කතාව?"

"මම වැරදි දෙයක් ඇහුවද? මම ඇහුවේ ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් ජීවත් වුණේ සත්තුන්ගේ මස් සහ ගහකොළවල කොටස් කාලා නේද කියලා. හැමදාම ආහාර නිෂ්පාදන යන්ත්‍ර තිබුණා වෙන්න බැහැනේ. යන්ත්‍රය හදන්න කළින් හිටි ම්ලේච්ඡයොත් මොනවා හරි කන්න ඕනේ නේද?"

සුජීව කොකාවල

නව අදහස දක්වන්න