|
2011-09-26
බෑන් කී මූන් එදා කළ ප්‍රකාශය ජනපති යළි සිහිපත් කර දෙයි
දරුස්මාන් කමිටුව පත් කළේ උපදෙස් ලබාගන්න පමණයි
බෑන් කී මූන් එදා කළ ප්‍රකාශය ජනපති යළි සිහිපත් කර දෙයි
මහින්ද අබේසුන්දර නිව්යෝක් නුවර සිට
දරුස්මාන් උපදේශක කමිටුව පත් කළේ තමන්ට උපදෙස් ලබා ගැනීමට පමණක් බවට එක්සත්
ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෙරේදා
(24) යළි සිහිපත් කළේ ය.
හරියටම මීට වසරකට ඉහතදී එනම් 2010 සැප්තැම්බර් මස 24 වැනිදා බෑන් කී මූන් මහතාත්
තමාත් අතර පැවැති හමුව පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කිරීමට ක්‍රියා
කළේ ය.
දරුස්මාන් කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් බෑන් කී මූන් මහතා කළ ප්‍රකාශය යළි සිහිපත්
කළේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් ගේ මූලස්ථානයේ පැවැති හමුවේ දීය.
එම හමුව පැය බාගයක් පමණ පැවැත්විණි. උපදෙස් ලබා ගැනීමට මිස වෙනත් කිසිම පරීක්ෂණ
කටයුත්තක් සඳහා දරුස්මාන් වාර්තාව යොදා නොගන්නා බවට බෑන් කී මූන් මහතා දුන්
ප්‍රතිඥාව සනාථ කිරීමට පැරැණි සටහන් ද ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා
පියවර ගත්තේ ය.
උතුරේ යළි පදිංචි කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් බෑන් කී මූන් මහතා
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගෙන් කරුණු විමසී ය. උතුරේ යළි පදිංචි කිරීම් බොහෝ දුරට
අවසන් කර ඇති බව පැවැසූ ජනපතිවරයා, මේ වසර අවසන් වීමට පෙර ඉතිරි අයද යළි පදිංචි කොට
අවසන් කරන බව පැවැසී ය. උතුරේ හමුදාවේ ශක්තිය ගැන විමසූ අවස්ථාවේ දී ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ දැනට උතුරේ යොදවා සිටින
හමුදාව සංවර්ධන වැඩවලට යොදවා ඇති බවයි. උතුරේ පමණක් නොව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල
ආරක්ෂක කටයුතුවලට අමතරව රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයේ ආරක්ෂක හමුදාව නියැළී
සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ත්‍රස්තවාදී පනත යළි ක්‍රියාත්මක කරන බවට පළවී ඇති වාර්තා ගැන බෑන් කී මූන් මහතා
විමසූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ තමන් කිසිම දිනක
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බවයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවේ
දී යථා තත්ත්වය බෑන් කී මූන් මහතාට අවබෝධ කර දීමට පියවර ගෙන තිබුණි. මීට කලින්
දිනයේ ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා හමු වී සුළු
වේලාවක් සාකච්ඡා කර තිබේ.
මේ සම්බන්ධයෙන් “දිනමිණ” කළ විමසුමක දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ
සියලු ප්‍රශ්න සාකච්ඡා මඟින් විසඳීමට පියවර ගත යුතු බවයි.
මේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවලට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, එක්සත්
ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු
සහභාගී වී සිටියහ.
|