2010-11-05

අන්තරේ සරසවි ඇතුළත කැරළි ගැසීමේ සූදානමක්

අන්තරේ සරසවි ඇතුළත කැරළි ගැසීමේ සූදානමක්

බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන -ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ඇතුළත කැරලි ගැසීමට සූදානම් වන බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. එසේ වුවද කැරලි කෝලාහල හා ත්‍රස්තවාදයට රටේ ඉඩක් නොමැති බව රජය මේ මොහොතේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කැබිනට් ප්‍රකාශක, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවැසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශ්වවිද්‍යාල සිසුන්ට ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ශීලාචාර අන්දමින් කටයුතු කළ හැකි බවත්, එසේ කටයුතු නොකරන විට ඔවුන් සම්බන්ධයෙන් ද රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙරට සදාචාරාත්මක පැවැත්ම ඇතුළත උපකුලපතිවරයකුට පොල්ලෙන් පහර ගසන සරසවි සිසුන්ට ඉඩක් නැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආරිය රූබසිංහ මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා