2008-06-13

“වික‍්‍රමනායක සර්ට බනින්න එපා!”

“වික‍්‍රමනායක සර්ට බනින්න එපා!”

ශී‍්‍ර ලංකාව සටන් වලින් පිරුණ රටකි. උතුරේ ඇත්තේ මහා සටනයි. දෙමළ ජනතාව මුදාගෙන ප‍්‍රභාකරන් නම්වූ රුදුරු කොටියා පණ පිටින් අල්ලා ගැනීම එම සටනේ අරමුණයි.

එම සටන මෙහෙය වන්නේ වෙනත් කවුරුත් නොව අපේ ති‍්‍රවිධ හමුදාවයි. ඔවුන් සටන් කරන්නේ ඔවුන් ගේ පෞද්ගලික ඉල්ලීම් දිනා ගන්නට ද නොවේ. එම සටන දිවි පුදා කරන වීරෝධාර සටනකි.

දකුණේ සටන් විටින් විට මතුවෙයි. විපක්‍ෂය ද සටන් මේනියාවක සිටී. හිටි ගමන් රාජපක්‍ෂ සමාගම විනාශ කරන්නට සටන් කරයි. ඊළඟට තෙල් මිල පහත හෙළන්නට ගොනුන් හා දෙනුන් මුල් කරගෙන සටන් කරයි. ගොන් සහ දෙනුන් සටනින් විපක්‍ෂ නායකයා හොඳටෝම නා ගත්තේ ය.

ඊට පසු හෝන් ගසා වාහන නතර කොට මහා මාර්ග අවහිර කළේ ය. ඒ බාහිර සටන් ය. ඊළඟට එජාපය ඇතුලේ අභ්‍යන්තර සටන් ය. ඒවාට මුහුණ දීමට නොහැකි වූ විට නායකයා දුවන්නේ ඉන්දියාවේ කෝවිල් වලට ය.

කෝවිල්වලට ගොස් පූජාවල් කොට කට පියා ගෙන ආපසු එන්නේ නැත. ආරක්‍ෂක හමුදාවට අවමන් වන සේ ප‍්‍රකාශ ද නිකුත් කරන්නේ ය. ශී‍්‍ර ලංකාවට යළි එන්නේ ආවේස වූ නැට්ටුවකු සේය. ඊළඟට යළිත් රාජපක්‍ෂ සමාගම එළවා දමන්නට කතා කරයි.

රනිල් ට ආණ්ඩුව පේන්නේ සමාගමක් ලෙසට නම් එය වසා දමන්නට හෝ පන්නා දමන්නට හේතු සාධක රැසක් තිබේ. එක්කෝ සමාගම බංකොලොත් විය යුතුය. නැතිනම් සමාගම පරාජය කරන්නට වැඩි ඡන්ද ලබාගත යුතු ය. එය ද හරිගියේ නැත. සමාගම එළවන්නට ඡන්දයකට යායුතුය එයට ද කල් තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා හැමදාමත් සටන් කරන්නේ ඡන්ද ලබා ගැනීමට ය. 2005 මාතර සිට කොළඹට රබන් ගසමින් රතිඤ්ඤා පත්තු කරමින් සිංදු කියමින් වික‍්‍රමසිංහ මහතා පයින් ආවේ ජනාධිපතිවරණය ලබා ගැනීමට ය. එයද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ය. අන්තිමේ දී එයද පරාජයට පත් විය. ආපසු කෑ ගැසුවේ ය. ඒත් ඡන්දයක් ඉල්ලලා ය. නැගෙනහිර මුදාගෙන පළාත් පාලන ඡන්දය දුන්නේ ය. ඉදිරිපත් වූයේ නැත.

ඊළඟට පළාත් සභා ඡන්දය දුන්නේ්ය. එයට ඉදිරිපත් වී පරාජයට පත්විය. පරාජයට පත්වූ පසු කීවේ ඡන්දය අසාධාරණ බව යි. ඊට පසු යළි ඉන්දියාවට ගිය විපක්‍ෂ නායකයා යළි මවු බිමට එනවිට තවත් ඡන්දයකි. එනම් උතුරුමැද සහ සබරගමුව පළාත් සභා දෙක සඳහා පැවැත්වෙන ඡන්දය යි.

විපක්‍ෂ නායකයා දැන් කියන්නේ ඡන්ද එපා කියලාය. අධිකරණයට ද යයි. ඡන්ද ඉල්ලා එපා කියන විපක්‍ෂයක් ඇති ලෝකයේ එකම රට ශී‍්‍ර ලංකාව යි. එකිනෙකට වෙනස් ප‍්‍රදේශ දෙකක ජන මතය විමසා බැලීමේ අවස්ථාව දැන් ආණ්ඩුවට සහ විපක්‍ෂයට ලැබී තිබේ. ඒ නිසා බයිලා නොකියා පටන් ගත් තැන සිට අසාධාරණ මැතිවරණ ගැන නොකියා මැතිවරණයට මුහුණ දිය යුතුය.

ජන මතය විමසා බැලිය යුතුය. එක්සත් ජාතික පක්ෂය ඡන්දයට පෙර පක්ෂයේ අර්බූද සියල්ල විසඳ්‍ර ගත යුතු ය. අවශ්‍ය නම් අලුත් අත්දැකීමක් වශයෙන් නිකමට මෙන් මෙදා පළාත් සභා මැතිවරණ දෙක මෙහෙයවීම රුක්මන් සේනානායක මහතාට පැවරීමට පුළුවන. දකුණේ ඊයේ පෙරේදා තවත් සටනක් ආරම්භ විය. එනම් ගුරු සටනයි. ගුරු සටන නිසා පාසල් දින දෙකක් වසා දැම්මේ ය.

ගුරුවරුන් ගේ සටන වැටුප් විසමතා නැති කර ගැනීමට යි. එයට බාධාව රාජ්‍ය සේවා කොමිසමයි. කොමිසමේ තේජවන්ත මහත්වරු සියල්ල ප‍්‍රමාද කරති. රටේ ප‍්‍රශ්න ඉක්මණින් විසඳ්‍ර ගන්නට කොමිසමේ මහත්වරුන්ට හදිසියක් නැත. සතිපතා හෝ මාස්පතා හෝ රැස්වී තම තමන්ගේ අසනීප ගැනත්, අසනීපවලට ගන්නා ටැබ්ලට් ගැනත් තමන්ගේ රට සිටින දූලා පුතාලා ගැනත් සුහද කතා බහ අවසන් වන විට දවස ගෙවී යන්නේ ය. ඊළඟ රැස්වීම ඊළඟ මාසයේ දී ය. ඉතින් ගුරුවරු වැඩ වරති. ලෙඩ වෙති.

තක්සිලාවේ දිසාපාමොක්ලා දැන් අකුරු කරන ගුරු තනතුරුවල නැත. ඒ අය මිය පරලොව ගොසිනි. දැන් ඉන්නේ කොටි අවශ්‍යතා ඉටු කරන වෘත්තීය සමිති නායකයන් නායකත්වය දෙන ගුරු සමිති ය. එදා කිසි දිනෙක පාසලට, සිසු දරු පරපුරට දේශපාලනය රිංගුවේ නැත. එහෙත් අද එය පිළිකාවකි. සිසුන්ටත් දේශපාලන උණ වැළඳෙමින් තිබේ. එය හොඳ නැත. කොළඹ ලොකු විදුහලක සිදුවූ සත්‍ය සිද්ධියක් ඔබගේ රස වින්දනයට ඉදිරිපත් කරමු.

ගණිතය ගුරුවරයා පන්තියට ගොස් රසායන විද්‍යාව උගන්වන වික‍්‍රමනායක ගුරුවරයාට බැන්නේ ය. ඔහු ගේ ඉගැන්වීමේ දුර්වලතා ළමයා ඉදිරියේ කියා සිටියේ ය. මෙය අසා සිටි සිසුවෙක් කොළ කෑල්ලක යමක් ලියා ගණිතය සර්ට යැව්වේ ය. එහි මෙසේ කියා තිබුණි.

“වික‍්‍රමනායක සර් ට බනින්න එපා. අපේ ගොනා අපිට හොදා.”

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා