|
2010-04-10
ඉදිරි දේශපාලන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ලබා ගන්නවා
ඉදිරි දේශපාලන කටයුතු සඳහා
ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ලබා ගන්නවා
- නාමල් රාජපක්‍ෂ
හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවගේ හෙට දවස යහපත් කැරදීම වෙනුවෙන් තමා කැපවීමෙන්
ක්‍රියා කරන බව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හා
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට කෘතවේදී ජනතාව
කැපවීමෙන් ක්‍රියා කළ බවත් එය තම ඉදිරි ගමනට මහත් ආශීර්වාදයක් බවත් හෙතෙම අවධාරණය
කළේය.
දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් හැටියට ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන සහයෝගය සහ මඟ
පෙන්වීම අතිශය වැදගත් බව කී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියටත් තම දේශපාලන කටයුතු
වෙනුවෙන් ඔවුන්ගේ සහාය අපේක්ෂා කරන බවද කීවේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ සමස්තයක් ලෙස රටේ තරුණ තරුණියන් ගේ සංවර්ධන කටයුතු
වෙනුවෙන් තම දේශපාලන ජීවිතය ප්‍රයෝජනයට ගන්නා බව කී නාමල් රාජපක්ෂ මහතා නීතිඥයකු
හැටියට වෘත්තීය ජීවිතය ගෙන යන බවද කියා සිටියේය.
මේ රටේ කෘත ගුණ දන්නා ජනතාව 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට
කටයුතු කළා සේම රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් මෙවර පාර්ලිමේන්තු
මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.
2005 වර්ෂයේ දී බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “මහින්ද චින්තන” වැඩපිළිවෙළ
සාර්ථකව ක්‍රියාවට නැංවුවා සේම දෙවැනි වරටත් බලයට පත් වී “මහින්ද චින්තන ඉදිරි
දැක්ම” සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව කී ඒ මහතා අප කළ යුත්තේ
මේ සඳහා සහයෝගය ලබා දීම බවද අවධාරණය කළේ ය.
මෙවර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට සහ තමන්
පාර්ලිමේන්තුවට යැවීමට පියවර ගත් සියලුම ජනතාවට තම ගෞරවය පිරිනමන බවද නාමල් රාජපක්ෂ
මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.
මහින්ද අලුත්ගෙදර
|