මහ බැංකු අධිපති අලුත් වීම | දිනමිණ

මහ බැංකු අධිපති අලුත් වීම

2005 වන තුරු ම මේ තනතුරට සෘජුව දේශපාලනයට සම්බන්ධ වූ අයකු පත් වී නැත. පක්ෂයක් නියෝජනය කරමින් පළාත් පාලන මන්ත්‍රී ධුරයක් දැරූ දේශපාලනඥයකු මහ බැංකු අධිපති ධුරයට පත් වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ය. එය හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීමයි. පසු කලෙක මහ බැංකුව වැටී තිබූ තත්ත්වය කෙනෙකුට සිතා ගත හැකි ය. එහෙත් නිවාඩ් කබ්රාල් මහතාට එදත් එතරම් විරෝධයක් දක්නට නොලැබුණි.

1949 අංක දරන මූල්‍ය පනත සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ආර්ථික මෙහෙයවීමේ ස්වාධීන බලයක් සහිත ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස සැලකේ. රටේ රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේ ම බැංකු මෙන් ම මූල්‍ය ආයතන සියල්ල මෙහෙයවීමේ පූර්ණ බලය හිමි ව තිබෙන එකම ආයතනය ලෙසින් ද මෙය හැඳින්විය හැකි ය. එසේ ම රජය වෙනුවෙන් ණය ලබා ගැනීම හා ණය කළමනාකරණය මූලික වශයෙන් පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. සාමාන්‍යයෙන් මහ බැංකුව සැලකෙන්නේ රටේ ආර්ථිකය මෙහෙය වන ඇන්ජිම ලෙසිනි. මේ නිසා මහ බැංකු අධිපති ධුරය වැදගත් තනතුරක් ලෙසින් සැලකේ.

මේ තනතුර දැරූ අය අතුරින් අර්බුදයට ගිය එක ම චරිතය පසුගිය දා සිය නිල කාලය අවසන් වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා පමණක් නොවේ. ප්‍රථම මහ බැංකු අධිපති ජොන් එක්ස්ටර් හා ආචාර්ය එන්. යූ. ජයවර්ධන ආදී අධිපතිවරුන්ගේ පාලන සමවල දී ද යම් යම් අර්බුද මතු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමත්‍ය ඩී.ඇස්. සේනානායකයන් ගේ අභාවයෙන් පසු පැවැති මැතිවරණයෙන් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ ජයග්‍රහණයට හේතු වූයේ එවකට සිටි මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර්ගේ උපදෙස් පරිදි පැවැති මහා මැතිවරණය යැයි පැවසේ. එසේ ම 1953 හර්තාලයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධුරයෙන් ඉවත්ව යෑමට සිදු වූයේ එම හර්තාලයට හේතු වූ ආර්ථික කාරණා මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ ඒවා නිසා බව ද ඔහුට චෝදනා කරන අය සඳහන් කරති. මේ නිසා මහ බැංකු අධිපතිවරයාට එම තනතුර අත් හැර යෑමට සිදු වූ බව ද පැවසේ. හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ ආචාර්ය එන්. යූ. ජයවර්ධන මහතාට එල්ල වූයේ මීට වඩා වෙනස් වූ චෝදනාවක් වුවත් ඔහු ඉල්ලා අස් වී පැවැති පරීක්ෂණයෙන් හෙතෙම නිදහස් විය. මින් අදහස් වන්නේ මහ බැංකු අධිපති ධුරය කාගේත් අවධානයට ලක් වන සංවේ දී තනතුරක් යන්නය.

පසුගිය පත්කිරීම්

2005 වන තුරු ම මේ තනතුරට සෘජුව දේශපාලනයට සම්බන්ධ වූ අයකු පත් වී නැත. පක්ෂයක් නියෝජනය කරමින් පළාත් පාලන මන්ත්‍රී ධුරයක් දැරූ දේශපාලනඥයකු මහ බැංකු අධිපති ධුරයට පත් වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ය. එය හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීමයි. පසු කලෙක මහ බැංකුව වැටී තිබූ තත්ත්වය කෙනෙකුට සිතා ගත හැකි ය. එහෙත් නිවාඩ් කබ්රාල් මහතාට එදත් එතරම් විරෝධයක් දක්නට නොලැබුණි. අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්වන්නේ 2015 ජනවාරි 8 වැනි දායින් පසු නිවාඩ් කබ්රාල් මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට ය. කබ්රාල් මහතාගේ වසර 6ක ධුර කාලයෙන් ඉතිරි වී ඇති වසර එකහමාරක පමණ කෙටි කාලකට ය. එම කාලය අවසන් වීමෙන් පසු නැවත වසර 6කට පත් කරනු නොලබන්නේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය ඉබේ ම අහෝසි වනු ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් දර්ශනය, දේශපාලන හා ආර්ථික විද්‍යාව යන විෂයන් සම්බන්ධයෙන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධියක් සහිත වසර 11ක් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කළ මාණ්ඩලීය නිලධාරියෙකි. එසේ ම පසු කලෙක කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ තමන්ගේ ම තැරැව්කාර සමාගමක් පවත්වාගෙන ගිය අයෙකි. 2001 රනිල් වික්‍රමසිංහ රජයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළේ ද අර්ජුන් මහේන්ද්‍රන් ය. පසුකලෙක විදේශ බැංකු දෙකක ආර්ථික උපදේශකවරයකු ලෙසින් ද ඔහු කටයුතු කර ඇත. මේ අනුව ගත් කල පසුගිය රජය පත් කළ මහබැංකු අධිපතිවරයාට වඩා විෂයානු බද්ධ මෙන් ම මහ බැංකුවේ හා හා පෞද්ගලික අංශයේ සේවය කිරීමේ අත්දැකීම් රැසක් අර්ජුන් මහේන්ද්‍රන් සතු ය.

පසුගිය සමයේ මහේන්ද්‍රන්ට එරෙහි ව එල්ල වූ චෝදනාව බරපතළ ය. එම චෝදනාවටත් වඩා ඊට රට පුරා ලැබුණු ප්‍රචාරය ද බලගතු විය. ඊට හේතුව නම් ජනතාවට කරුණු කාරණා පැහැදිලි කිරීමේ වත්මන් රජය සතු ප්‍රචාරක යාන්ත්‍රණයේ අඩුවක් බව පෙනේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට චෝදනාව එල්ල වන්නේ මහ බැංකුවේ බැඳුම්කර අලෙවියේ දී ඔහුගේ බෑනාගේ සමාගමට වැඩි වාසියක් අත් වන අයුරින් කටයුතු කිරීමක් ගැන ය. මේ චෝදනාව පාර්ශ්ව කීපයකින් එල්ල වන නමුත් ඒකාබද්ධ විපක්ෂයේ චෝදනාව එක්තරා දුරකට හාස්‍යජනක ය. මහ බැංකු බැඳුම්කර නිකුතුව ඇරඹුණේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේ පමණක් නොවේ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අජිත් කබ්රාල් යුගයේ ද රජයට මුදල් අවශ්‍ය වන විට බැඳුම්කර නිකුත් කිරීම් සිදුවිය. එය විධිමත් ටෙන්ඩර් පරිපාටියකට අනුව සිදු කළේ අර්ජුන් මහේන්ද්‍ර යුගයේ ය. එදා (කබ්රාල්) යුගයේ එය සිදු වුයේ කීප දෙනෙකුට දුරකතනයෙන් කතා කර ලබා ගන්නා තොරතුරු මත බැදුම්කර වෙන්දේසිය පැවැත්වීමෙනි. 2014 දී සාමාන්‍ය පොළී අනුපාතයට 11.75 යටතේ ලංසු ඉදිරිපත් කළේ ගැනුම්කරුවන් දෙදෙනකු පමණි. පසුගිය දා එය ගැනුම්කරුවන් 26 දෙනෙක් ඉදිරිපිට විධිමත් ටෙන්ඩර් පරිපාටියකට අනුව මිල ගණන් තැබීමක් දක්වා විධිමත් වී තිබේ. එහෙත් මෙදා නිවැරැදි ක්‍රමයට ද අභියෝග කරන ඒකාබද්ධ විපක්ෂය එදා කටක් ඇරියේ නැත. ඒ අනුව ගත්කල වත්මන් ක්‍රමයට අභියෝග කිරීමේ සදාචාරාත්මක අයිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට හා මේ රටේ සිවිල් ව්‍යාපාරවලට මිස ඒකාබද්ධ විපක්ෂයට නොවේ.

වංචාවක් සිදු වී තිබේ නම් එදා වැරැදි කරන විට නිහඬව සිටි අයට වුව ද කතා කිරීමට අයිතියක් නැතැයි මින් අදහස් නොවේ. තම පාලන යුගයේ දී පවා වැරදි සිදු වූ බව සඳහන් කරමින් ඔවුන් විරෝධය පාන්නේ නම් එහි සාදාචාරයක් ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනාට අයත් සමාගම හැදින් වෙන්නේ ”පර්පැචුවල් ට්‍රෙෂරීස්” නමිනි. මේ සමාගම වසර 30ක් තිස්සේ ම මහ බැංකුව හා බැඳුම් කර නිකුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් යුගයේ ඔහුගේ නැගණිය සේවය කර තිබෙන්නේ ද මේ සමාගමේ බව දන්නෝ දනිති. එදා කබ්රාල්ගේ අවිධිමත් බැඳුම්කර අලෙවි ක්‍රියා දාමය තුළ පර්පැචුවල් ෙට්‍රෂරීස් ආයතනය ද එක් ගැනුම්කරුවෙකි. නැතිනම් මහබැංකු අධිපතිවරයාගේ බෑනා ද හොඳ බැදුම්කර ගැනුම්කරුවෙකි. අජිත් කබ්රාල් මහතාගේ නැගණිය එම සමාගමේ සේවය කරන සමයේ ම මහ බැංකුව මේ බැඳුම් කර ගනුදෙනු එම සමාගම සමඟ පවත්වා ඇත. එහෙම වෙන කොට හොඳ ය. මෙහෙම වෙන කොට නරක ය. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම ඔහු මහ බැංකු අධිපතිවීමෙන් පසු බැඳුම්කර උදෙසා ලංසු තැබීමට අටවා ගත් සමාගමක් නොවේ. මේ වැඩේ දිගින් දිගට ම සිටි ඊට සුදුසුකම් ඇති ආයතනයකි.

එහෙත් මාමාගේ හා බෑනගේ ඥාති සබඳතාත් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීමත් ඊට මහ බැංකු අධිපතිවරයාගේ යම් කැමැත්තක් තිබූ බවටත් මතු වන සැකය බැහැර කිරීමට නොහැකි සත්‍යයක් ලෙසින් සමාජ ගත වී තිබේ. එමගින් රටට අලාභයක් සිදු වී තිබේ යන්න තවත් බරපතළ චෝදනාවකි. හිටපු මහබංකු අධිපතිවරයා ම මේ පිළිබඳ කරනු ලබන සඳහන මෙහි වැදගත් වේ.

”ඔය කතාවට ලක් ව ඇති සමාගම ලොකු ලංසුවක් තබා තිබුණා. ඒ ලංසුව ඔවුන් තියලා තිබුණේ ලංකා බැංකුව හරහායි. ලංකා බැංකුව හරහා එවැනි විශාල ලංසුවක් ඉදිරිපත් කිරීමේ දී අනිත් අයට තිබුණු සැකයක් එක්ක ඔය කියන චෝදනාව එල්ල වුණාය කියලා මම හිතනවා.” (අර්ජුන් මහේන්ද්‍රන් - 21.05.2015 සිළුමිණ)

හිටපු අධිපතිවරයා සඳහන් කරන ලොකු ලංසුව අදාළ සමාගම ලබා ගෙන ඇත්තේ රජයේ අවශ්‍යතාවක් යැයි සඳහන් කරමින් ටෙන්ඩර් මගින් ලබා ගැනීමට නියමිත ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක මුදලක් අඩංගු බැඳුම්කර නිකුත් කිරීමට යෑමේ දී ය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් නීතිඥයන්ගෙන් සමන්විත කමිටුව පවා නිර්දේශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ය. එක් අවස්ථාවක දී අසාමාන්‍ය ලංසු තැබීමේ විලාසිතාවක් එහි දී දක්නට ලැබෙන බව එම නීතිඥ කණ්ඩායම කියා තිබේ.

හිටපු වානිජ මණ්ඩල සභාපති චන්ද්‍රා ජයරත්න මහතා මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මූලික අයිතිවාසිකම උල්ලංඝනයවීමක් ගැන සඳහන් කරමිනි. මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නැත යන්නයි. එහෙත් මූල්‍ය අපයෝජනයක් සිදු වී නැතැයි මින් අදහස් වන්නේ නැත.

තවමත් මීට අදාළ පරීක්ෂණ සිදුවෙමින් පවතී. නිශ්චිතව වගකිව යුත්තේ කවුරුන් ද අලාභය කොපමණ දැයි තීරණය වන්නේ එම පරීක්ෂණවලින් අනතුරුව ය. මූලික සොයා බැලීම සිදු වන්නේ කෝප් කමිටුව හරහා ය. විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් ඉදිරිපත් වන කාරණා ද බරපතළය. කෝප් කමිටුවේ හිටපු සභාපති සි.යු. ගුණසේකර මහතා සඳහන් කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත් නොකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව හොඳට ම ප්‍රමාණවත් යන්නයි.

කතා නොකළ ගැටලු

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කන්ට්‍රි රිපෝට් එකේ රුපියල් බිලියන 40ක් ඕන කියල දැනුම් දීල තියෙනවා. නමුත් ණය මුදල ලබා ගන්න කොට මිලියන 80ක් අරන් තියෙනවා, මූල්‍ය අරමුදල ඔවුන්ගේ වාර්තාවෙන් අහනවා. රටට 40ක් ඕන කියල 80ක් ගන්නෙ කොහොම ද කියල. 80ක් ගන්නෙ බොහොම ඉහළ පොලී අනුපාතයකට. මූල්‍ය අරමුදල කියන්නේ මේකෙන් රටේ මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති වේවි කියලයි.” (ඩියු ගුණසේකර 28.06. 2016) මේ නිසා යහපාලන ආණ්ඩුවකට මේ කාරණා කිසිසේත් ම සරල අයුරින් බැහැර කර නොහැකි ය.

එදා කබ්රාල් යුගයේ මහ බැංකුව රටට කළ පාඩුව මේ විදියට කතා බහ වූයේ නැත. එදා සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළෙඳ පොළට දමා සිදු කළ පාඩුව රු. කෝටි 2800කි. ග්‍රීසියේ ආයෝජනයෙන් සිදු වු පාඩුව රු. කෝටි 700කි. හෙජින් ගනුදෙනුවෙන් සිදු වූ පාඩුව රු. කෝටි 7000කි. එදා මේවා ගැන මේ තරමේ ආන්දෝලනයක් තිබුණේ නැත්තේ කාට බයේ දැයි කියන්න දන්නේ නැත. එහෙත් අද මේ සියල්ල යහපාලනය යටතේ විවෘතව කතාබහට ලක් වේ.

කෙසේ නමුත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන ප්‍රතිරූපය ඔහුටත් මහ බැංකුවටත් ආණ්ඩුවටත් හොඳ නැත. මේ නිසා ඔහුට නව සේවා කාලයක් ලබා නොදීමට ගනු ලැබූ තීරණය මහ බැංකුව වැනි ආයතනයක ප්‍රතිරූපයටත්, රජයටත් හොඳ ය. ඉදිරියේ දී මේ සියල්ලේ නිරවද්‍යතාව රටට දැක බලා ගැනීමට හැකි වනු ඇත.

එහෙත් එතෙක් බලා නොසිට රජය නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීමට ගනු ලැබූ තීන්දුව යහපාලන තීන්දුවකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙසින් සියල්ලටම ඇහුම්කන් දී අගමැතිවරයා‍ගේ නිර්දේශය ද ලබාගෙන නව මහබැංකු අධිපතිවරයා ලෙසින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇත. එය සුදුසුකම් සහිත නිවැරැදි තෝරා ගැනීමක් ලෙසින් ද ඉතිහාසයට එක්වනු ඇත.

රාම් 


නව අදහස දක්වන්න

Or log in with...