|
2010-06-17
ගෝනියක් බරට සීපා
ගෝනියක් බරට සීපා
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවක්. එය ක්‍රිස්තු පූර්ව යුගය
දක්වා දිවයනවා. එය කවදා කෙසේ ඇරඹුණාද යන්න සොයා බැලීම පුරාවිද්‍යාවට අයත් කාර්යයක්.
ශ්‍රී ලංකාවේ ජනතාව වුවද විටින් විට ඉන්දියාවෙන් පැමිණි අයගේ සම්මිශ්‍රණයක් ලෙසින්
හැඳින්වෙනවා. ඉන් අදහස් කරන්නේ අපටම ආවේණික ජනකොටස් සමඟ මිශ්‍ර වීමක්. ඈත අතීතය
මෙන් ම මෑත දේශපාලනය ගත්තත් හොඳට නරකට දෙකම ඉන්දියාව වගෙයි. මේ මොහොතේ අපට වැදගත්
වන්නේ ද ඉන්දු ලංකා දේශපාලනයයි.
ඉන්දියාව කලාපීය බලවතෙක්. පොලිස්කාරයා කීවත් වරදක් නැහැ. බලවතෙක් වුණත් අපේ රටට
සහෝදරයෙක් වගෙයි. මේ සහෝදරයාට අපේ අය සම්බන්ධයෙන් තරහ ගිය වෙලාවල්්ද තිබුණා. ඒ මෑත
නොවෙයි ඈත දී. නිවැරදි විදේශ පිළිවෙතක් අබියස ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා
තවත් වැඩිදියුණු වෙනවා. එය දුර්වල වූ තැන ප්‍රශ්න මතු වෙනවා. 1987 අපට අහසින්
වැටුණු පරිප්පු කන්න සිදුවුණේ අපේ ම විදේශ පිළිවෙතේ වරදින්.
මේ නිසා වඩමාරච්චි
සටනින් අහෝසි කිරීමට නොහැකි වූ එල්. ටී. ටී. ඊ ය තවත් වසර 13 ක් ඉදිරියට ගෙන ගියා.
මෙදා එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට ද ඉන්දියාව අපට පක්‍ෂපාතී වීම
ප්‍රබලතම ජාත්‍යන්තර සාධකයක් වුණා. ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව
අමනාප කර ගැනීමට ඉන්දියාව කල්පනා කළේ නැහැ. මේ ස්ථාවරය එල්. ටී. ටී. ඊ. ය විනාශ කර
ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට හේතු වුණා. මේ නිසා ඉන්දියාව ශ්‍රී ලංකාවට අතිශයින්ම
වැදගත් රටක්. අපේ සමීපතම අසල්වැසියා ද ඔවුන්මයි.
පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගියේ එම පැරැණි
ඓතිහාසික මිතුදම යළි අලුත්වැඩියා කර ගැනීමට වගෙයි. එය ඉතා සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික
චාරිකාවක්. එසේම නෑගම් යාමක් වගෙයි. 30 අවුරුදු යුද්ධයෙන් වසරකට පසු සිදුවූ මෙම
සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූ බවයි වාර්තා
වුණේ.
මෙම සංචාරයේ දී අමෙරිකානු ඩොලර් ද. ල. 1250 ක ආධාර ශ්‍රී ලංකාවට ලැබුණා. හරියට
කුඩා මල්ලක් රැගෙන ගිය කෙනෙකුට ගෝනියක් බරට ලැබුණා වගෙයි. ඉන්දීය ජනාධිපතිනි
“ප්‍රතිභා පටෙල්” හා අගමැති “මන් මෝහන් සිං” අතර පැවැති ද්විපාක්‍ෂික සාකච්ඡාවලින්
අනතුරුව මෙම ආධාර ලැබුණු බවයි වාර්තා වෙන්නේ. මින් ඇ. ඩොලර් ද. ල. 250 ක් යළි අය
නොකර ගන්නා මූල්‍ය ආධාර. අනෙක් මුදල් වසර 20 ක සහන කාලයකින් පසුව අයකර ගන්නා බවයි
දෙපාර්ශ්වයම සඳහන් කරන්නේ. උතුරු - නැගෙනහිර නිවාස සංවර්ධනය, දුම්රිය මාර්ග
සංවර්ධනය, විදුලිබල උත්පාදනය වෙනුවෙන් ගිවිසුම් තුනක් ද අස්සන් තැබුවා.
අපේ විපක්‍ෂ ගෙන ගිය ප්‍රචාරය වූයේ ඉන්දියාව අපට විවිධ බලපෑම් කරනු ඇති බවයි. සීපා
ගිවිසුම අස්සන් තැබීම හා උතුරු නැගෙනහිර අර්බුදයට ලබා දෙන දේශපාලන විසඳුම ඉන්
ප්‍රධානයි. එහෙත් ඉන්දියාව කල්පනා කරන්නේ අපේ විපක්‍ෂය කල්පනා කරන විදියට නොවෙයි.
ඔවුන් කල්පනා කරන්නේ තමන් ලබමින් සිටින ශීඝ්‍ර ආර්ථික වර්ධනය අසල්වැසි රාජ්‍ය සමඟ
බෙදා හදාගන්න. එහිදී ශ්‍රී ලංකාව ඔවුන්ට අතිශයින්ම වැදගත්. එක් අතකින් සමීප
සොහොයුරෙක් වගෙයි. සංස්කෘතික හා සමාජීය වශයෙන් ද ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව හා
සමීපයි. මේ සමීපත්වය ආර්ථික සංවර්ධනය පැත්තෙන් බෙදා හදා ගන්නත් ඔවුන් සූදානම්.
ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී තනියෙන් නැගී සිටීමේ සූදානමක් ඉන්දියාවට නැහැ
වගෙයි. එහෙම නැගී සිටියත් අසල්වැසියා ශක්තිමත් නොවේ නම්, එම දුර්වල අසල්වැසියාගේ
ක්‍රියාකාරීත්වය ඉන්දියාවට බලපානවා. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාව සාමයෙන් තොර රටක්
ලෙස පසුගිය 30 වසර තුළ පැවතීම ඉන්දියාවට ද හිසරදයක් වුණා. ලක්‍ෂ ගණනින් සාමාන්‍ය
ජනතාව සරණාගතයන් ලෙස ඉන්දියාවට එන්න පටන් ගත්තා.
මේ අයගේ මූලික පහසුකම් වෙනුවෙන්
ඉන්දියානු අයවැය ලේඛනයෙන් බිලියන ගණන් මුදල් වෙන්කිරීමට ද සිදුවුණා. විශේෂයෙන් ම
ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාව තුළ සාමය ආරක්‍ෂා කිරීමට පැමිණි යුගයේ ඒ සඳහා වැය වූ
මුළු මුදලම දරන ලද්දේ ඉන්දියානු මධ්‍යම රජය මඟින්. ආර්ථික සංවර්ධනය පැත්තෙන් ගත්තත්
මේ යථාර්ථය එලෙසින් ම පවතිනවා. මේ නිසා ඉන්දියාව සාමයෙන් පසු උදා වී තිබෙන මේ අනගි
අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට උදව් කළ යුතුය යන තැනට ඔවුන් රාජතාන්ත්‍රිකව පත්ව
තිබෙනවා.
ඉදිරියේ උතුරු නැෙඟනහිර නැවත පදිංචි කරනු ලබන ජනතාව වෙනුවෙන් නිවාස 50000 ක්
ඉදිකිරීමට ආධාර කිරීමට ඉන්දියාව සූදානම්. මේ සඳහා පිරිනමනු ලබන අමෙරිකානු ඩොලර්
මිලියන 250 ක මුදල නැවත අය කර ගනු නොලබන ආධාරයක්. මේ අතර ඉන්දියානු විපක්‍ෂ නායිකා
සුස්මා ස්වරාජ් සඳහන් කරන්නේ වත්මන් ඉන්දියානු රජයේ විදේශ පිළිවෙත විපක්‍ෂයේ ද
පිළිවෙත බවයි. වෙන විදියකින් ඇය සඳහන් කළේ රජය ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ මොන ගිවිසුම්
අස්සන් කරනු ලැබුවත් විපක්‍ෂය බලයට පත් වූ පසුවත් ඒවා ආරක්‍ෂා කරන බවයි.
ඇගේ මතය
පක්‍ෂ විපක්‍ෂ වෙනස් වුණාට ඉන්දියානු රජය නමැති ආයතනය පවතින බවයි. හැම දේකටම
විරුද්ධ වන අපේ විපක්‍ෂයට මෙය හොඳ තේමා පාඨයක්. පසුගිය සමයේ රජය එච්. එස්. බී. සී.
බැංකුවෙන් ණය මුදලක් අයදුම් කළ විට අපේ විපක්‍ෂය කීවේ තමන් බලයට පත් වූ වහාම එය
නොගෙවන බවයි. එය රටටම මතකයි. එක්සත් ජාතික පක්‍ෂය එච්. එස්. බී. සී. බැංකුව
ඉදිරිපිට උද්ඝෝෂණය කළේ එම ණය මුදල ලබා නොදෙන ලෙසයි. ඉන්දියානු දේශපාලනය අපට වඩා
ඉදිරියට ගොස් තිබෙන බව මින් පැහැදිලියි. ඔවුන් අපට වඩා ප්‍රශස්ථයි.
සීපා ගිවිසුම සම්බන්ධයෙන් මන්මෝහන් සිං අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා
අමතා කළ ප්‍රකාශයෙන් ම එය පැහැදිලි වෙනවා. එය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේයි. “මෙම
ගිවිසුම බලහත්කාර කමකටත් නොවෙයි. දෙරටම එකඟවිය හැකි තත්ත්වයක් තුළ නිර්මාණය විය
යුතුයි. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් උපයෝගී කර ගනිමින් හා වෙනස්කම්
සිදුකරමින් ගිවිසුමක් නිර්මාණය කර ගැනීමත්, ශ්‍රී ලංකාව කැමති නම් දේශපාලන
එකඟතාවක් මත මෙය ගිවිසුමක් බවට පත් කර ගත හැකියි.”
මෙය ඉන්දියානු නායකයන්ගේ තාන්ත්‍රික භාෂාවයි.
ශ්‍රී ලංකාව සමඟ පවතින මිතුදමේ ඉහළ
මට්ටම මෙයින් පැහැදිලි වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉන්දියානු සංචාරය
ගැන අපේ රටේ විපක්‍ෂය කල්පනා කළේ සීපා ගිවිසුම හා උතුරු නැෙඟනහිරට දෙනු ලබන දේශපාලන
විසඳුම බලහත්කාරයෙන් අප මත පතිත කිරීමට ගනු ලැබූ උත්සාහයක් විදියටයි. මේ වන විට
ඉන්දියාවේ හැසිරීම මත ඒ සියල්ල මිථ්‍යාවක් බවට පත්ව තිබෙනවා. දේශපාලන විසඳුම සඳහා
ඉදිරිපත් කරනු ලබන බලය බෙදාහැරීමේ පළාත් සභා ක්‍රමය අපේ ව්‍යවස්ථාවේ පවතින්නක්.
සිදුවිය යුතුව තිබෙන්නේ එය ක්‍රියාවට නැංවීමයි. ඉන්දියාව එය හොඳාකාරවම තේරුම් ගෙන
සිටිනවා.
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා - “ඉන්දියාව විශේෂ වශයෙන්
අලුත් යමක් ඉදිරිපත් කළේ නැහැ. ඉන්දියාවට අවශ්‍ය අප ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීමයි.
13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුල්වෙලයි තියෙන්නේ. 13 වැනි සංශෝධනයේ සමහර වගන්ති
ක්‍රියාත්මක කිරීම ගැන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සැලකිල්ල ගැන ඉන්දියා ආණ්ඩුව හොඳින්
තේරුම් ගෙන තිබෙනවා.” (ඩේලි නිව්ස් 15 – 06 – 2010)
මේ නිසා සීපා ගිවිසුම හා දේශපාලන විසඳුම් යන කාරණා දෙක සම්බන්ධයෙන් ම අපේ රටේ
විපක්‍ෂය බලාපොරොත්තු වූ විරෝධය ඉන්දියාව පැත්තෙන් ප්‍රකාශ වූයේ නැහැ. ඒ වෙනුවට
ලැබුණේ සාධනීය ප්‍රතිචාරයක්. ඉන්දියානු ප්‍රතිචාරය ඔස්සේ ලංකාවේ ආණ්ඩු විරෝධී
දේශපාලනය මුවහත් කිරීමට විපක්‍ෂය දැරූ උත්සාහය වැලකුණා. ඒ වෙනුවට ඉන්දියානු විපක්‍ෂ
නායිකා සුස්මා සුවරාජ්ගෙන් ප්‍රකාශයට පත් වුණේ ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධයෙන් අපේ
විපක්‍ෂයට ද වැඩදායක වූ පාඩමක්.
රාමන්
|