2008-01-08

‘මින්නල්’ සම්පාදක ගැන වහා පරීක්‍ෂණයක් කරන්න

‘මින්නල්’ සම්පාදක ගැන වහා පරීක්‍ෂණයක් කරන්න

ඇමැති ඩග්ලස් පොලිස්පතිගෙන් ඉල්ලයි

"ශක්ති” රූපවාහිනී නාළිකාව විසින් විකාශය කරන “මින්නල්” වැඩසටහනේ සම්පාදක ශී‍්‍ර රංගා ජයරත්නම් මහතාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති කේ. එන්. ඩග්ලස් දේවානන්දා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

සෑම ඉරිදා දිනයක ම සවස 6 සිට රාතී‍්‍ර 7 දක්වා විකාශය කෙරෙන එම වැඩසටහනේ අරමුණ තමන්ගේත් රජයේත් ප‍්‍රතිරූපය බොඳ කිරීම බවත් ඇමැතිවරයා පොලිස්පති වික්ටර් පෙරේරා මහතාට පැමිණිලි කොට තිබේ.

වැඩසටහන මෙහෙයවන ශී‍්‍ර රංගා මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානයට වාසි වනු පිණිස ද්වේෂ සහගත චේතනාවෙන් රජයටත් විශේෂයෙන් තමන්ටත් දොස් පවරන තැනට සම්මුඛ සාකච්ඡාලාභීන් ප‍්‍රකෝප කරවන බවත් දේවානන්දා මහතා සඳහන් කරයි.

2007 දෙසැම්බර් 30 වැනිදා විකාශය කරන ලද එකී වැඩසටහන මගින් අතුරු හමුදාමය කණ්ඩායමක් වශයෙන් ඊ. පී. ඩී. පී. සංවිධානය යාපනයේ සිදුවන ඝාතන හා සෙසු ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවලට සම්බන්ධ යැයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. මහේෂ්වරන් මහතා ලවා ප‍්‍රකාශ කරවීමට ශී‍්‍ර රංගා මහතා කීප වාරයක් තැත් කළ නමුත් එවැනි සිද්ධිවලට ඊ. පී. ඩී. පී. සංවිධානය සම්බන්ධ යැයි ප‍්‍රකාශ කිරීමට මහේශ්වරන් මහතා ඉදිරිපත් නොවුණ බවත් ඇමැතිවරයා පැවසීය.

එහෙත් මෙම සිද්ධි හෙළා නොදැකීම පිළිබඳව තමාටත් තම පක්‍ෂයටත් මහේශ්වරන් මහතා දොස් පැවරූ බවත්, පසුව සිදුකෙරුණ මහේශ්වරන් ඝාතනය වෙනුවෙන් තම පක්‍ෂයට දොස් පැවරීමට හැකිවනු පිණිස තමන්ටත් තම පක්‍ෂයටත් එරෙහිව චෝදනා එල්ල කර ගැනීමේ අරමුණින් ශී‍්‍ර රංගා මහතා එම වැඩසටහනේදී ප‍්‍රශ්න යොමු කළ බවත් දේවානන්දා මහතා සඳහන් කොට ඇත.

එකී “මින්නල්” වැඩසටහනට සවන් නොදුන් වගකීමෙන් තොර පුවත්පත් කලාවේදීන් සහ ලේඛකයින් ස්වකීය පුවත්පත්වල “මින්නල්” වැඩසටහන සාවද්‍ය ලෙස ගෙන හැර දක්වමින් තම පක්‍ෂය අභාවප‍්‍රාප්ත මහේශ්වරන් මහතා විසින් දැඩි ලෙස විවේචනය කළ බවටත්, යාපනයේ සිදුවන සියලු සිද්ධීන්වලට ඊ. පී. ඩී. පී. සංවිධානයට දොස් පැවරූ බවටත් වාර්තා කළ බවත් ඇමැතිවරයා සඳහන් කොට තිබේ.

එම වැඩසටහනේදී තමන්ට එරෙහිව ශ‍්‍රාවකයකු විසින් නඟන ලද චෝදනා තුන වෙනුවෙන් තමන්ගේ හොඳ නම රැකීමට පවා ශී‍්‍ර රංගා මහතා මහේශ්වරන් මහතාට ඉඩ ප‍්‍රස්ථාවක් ලබා නුදුන් බවත් දේවානන්දා මහතා පැවසීය.

මුළු සම්මුඛ සාකච්ඡාවේ ම අරමුණ වූයේ තමන් විවේචනය කොට තමන් පිරිස අතුරු හමුදා කණ්ඩායමක් යැයි මහේශ්වරන් මහතා ලවා ප‍්‍රකාශ කරවීම බවත් ඇමැතිවරයා චෝදනා කරයි. "මින්නල්” වැඩසටහන වූ කලී එල්. ටී. ටී. ඊ. සංවිධානයේ උපදෙස් මත මහේශ්වරන් මහතා මෙලොවින් තුරන් කොට එහි වරද තමන් පිට පැටවීමේ අරමුණින් කල් තබා සැලසුම් කළ එකක් බවත් දේවානන්දා මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කොට තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා