2011-05-11

දරුස්මාන්ගේ චෝදනා බොරු ලොවට ඇත්ත හෙළි කරනවා

දරුස්මාන්ගේ චෝදනා බොරු ලොවට ඇත්ත හෙළි කරනවා

මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති කියයි
 

* පිළිතුරු දීමට අවශ්‍ය නැති වාර්තාවක්

* කිසිම ප්‍රඥප්තියක් අප අස්සන් කර නෑ

* උ/නැ’හිර තත්ත්වය උගත් පාඩම් කොමිසම සොයා බලනවා

* වාර්තාව ගැන සාකච්ඡා කරන්න ඉන්දියාව එන්නේ නෑ

දරුස්මාන් වාර්තාවෙන් මතුකර ඇති අභූත චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව සැබෑ තත්ත්වය ලෝකයා හමුවේ හෙළිකිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ප්‍රධානීන්ට ඊයේ (10) හෙළි කළේ ය. දරුස්මාන් වාර්තාවෙන් නඟා ඇති චෝදනා වලට පිළිතුරු දීමට පවා අවශ්‍ය නැතැයි එතුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය.අපි කිසිම ප්‍රඥප්තියකට අස්සන් කර නැහැ. ඒ නිසා දරුස්මාන්ගේ වාර්තාවෙන් නඟා ඇති චෝදනාවලට අපි බිය විය යුතු නැහැ.

මුල සිටම අප දරුස්මාන් ගේ වාර්තා පිළිගත්තේ නැතැයි විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී කියා සිටියේ ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව උතුරු නැඟෙනහිර ප්‍රදේශවලට ගොස් යථා තත්ත්වය විමසා බැලීමට උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම අපේ රටේ නීතිය යටතේ පත්කර ඇතැයි ද? එම කොමිසමේ අතුරු වාර්තාවක් ලබාදී ඇතැයිද මහාචාර්යවරයා කීවේය. එම කොමිසමට තවත් කරුණු පිරික්සීමට කාලය ඉල්ලා ඇති හෙයින් ඊට ඉඩ ලබා දී ඇතැයිද විදේශ කටයුතු ඇමැතිවරයා පැවසීය.

ඉන්දියාවේ නියෝජිත පිරිසක් දරුස්මාන්ගේ වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වී තිබූ ප්‍රවෘත්තිය ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේ ය. ඉන්දියාවේ මතය කුමක්දැයි මාධ්‍ය ප්‍රධානියකු ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිතුමා මෙසේ කීවේ ය. “අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපිට විරුද්ධව කිසිවක් කියා නැහැ. පක්ෂව කියලාත් නැහැ. 2005 පසු ඉන්දියාව අප සමඟ සුහදව කටයුතු කළා. එය අපි අගය කරනවා. ඉදිරියේ දී එම සහයෝගය අපට ලැබෙන බව විශ්වාසයි. තානාපතිවරුන්ගේ මාර්ගයෙන් අපේ අනෙකුත් මිත්‍ර රටවල් ද දැනුවත් කරනවා. ජනාධිපතිතුමා කීවේ ය.

සිවිල් වැසියන් යුද්ධයේ දී මරා දැමීම පිළිබඳ බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇති බව කියූ ජනාධිපතිතුමා ජය සිකුරු මෙහෙයුම, හෙණ පහර ආදී නම්වලින් මෙහෙයුම් නතරකොට සිවිල් වැසියන් බේරා ගැනීම සඳහා මානුෂීය මෙහෙයුමක් දියත් කළ බව කීවේ ය. සිවිල් වැසියන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම පැවැති කාලයේ ඔවුන් සමඟ සිටි දෙමළ සංධානයේ හිටපු මන්ත්‍රී කනගරත්නම් මහතා දෙමළ වැසියන් 600ක් ප්‍රභාකරන් මරා දැමූ අයුරු හෙළි කළ බව ද කීවේ ය.

සිවිල් වැසියන් නිරුපද්‍රිතව බේරාගත් ආකාරය පිළිබඳ හොඳම උදාහරණය ලෙස ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ යාන්තමට සිංහල කතා කරන්න දන්නා දෙමළ කාන්තාවක් අපේ ආරක්ෂක හමුදාවන්ට කළ ප්‍රකාශයයි. “අපේ රජුට කියන්න අනිත් අයත් බේරාගන්න යන්න” ඇය කළ ප්‍රකාශයයි. සාමාන්‍ය ජනතාවට නැවුවලින් ගොස් ආහාර බෙදා දුන් අන්දමත් කොටි සංවිධානය හාල් හා පිටි මුට්ට වලින් බංකර් හදා සිටි අන්දමත් ජනාධිපතිතුමා සිහිපත් කළේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා