2008-11-05

කිරිපිටිවල අඩංගු රසායනික ද්‍රව්‍යවල සංයුතිය

කිරිපිටිවල අඩංගු රසායනික ද්‍රව්‍යවල සංයුතිය
ඇසුරුමේ නිවැරැදිව ප‍්‍රදර්ශනය කළ යුතුයි

කඩිනමින් පියවර ගන්නැයි ජනපති
සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි

පාරිභෝගික ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සහ භාණ්ඩ තෝරාගැනීම පහසු කිරීමේ මූලික පියවරක් වශයෙන් ආනයනය කරන කිරිපිටි වල අඩංගු මෙලමයින් ඇතුළු සියලු රසායනික ද්‍රව්‍යවල නිවරැදි සංයුතින් ඇසුරුමේ ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

මවුබිම ලංකා පදනමේ නියෝජිතයින් පිරිසක් පෙරේදා (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේය.

දේශීය ආහාර නිෂ්පාදනය වර්ධනයට පියවර කි‍්‍රයාත්මක කරන අතරම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය පියවර කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

මවුබිම ලංකා පදනමේ නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාව ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක යන මහත්වරු ඇතුළු නියෝජිත
පිරිස මෙහි වෙති.

කිරි ඇතුළු ආහාර ද්‍රව්‍යවල විවිධ වූ රසායනික ද්‍රව්‍යයන් අඩංගුවීම පිළිබඳව මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හා විශේෂයෙන් ළදරු සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර කි‍්‍රයාත්මක කරන බවයි.

දියර කිරි භාවිතයට ජනතාව හුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමත් සමඟම දේශීය කිරි ගොවියා ආරක්ෂා කරමින් ඔවුන් දරිමත් කිරීමට තවදුරටත් අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී අදහස් දැක්වූ මව්බිම ලංකා පදනමේ නියෝජිතයින් සඳහන් කළේ ආනයනික ආහාර ද්‍රව්‍ය පිළිබඳව ආහාර උපදේශක කමිටුව හමුවේ අදහස් දැක්වීමට ඉදිරියේදී තම සංවිධාන නියෝජිතයින් කටයුතු කරන බවයි.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ හා වෙළඳපළ තුළ අවශ්‍ය තරඟකාරිත්වය සඳහා ඔවුන් දිරිගැන්වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික‍්‍රමනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා