|
2011-09-26
රංගධරයන්ට ආලෝකයක් වූ ජෝ අබේවික්‍රම නැමැති මහා පහන් ටැඹ ජාතියට අහිමිවුවා
රංගධරයන්ට ආලෝකයක් වූ ජෝ අබේවික්‍රම නැමැති මහා පහන් ටැඹ ජාතියට අහිමිවුවා
- රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය
පණ්ඩුක සමරසේකර
කලා ලොවෙහි රංගධරයන්ට ආලෝකයක් වූ ජෝ අබේවික්‍රම නැමැති මහා පහන් ටැඹ ජාතියට අහිමි
වු බව රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය මහතා පැවැසීය.
විශිෂ්ඨ රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රමයන්ගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල
කනත්තේ දී පැවැති අවස්ථාවේදී රන්දෙනිය මහතා එසේ පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
කලාව සහ කලාවේ ක්‍රමවේදයන් පිළිබඳ ජෝ අබේවික්‍රමයන් නවකයන්ට පමණක් නොව ප්‍රවීණ
රංගධරයන්ට පවා ආදර්ශ දුන්නා. සිනමාවේ යුගයන් නියෝජනය කළ අද්විතීය කලාකරුවා ජෝ
අබේවික්‍රමයි. ඔහුගේ අභාවයෙන් කලා ලොවේ අපි තනිවෙලා. ඒ තරමට ප්‍රබලව දේශයට ජාතියට
ඔහුගේ සේවය අහිමිවූවා.සියලු කලා කුසලතාවන් තුළ ඔහු අග්‍රඵලය වූවා. අනුරපුර යුගයේ
සඳකඩ පහන මෙන් සිනමා ලොවේ සඳකඩපහන වූවේ ජෝ අබේවික්‍රමයි.

ප්‍රවීණ සිනමා නළු ජෝ අබේවික්‍රම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ
කලාභවනට පැමිණි අවස්ථාව. ඡායාරූපය :- සුලෝචන ගමගේ |
ඔහු මිල කළ නොහැකි මැණිකක්
වූවා. එහි වටිනාකම විග්‍රහ කළ නොහැකියි. රංගන පාසලකින් හෝ පරතෙරට සිප් සතට හැදෑරූ
කෙනෙකු නොවී ආසියාවේ විශිෂ්ටතම රංගධරයා වීමට තරම් ඔහු තුළ විශිෂ්ට කුසලතා තිබුණා.
වරද දුටු තැන එය නිවැරැදි කළේ මහත් ආදරයකින්. මුල් යුගයේ චිත්‍රපට 7 – 8 ක් ඔහු සමඟ
රඟපෑ මා බොහෝ දේ ඉගෙන ගත්තා. එය විශ්වවිද්‍යාලයකින් ලැබූ අධ්‍යාපනයකට සමාන යැයිද
රවීන්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කෙළේය.
සිනමාවට පිවිසි එදා අපි වැනි ශිල්පීන්ට ඔහු පියෙක් වූවා. එබැවින් අප ඔහුගේ දරුවෝ.
ඔහුගෙන් අප දැන උගත් දේ අනන්තයි. අප්‍රමාණයි. ඔහුට සමීපවන්නට තරම්වත් අපට හැකියාවක්
තිබුනේ නැති තරමට ඔහු තුළ මහත් පෞරුෂත්වයක් තිබිණි. ඒ මහා පෞරුෂත්වය ලබා ගත්තේ
කෙසේදැයි අප දන්නේ නැහැ. සීගිරි ගීය මෙන් සදාකාලික කලා කෘතිය ජෝ අබේවික්‍රම බව
ඇතුගලයන් කියා තිබුණා.
රංගනය න්‍යායාත්මකව හදාරා නැතිවුණත් රංගන නීති රීති සක්සුදක් සේ දැන සිටි ජෝ
අබේවික්‍රමයන් නිර්මාණ කාර්යයේදී යෙදී සිටින අවස්ථාවල රංගනය හැදෑරූ ශිල්පීන්ටත් ඔහු
ගුරුවරයකු වූවා. ඔහු සමඟ රංගන කාර්යක යෙදෙන බොහෝ ශිල්පීන්ට ඔහුගේ දැනුමෙන්
මහාචාර්යවරයකු තරමට දැන උගත් පාඩම් බොහෝ තිබුණා යැයිද ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය
මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවමංගල උත්සවයට එක්වූ සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා, -
ජෝ අබේවික්‍රමයන් රත්නපුරය ලෙල්ලුපිටිය ගමේ සිට කොළඹට පැමිණ ශ්‍රී ලාංකික සිනමාව
ටෙලිනාට්‍ය, ගුවන්විදුලි නාටක පෝෂණය කරන්නටත් ඔපවත් කරන්නටත් සිය දායකත්වය ලබා
දුන්නා. සිනමාවේ මහා පරපුරේ ශක්තිමත් පුරුක වුණා. ඔහු ගැමියෙක් ලෙස නගරයට පැමිණ
ගැමිකමින් නගරය පෝෂණය කළා.
රංගන පාසලකින් පුහුණුවක් හෝ ඉගෙනුමක් නොලැබු ඔහු ආසියාවේ
විශිෂ්ටතම නළුවා වුණා. ජාත්‍යන්තර සිනමා සම්මාන 3 ක් දිනා ගත් එතුමා ජනාධිපති,
සරසවි සම්මානයන්ගෙන් ඔහු නොයෙක්විට පිදුම් ලැබුවා. මේ ශෝකජනක පුවත කණවැකුණු
ජනපතිතුමා සියලුම අවශ්‍යතා සපුරාලන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නටත් සංස්කෘතික
අමාත්‍යවරයා ලෙස මට නියම කළා. ඒ අනුව එතුමාට කළ හැකි ගෞරවනීය කාර්යභාරය අප ඉටුකළා.


ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතාගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ල
පොදු සුසාන භූමියේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරිණි. ඡායාරූප - සමන් ශ්‍රී
වෙදගේ |
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා, - ඉන්දීය රංගනයන්ගෙන් හෙම්බත් වූ ශ්‍රී
ලාංකිකයන්ට ශ්‍රී ලාංකීය රංගධරයන්ගේ පෝෂණය ලැබුනේ ජෝ අබේවික්‍රමයන්ගෙනි. මනප්පුවා,
සිරිබෝ අයියා, සාරවිට, තුංමංහන්දිය වැනි සිනමාපටවලින් සිංහල සිනමාව විශාල කඩඉමකින්
මෙතෙර කළා.
එය පුරහඳ කළුවරින් ජගත් කීර්තිය දක්වා ක්‍රමයෙන් ගොඩනැගුවා. එය අතිශයින්ම සිද්ධාන්ත
ගතයි.
මෙම අවමංගල උත්සවයේදී සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලිනී ෆොන්සේකා මහත්මියද
ජෝ අබේවික්‍රම මහතාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මාධ්‍යවේදී කමල් කාරියවසම් මහතා ස්තුති
කතාවද පැවැත්වීය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවන ලද නිල ශෝක පණිවිඩය අධ්‍යාපන ඇමැති බන්දුල
ගුණවර්ධන මහතා විසින්ද අගමැති දි. මු. ජයරත්න මහතා විසින් එවන ලද නිල ශෝක පණිවිඩය
සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූපසිංහ මහතා විසින්ද විපක්ෂ නායක රනිල්
වික්‍රමසිංහ මහතා විසින් එවන ලද නිල ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත
කරුණාතිලක මහතා විසින්ද කියවූහ.
මහා සංඝරත්නය ඇතුළු පූජක උතුමන්, සිනමාලෝලීන්, රංගන ශිල්පීන්, කලාකරුවන්,
සාහිත්‍යධරයන් හා දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්
ඊයේ සන්ධ්‍යාවේ බොරැල්ලේ කනත්තේදී හෙළ සිනමාවේ මහා රංගධරයාගේ ආදාහන කටයුතු
සිදුකෙරිණි.
|