2008-11-06

සහෘද රසිකයන්ගේ කදුළු

සරසවිය

සහෘද රසිකයන්ගේ කඳුළු

ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ වියෝව පිළිබඳ ඔහුගේ රසික සහෘදයෝ තවමත් කම්පා වෙති. බාල, තරුණ, මහලු බේදයකින් තොරව ඒ සාතිශය සංවේගය සැමටම පොදුය. සැබැවින්ම ජීවත්ව සිටි කේමදාසයන්ට වඩා මිය ගිය කේමදාසයන්ගේ දැවැන්ත ප‍්‍රතිරූපය සිරිලක් දෙරණ අරා සිහසුනේ වැඩ හිඳින්නාක් මෙනි. ඔහුගේ නිසල කය අප හැර ගියද ඔහු අප වෙත ඉතිරි කර ගිය නිර්මාණ සමුදාය ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ සදා නොසිඳෙන උල්පතක් බඳුය. මේ මහා සංගීතවේදියා, උත්තරීතර මිනිසා පිළිබඳ කම්පා වන්නන් අතරට ‘සරසවිය’ පාඨකයන් ද සිය හදවතේ නැඟි උණු කඳුළු පත් ඉරු අතරට මුසු කරන්නේ මෙලෙසිනි.

ඔබ ගිය එකයි දුක අප දවා

සදා නොමැකෙන මතක සටහන්
නිමා කළ අප ඇදුරුතුමණි
කියා ගන්නට බැරි තරම්
රිද්මය හඬයි මුළු හදවතින්

පිය සෙනෙහසින් සොහොයුරු පෙමින්
හිත මිතුරු සැමටම නොකියමින්
ඒ තනුව ශෝකය කඳුළකින්
නිමා වෙන්නට වැයුවේ කෙලෙසකින්

සිය දහස් වර නෙක තරු මවා
සිනමා පටය නෙක හැඩ මවා
දුක සතුට සාගරයක් මවා
ඔබ ගිය එකයි දුක අප දවා

වැයූ වීණාව සත්සර හඩින්
කෝමල ස්වර නිහඬව බලන්
හැඩ තාල රාග අද ගොළු වතින්
ඔබ එනතුරා ඇත මග බලන්


යළි උපදින්නට හේතු වාසනා වේවා!

පෙ‍්‍ර්මසිරි කේමදාස නම් හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබ කලා කෙතට කළ මෙහෙවර කියා නිම කළ හැකිද? සමුගෙන ගිය ඔබ නැවතත් මේ රණ් දෙරණේ මතු උපදින්නට හේතු වාසනා වේවායි ප‍්‍රාර්ථනා කරමි.


විශ්ව සංගීතය අපට හඳුන්වා දුන්නේ ඔබයි

විශ්ව සංගීතය කුමක්දැයි අපට හඳුන්වා දුන් ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස නම් වූ අපේ කාලයේ මහා ගාන්ධර්වයාණෙනි, ගොළු හදවතින් තුන් වැනි යාමයට පිය මං කරමින් බඹරු ඇවිත්, නිධානය, හංස විලක්, පාර දිගේ, සිරි මැදුර, බව දුක, බව කර්ම, සුද්දිලාගේ කතාව, ඉන්දුට මල් මිටක්, පූජා, ළසඳ්‍ර, වාසනා, නෑදෑයෝ, දුලීකා, ජනක සහ මංජු, අග්නිදාහය, ඇතුලු සිනමා සිත්තම් රැසකට නව නාද රටා එක් කරමින් සිංහල සිනමා ලොව සංගීතයෙන් බැබැල වූ ඔබ ඉන් නොනැවතී සයුරෙන් එතරට පියාසලමින් භාරත දේශයේ දී නිර්මාණය කරන ලද වසනතත්විල් ඔරුවාන් විල් ද්‍රවිඩ සිනමා සිත්තම තුළින් මැව් සුන්දර ගී නිර්මාණයන්ද අපගේ මතයෙන් කිසිදා ඈත් නොවේ.

මෙරට සංගීතය විශ්ව තලයට ගෙන ගිය ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියාණෙනි, වෙද හාමිනේ, ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල, දඬුබස්නාමානය,රැජන, හතර දෙනෙක් සෙන්පතියෝ ඇතුළු ටෙලි සිත්තම් වෙනුවෙන් එක් කළ සංගීත නිර්මාණයන් තුළ තිබෙන්නා වූ අගය ද ඛ්යා නිමක් කළ නොහැක.

මෙරට සංගීත ක්ෂේත‍්‍රයට අද්විතීය සේවයක් සිදු කළ පෙ‍්‍ර්මසිරි කේමදාස සංගීත වේදියාණන්ගේ අඩුව පුරවාලීමට සමත් කිසිවෙක් මිහිපිට පෙනෙන තෙක් මානෙකවත් නැත.

සිරිලක් දෙරණේ වෙසෙන්නා වූ ඔබට ආදරය කළ සියලුම රසික රසිකාවන්ගේ දෙනෙතට කඳුළු එක් කරමින් දැයෙන් සමුගෙන ගිය ඔබට නිවන් සුව ලැබේවායි මම පතමි.


නැවත අප අතරට එන්න

ජන හදවත් සංගීත රාවයෙන් මන්මත් කරවා
හෙළ සංගීත ලොව නොමියෙන ලෙස ලියවා
නොබියව, එඩිතරව අදහස් රටටම පවසා
සිරුරෙන් මිය ගියත් කෙම්දස් නම බැබලෙයි සැමදා


ඔබට නිවන් සුව!

චිත‍්‍රපට - ටෙලි නාට්‍යන්ට සංගීතය සැපයූ ප‍්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය පෙ‍්‍ර්මසිිරි කේමදාස සංගීතවේදියාට සරසවි පාඨකයන් සමඟ එක්ව නිවන් සුව පතමි.


කලා ලොව වර්ණවත් කළේ ඔබයි

මිල මුදලට යට නොවී තම හැකියාවන්, දක්ෂතාවයන් තුළින් කලා ලොව වර්ණවත් කිරීමට ඔබ ගත් උත්සාහය කලා ලොවට පමණක් නොව මුළු මහත් ජාතියටම ආඩම්බරයකි.

දුක් කම්කොටාළු මැද ‘සංගීත මංජරියෙන්’ ඔබ ආරම්භ කළ ‘සංගීත දිවිය’ මුළු ලොවටම විදහා පෙන්වමින් සිංහල සංගීතයට ඔබ කළ මෙහෙවරට මුළු මහත් ජාතියම ඔබට සදා ණය ගැතියි. මෙම ‘සිතුවිල්ල’ ඔබට උපහාරයක්ම වේවා.

ඔබතුමාට නිවන් සුව!


රිද්මයේ විරාමය

සත් ස්වරය
සිත් පිනන
පෙ‍්‍ර්මයේ
මන්ත‍්‍රය
ජන හදේ
දිරි ගුණය
පණ පොවා
සෞන්දර්යෙන්
රස මැවූ
රිද්මයේ
විරාමය
කඩතුරාවෙන් පසුත්
නැඟෙනු ඇත ලක්බිමේ


අපේ ශෝකය

ශ‍්‍රී ලංකා සංගීත කලාවට අති මහත් සේවාවක් කළ සංගීතඥ පෙ‍්‍ර්මසිරි කේමදාස මහතාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය.


සත්සරනියමුවාණෙනි . .

මුසපත් කළ හද
නංවා ස්වර නද
ඔබ විය පුරහඳ
සත්සර අඹරට

බිඳුණද ස්වර තත
සිහි වෙයි ඔබ වත
කඳුළක සැම නෙත
වැළපෙයි ලොව සත

ගීයක සුව නැති
ලෝකෙක ඔබ ඇති
කළ මෙහෙයට තුති
මෙලෙස එවමි මැති


මහ ඇදුරුතුමනි

ශ‍්‍රී ලාංකික සංගීත කෙත අස්වැද්දූ මහා ඇදුරුතුමනි ඔබ අපෙන් වෙන්ව ගිය ද, තවම ඔබ අප අතරය. ඔබේ නාමය අමරණීයයි. මහා ගාන්ධර්වයාණෙනි, ඔබ ඵල ගැන් වූ මේ සංගීත කෙත නිසාවෙන්ම ඔබගේ නාමය මේ විශ්වයේ නිරන්තරයෙන් පවතිනු ඇත. ඔබට නිවන් සුව පතමු!


හිතුවක්කාරයාගේ නික්ම යාම

රටකට කලකින් පහළ වන දුලබ වාසනා ගුණ මහිමයෙන් පිරිපුන් මහා පොළොව සේම මව් පොළොවටද ඔබතුමන් මහඟු සම්පතක් වූයේය. ඔබතුමා අප ඇමතුවේ හදවතේ ගැඹුරුම තැනින් නින්නාද වන සප්ත ස්වරයෙන් මැවෙනා මියුරු සංගීත රාවයෙනි.

ඔබතුමාගේ සංගීත භාවිතය මෙරට චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ අතිශය පුළුල් වපසරියක විසිර පැතිරුණේය.

ගොළු හදවත, බඹරු ඇවිත්, නිධානය, අහස් ගව්ව, හංස විලක් වැනි චිත‍්‍රපට හරහා අපේ මහා සිනමා සංගීත සම්ප‍්‍රදාය බිහි කරලීමට දායක වූ ඔබතුමන්, වෙද හාමිනේ, කඩුල්ල, ඇසළ කළුවර, දඬුබස්නාමානය වැනි ටෙලි සිත්තම් හරහා අපේ ටෙලි නාට්‍ය කලාවට නැවුම් සංගීත සම්ප‍්‍රදායක් හඳුන්වා දුන්නේය. සොඳුරු ගාන්ධර්වයාණෙනි, ඔබ අප හදවත් හි සදා අමරණීයව පවතිනු ඇත. ඔබට නිවන්සුව අත්වේවා!


සමුගැන්ම පාඩුවකි

70, 80 හා 90 දශකයන් හි තිරගත වූ චිත‍්‍රපට අතරෙන් බොහොමයක්ම ඔබගේ සුමධුර මනහර සංගීතයෙන් ඔපවත් වූ බව අපි දනිමු. ඒත් අද ඒ ජනප‍්‍රිය සංගීතයට උර දුන්, දෙස් විදෙස් සුපතල මහා කලාකරුවාණන් අප සැම හැර ගොසිනි.

ඔබතුමාගේ සමු ගැනීම මුලු මහත් සංගීත ක්ෂේත‍්‍රයටම සිදු වූ බලවත් පාඩුවකි. ඒත් එතුමාගේ නිර්මාණයන් අප හදවත් තුළ සදා ලැගුම් ගෙන ඇත. ඔබතුමාට අජරාමර නිවන් සුව අත්වේවා!