Home » ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට අපරාජිතව පිවිසෙයි

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට අපරාජිතව පිවිසෙයි

by chanaka
July 7, 2023 8:25 pm 0 comment

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(07) පැවැති තරගයෙන් කඩුලු 08ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ, සිම්බාබ්වේ හරාරේ හිදීය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදුන්නේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 243ක් රැස් කළේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කේසි කාටි ලකුණු 87යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 02ක් දවාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 244ක ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් විශිෂ්ට ලකුණු 190ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවීගියේ ලකුණු 104කටය.

දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවීගියේ ලකුණු 83ක් ලබා සිටියදීය. එවිට ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 204ක් ලෙසය. ඉන්පසු කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියේය.

ඒ අනුව පන්දුවාර 44යි පන්දු 02ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 244ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක්ම කණ්ඩායම් දෙකේම පන්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.

තරඟයේ වීරයා බවට පත්වුයේ පිතිකරුවන්ට පහසු ලකුණු සහිත පිටියක කඩුලු 4ක් දවාගත් මහිෂ් තීක්ෂණ ය.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර හරාරේ හී දී පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේ ද එම කණ්ඩායම් දෙකයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT