2009-02-19

මේක ජනාධිපතිතුමා ගේ ජයග‍්‍රහණයක්

මේක ජනාධිපතිතුමා ගේ ජයග‍්‍රහණයක්

ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් ඇමැති
ජගත් පුෂ්පකුමාර

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ජයග‍්‍රහණය කාටද, වයඹ සහ මධ්‍යම මැතිවරණ ප‍්‍රතිඵල මගින් හෙළිවන දේශපාලන යථාර්ථය කුමක්ද ? ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යංශය ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා ගෙන තිබෙන පියවර මොනවාද යන්න පිළිබඳ ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා සමඟ සිදු කළ සංවාද සටහනකි මේ.

  • මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ වලින් විපක්ෂය අන්ත පරාජයක් ලැබුව. ආණ්ඩු පක්ෂයට බලාපොරොත්තු වුණාටත් වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුණා. මේ මැතිවරණ ප‍්‍රතිඵලය පිළිබඳ ඔබේ විග‍්‍රහය මොන වගේද ?

මම නම් මේ ඡන්ද ප‍්‍රතිඵලය මුල ඉදන්ම දැනගෙන හිටිය. අද වෙද්දි රටේ ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකක්ම ජනාධිපතිතුමාගේ ගමනට ආශිර්වාද කරනවා.

ඒ හින්ද තමයි මේ වගේ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් සන්ධානයට ලැබුණෙ. මේ විශිෂ්ට ජයග‍්‍රහණයෙන් ජනාධිපතිතුමා ගැනයි විශ්වාසය පළ කරල තියෙන්නෙ.

මම දැක්ක පත්තරවල දමළ තිබෙනව වයඹින්මධ්‍යමින් මහින්ද දිනුම් කියල. ඒ කතාව සීයට සීයක් හරි.

මේක ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණයක් වගේම රනිල් වික‍්‍රමසිංහ මහත්මයගෙ පරාජයක් විදිහට සලකන්න පුළුවන්.

මිනිස්සුන්ගෙ හද ගැස්ම හඳුනාගන්න බැරි විපක්ෂයකට කවදාවත් ඡන්දයකින් දිනන්න බැහැ.

අද වෙද්දී එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නෙත් මේ නස්පැත්තියම තමයි. රනිල් වික‍්‍රමසිංහට සාමාන්‍ය මිනිස්සුන්ගේ හද ගැස්ම තියා තමන්ගෙ පක්ෂයේ කි‍්‍රයාකාරින්ගේ හද ගැස්මවත් තේරුම් ගැනීමට බැරි වෙලා තියෙනවා.

එහෙම කෙනෙකුට රටක් පාලනය කරන්න පුළුවන්ද කියන එකත් ප‍්‍රශ්නයක්. මේ යථාර්ථය අද වෙද්දී රටේම මිනිස්සු තේරුම් අරගනෙ තියෙන්නෙ.

යු. ඇන්. පී. එකට ඡන්දෙ දුන්නු අයත් මේ යථාර්ථය දන්නව. එයාල වුණත් ඡන්දෙ දුන්නෙ පරණ පුරුද්දට.

හමුදා ජයග‍්‍රහණ මේ තරම් ලබපු කාලයක් වෙනත් ආණ්ඩු යටතේ තිබුණේ නැහැ. ගෙවීගිය මාස දෙකට පමණක් කිලිනොච්චිය, මුලතිව්, ඇතුළු කොටි බලකොටු සියල්ල බිඳ වැටුණ.

මේකෙ ගෞරවය යන්න ඕනෑ අපේ වීරෝධාර රණවිරුවන්ට සහ ජනාධිපතිතුමාටයි. මිනිස්සු සන්ධානයට ඡන්දෙ දෙන්නෙත් මේ ගෞරවය හින්දයි. ඒත් එක්කම අපේ ආණ්ඩුව රටට හොඳ සංවර්ධනයක් කරල තියෙනව.

එස්. බී. දිසානායක මහත්මය රනිල් ගෙ දේශපාලන ගැටේට අහුවුණා. අපිට ඇත්තටම එස්’ බී. ගැන දුකයි. මේ වෙද්දි එස්. බී. දේශපාලන වශයෙන් විනාශ වෙලා ඉවරයි. රනිල්ට දේශපාලන ජයග‍්‍රහණ ගන්න බැරි වුණාට කුමන්ත‍්‍රණවලට දක්ෂයි.

  • බස්නාහිර පළාතේ මැතිවරණයටත් නාම යෝජනා කැඳවල තියෙනව. පෙනෙන විදිහටනම් වයඹට මධ්‍යමට වඩා බස්නාහිර තරගය උණුසුම් වෙයි වගේ ?

මොන උණුසුමක්ද ? බස්නාහිරත් අපි උඩින් දිනනව. ඒකෙ ප‍්‍රශ්නයක් නැහැ. ගම්පහදි කළුතර දී අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

පසුගිය අවුරුදු වල කොළඹ හොල්ලගෙන හිටිය යු. ඇන්.පී. පතාකයො අද ඉන්නෙ අපිත් එක්ක. එම්. එච්. මොහොමඩ් මිලින්ද මොරගොඩ වගේ යූ. ඇන්. පී..ජ්‍යෙෂ්ඨයෝ විතරක් නෙමෙයි දුමින්ද සිල්ව වගේ තරුණයොත් අද ජනාධිපතිතුමාට සහයෝගය දෙනව. ඒ නිසා ඉතිහාසයේ ලොකුම ජයග‍්‍රහණය මේ පාර අපිට බස්නාහිරෙන් ලබා ගන්න පුළුවන්.

තාම අපි ඡන්ද සටන පටන් අරගෙන නැහැ. සටන පටන් ගත්තහම බලන්න පුළුවන් බුලත් කොළෙයි අලියගෙයි පරතරය කොයි තරම්ද කියල.

  • වතුකරයේ තේ වගාව අර්බුදයකට ලක්වෙලා. වයඹ පළාතේ පොල් ගෙඩියේ මිල පහළ ගිහිල්ල. මේ තත්ත්වය නිසා ආණ්ඩු පක්ෂයට තිබුණ ඡන්ද වාසිය ආපස්සට කැරකිලා කියල සමහරු කියනවා ?

තේ ප‍්‍රශ්නයට, පොල් මිල පහළ යාමට අපි ආණ්ඩුව පැත්තෙන් විසඳුම් ලබාදෙමින් තියෙනවා. ඒ හින්ද මේ අවස්ථාවේදී ඒවා අභියෝග වශයෙන් සලකන්න බැහැ.

මම කලින් කීව වගේ මිනිස්සු මේ වෙලාවේ තේ දල්ල, පොල් ගෙඩිය ගැන බලන්නේ නැහැ. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන යුද්ධය ගැන තමයි බලන්නේ. යුද්ධය විසඳගන්න අපිට පුළුවන් වුණොත් මේ දේවල් විසඳන එක එච්චර අමාරු දේවල් නෙමෙයි.

රනිල් වික‍්‍රමසිංහ මහත්මයට තේ දල්ල, පොල් ගෙඩිය රටට වැඩියෙන් ලොකු වුණාට මේ රටේ මිනිස්සුන්ට හැමදේටම වඩා රටයි වටින්නේ. රනිල්ට මෙච්චර කාලෙකට මේ දේ තේරුණේ නැහැ. ඒ හින්ද තමයි යු.ඇන්.පී. එක මේ තරම් අමාරුවේ වැටුණේ.

  • බස්නාහිර පළාත් සභා ඡන්දෙටත් මේ මාසේ අන්තිමේදී නාම යෝජනා කැඳවලා තියෙනවා. බස්නාහිර දේශපාලන තත්ත්වය රටේ අනෙක් පළාත් එක්ක සංසංදනය කරන්න බැහැ. ඒ වගේම එජාපයට බස්නාහිර පළාතේ නාගරික ප‍්‍රදේශ වාසිදායකයි.?

නැගෙනහිර දිනපූ අපිට බස්නාහිර කියන්නේ ලොකුª දෙයක් නෙමෙයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට ඕනෑම ඡන්දයක් දිනන්න පුළුවන්. හෙට උතුරු පළාත් සභාවට මැතිවරණයක් තිබ්බත් ඒක දිනන්නේ අපි.

ඒ තරමටම ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් රටේ ජනපි‍්‍රයයි. බස්නාහිර කියන්නෙත් මේ රටේම කොටසක්. මේ රටේම මිනිස්සු ඉන්නේ ඒ හින්ද බස්නාහිර ඡන්දෙදි විතරක් ප‍්‍රතිඵලය මාරු වෙන්න විදිහක් නැහැ.

ඉස්සර යු.ඇන්.පී. එක අවුරුදු දාහතක් ආණ්ඩු කරද්දී එයාල ඡන්දෙ දිනුවේ බලහත්කාරයෙන්. ඒත් අපිට පුළුවන් වෙලා තියෙනවා එහෙම නැතිව සාධාරණ ඡන්ද මගින් ජය ගැනීමට. මේක විශේෂ තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

  • බස්නාහිර මහ ඇමැති අපේක්ෂකයා පිළිබඳ ආණ්ඩුවේ මත ගැටුම් තියෙනව කියල මාධ්‍යවල තොරතුරු පළවෙනවා. බස්නාහිර පළාතේ සන්ධාන මහ ඇමැතිවරයා කවුරුන් විය හැකිද යන්න ගැන ඉඟියක් හෝ ලබාදෙන්න බැරිද ?

සමහර පත්තර මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න හදනවා. තාම පළාත් සභාව විසිරෙව්ව විතරයි. තාම නාම යෝජනා ලැයිස්තුªවක්වත් හදල නැහැ. එහෙම තියෙද්දී මහ ඇමැතිකමට ඉල්ලන්නේ කවුද කියලා නම් කරන්නේ කොහොමද, බස්නාහිර නාම යෝජනා භාර දුන්නම බලාගන්න පුළුවන් කවුද අපේ මහ ඇමැති කියලා.

මට මේ වෙලාවේ කියන්න පුළුවන් එකම දේ තමයි මේ පාර බස්නාහිරටත් අපි සුපිරි තරගකරුවෙක් දමනව කියන එක. එයත් එක්ක යු.ඇන්.පී. එකට හැරෙන්නවත් හම්බ වෙන්නේ නැහැ.

  • මැතිවරණ ප‍්‍රචාරක වැඩවලට රජයේ දේපළ පාවිච්චි කිරීම, ඡන්ද දායකයන්ට ආහාර පාන වලින් සංග‍්‍රහ කිරීම මැතිවරණ නීතියට පටහැනියි. මේ දේවල්වලට විරුද්ධව අධිකරණයට යනව කියල විපක්ෂනායකතුමා කියල තියෙනවා.

මේ ඔක්කොම දුකට කියන කතා. එහෙම නැතිව බැරැරූම් විදිහට කල්පනා කරලා උත්තර දෙන්න ඕනෑ දේවල් නෙමෙයි. මේ කතාවෙන්ම පේනව රනිල් මහත්මයා දැන්ම තමන්ගේ පරාජය භාර අරගෙන කියලා.

තමන්ගේ හිතවතෙක් නෙමෙයි අඳුනන්නෙ නැති කෙනෙක් ආවත් සංග‍්‍රහ කිරීම තමයි සිංහලයගේ සිරිත. කොළඹ හතේ මහත්තුරුන් ට ඕව නොතේරුනාට ගමේ මිනිස්සුන්ට මේ දේවල් හොඳට තේරෙනවා.

ඡන්දවැඩට ආණ්ඩුවේ සම්පත් ප‍්‍රයෝජනයට ගැනීම ජයටම කෙළේ යු.ඇන්.පී. ආණ්ඩුව කාලෙ. මේ ජරා ක‍්‍රමයේ නිර්මාතෘවරයා විදිහට යු.ඇන්.පී.ය හඳුන්වන්න පුළුවන්. අද පිරිසුදු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියමින් මේ විදිහට දඟලන්නේ යු.ඇන්.පී. මැරයෝ තමයි.

  • මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සංවර්ධන වැඩ ආවරණය කරනු ලබන්නේ ඔබේ අමාත්‍යංශය මගිනුයි. ඒ ගැන කෙටියෙන් විස්තර කළොත් ?

ජාතිය ගොඩගැනීමේ අමාත්‍යංශය ජාතික වශයෙන් ලොකු සේවයක් සිද්ධ කරල තියෙනවා. විශේෂයෙන්ම වතුකරයට මේ අමාත්‍යංශයෙන් ලොකු සේවයක් සිද්ධ වෙලා තියෙනවා.

අපේ අමාත්‍යංශය දේශපාලන භේද, ජාති භේද සලකන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කිරීම අපේ අභිප‍්‍රායයි. මම හිතන විදිහට මිනිස්සුන්ට සමීපතම අමාත්‍යංශයක් විදිහට ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය හඳුන්වන්න පුළුවන්.

  • ඔබ නියෝජනය කරන්නේ මොණරාගල දිස්ති‍්‍රක්කය වගේ දුෂ්කරම ප‍්‍රදේශයක්. එම පළාතේ සංවර්ධන වැඩවලට ආණ්ඩුවේ දායකත්වය ප‍්‍රමාණවත්ද ?

මේ ප‍්‍රශ්නය ඉස්සර ඇසුවනම් මට දෙන්න වෙන්නේ නැහැ කියන උත්තරය. ඒත් අද එහෙම නැහැ. පසුගිය අවුරුදු තුනට මොණරාගල දිස්ති‍්‍රක්කය ලොකු දියුණුවක් ලබල තියෙනවා.

අලුතින් පාරවල් හැදිල තියෙනවා. තිබුණ පාරවල් අලුත්වැඩියා කරල තියෙනවා. වාරිමාර්ග වැව් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කරල තියෙනවා. මේ ඔක්කොම කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය ඇතුළතදීයි.

පාරවල් විතරක් නෙමෙයි විදුලිය ලබාදීමත් වේගවත් වුණේ මේ කාලයේදීයි. මීට අවුරුදු තුනකට කලින් මොණරාගල ට විදුලිය ලබා දී තිබුණේ 50% කටත් අඩු ප‍්‍රමාණයක්.

එහෙත් අද වෙද්දී ඒක 68% ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ ඔක්කොම අපේ ආණ්ඩුව යටතේ මොණරාගල දිස්ති‍්‍රක්කය තුළ ඇති කළ සංවර්ධනයට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. ඒ නිසා 1994 දී මොණරාගල තිබුණ තත්ත්වයයි අද තත්ත්වයයි අතර විශාල පරතරයක් තියෙනවා.