2011-11-25

අදාළ සමාගම් සඳහා නිසි බලධරයෝ පත් කෙරෙති

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනත

අදාළ සමාගම් සඳහා නිසි බලධරයෝ පත් කෙරෙති

අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනතට අදාළ සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධරයන් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් මේ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ සියලු අංශයන්හි සමස්ත අධීක්ෂණය සහතික කිරීමට පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති අනුකාරක කමිටුවක් හා ඊට සහය වනු සඳහා නිලධාරී අනුකමිටුවක් ද පත් කෙරේ.

අදාළ ආයතන සඳහා වන්දි ගෙවීම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල වන්දි විනිශ්චය සභාවක් ද පත් කිරීමට නියමිත බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (24) එක්වෙමිනි.

ලංකා ට්‍රැක්ටර් ලිමිටඩ් (පිටකොටුව හා නාරාහේන්පිට පිහිටි දේපළ), චාමර්ස් ධාන්‍යාගාරය (පිටකොටුව පිහිටි දේපළ), සෙලින්කෝ ලෙෂර් ප්‍රොපටීස් සමාගම (කොළඹ 3 කොල්ලුපිටිය පිහිටි දේපළ), ඉන්ටර්ට්‍රේඩ් ලංකා පුද්ගලික සමාගම (කොළඹ කොටුව පිහිටි දේපළ) සමාගම් හතරේ නිසි බලධරයා ලෙස නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පත් කර තිබේ.

හොටෙල් ඩිවලොපර්ස් ලංකා පී. එල්. සී සඳහා නීතිඥ සේනක වල්ගම්පාය, පැලවත්ත සීනි කර්මාන්තායතනය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, සෙවනගල සීනි කර්මාන්තායතනය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම්, කලම්බු කොමර්ෂල් කම්පැනි ලිමිටඩ් සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිසි බලධරයන් ලෙස පත් කර ඇති අතර ඉතිරි සියලු වත්කම් සඳහා නිසි බලධරයා වන්නේ ටියුලි කුරේ මහතායි.

අනුර පි‍්‍රයදර්ශන යාපා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් ලෙස රෙජිනෝල්ඩ් කුරේ, ලක්ෂ්මන් ;සනෙවිරත්න, ඩිලාන් පෙරේරා, ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් පත් කර ඇත.

නිලධාරී අනු කමිටුවේ සමාජිකයෝ වන්නේ ඉඩම් අමාත්‍යාංශ ලේකම් ටී. ඒ. පීරිස්, සමුපකාර අමාත්‍යාංශ ලේකම් සුනිල් එස් සිරිසේන, ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පා වෙල්ලප්පුලි, රාජ්‍ය සම්පත් අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දයානන්ද විදානගමාච්චි මහත්ම මහත්මීහුය.

එසේම හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිස්ථාපනය කිරීමටත් ඇමැති මණ්ඩලය තීරණය කළ බව ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂවරයකු වශයෙන් ටී. නඩේසන් මහතා පත් කර ඇති අතර සෙසු අධ්‍යක්ෂවරු වශයෙන් වී. කනගසභාපති, නිහාල් ජයවර්ධන, ආචාර්ය තිස්ස වික්‍රමසූරිය, කෝසල වික්‍රමනායක මහත්වරු පත්ව සිටිති.

මේ පනත මඟින් කිසිදු පෞද්ගලික ආයතනයක් රජයට පවරා ගෙන නොමැති බව පැවසූ ඇමැතිවරයා මේ සියල්ල රජය සතුව තිබී බදු පදනම මත පවරා දුන් ආයතන බව පෙන්වා දුන්නේය.

මේ පනත ව්‍යවස්ථාවට අදාළ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කළ බව පෙන්වා දුන් ඇමැතිවරයා තමන්ගේ ආයතන පනතට අදාළ නොමැති යැයි කිසිවකු සිතන්නේ නම් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආරිය රූබසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා