2011-02-03

දිසා නවයක පවුල් 1966ක් අවතැන්

මහ වැස්සෙන් මරණ 2යි: අයෙක් අතුරුදන්

දිසා නවයක පවුල් 1966ක් අවතැන්

අධික වර්ෂාව හේතුවෙන් අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක නවයක ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පවුල් 1966 ක් පීඩාවට පත්ව සිටිති.

ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දෙකකි. එක් අයෙක් අතුරුදන්ව සිටී.

අම්පාර, ත්‍රිකුණාමලය, මාතලේ, අනුරාධපුර, බදුල්ල, වව්නියාව, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාව ගංවතුරෙන් පීඩාවට පත්ව සිටිති. විපතට පත්වූවන් සඳහා සහන කඳවුරු 21 ක නවාතැන් පහසුකම් සලසා තිබේ.

සම්මන්තුරේ සුබසාධක කඳවුරු 9ක පවුල් 1229 ක් නවාතැන් ගෙන සිටිති. ත්‍රිකුණාමලයේ පවුල් 293 පුද්ගලයෝ 1011 ක්ද මාතලේ පවුල් 82 ක පුද්ගලයන් 332 ක්ද අනුරාධපුරය පවුල් 9 ක පුද්ගලයන් 30ක්ද, බදුල්ල පවුල් 60 ක පුද්ගලයන් 230ක්ද, වව්නියාවේ පවුල් 289 ක පුද්ගලයන් 1238 ක්ද, නුවරඑළිය පවුල් 3ක පුද්ගලයෝ 11ක්ද, මහනුවර පවුල් 2ක පුද්ගලයන් 10ක්ද, විපතට පත්ව ඇති අතර ඔවුන් සහන කඳවුරු 13ක නැවතී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.

විපතට පත් අය සඳහා එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් අවශ්‍ය සහන සලසාදීමට කටයුතු කර ඇතැයි කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

අම්පාර කොන්ඩුවටුවාන වැව ඇතුළු වැව් කීපයක් වාන් දමමින් තිබෙන අතර, ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 106 ක් දක්වා වැඩි වී තිබෙන බවත් වාන් දොරටු 5ක් විවෘත කර ජලාශයේ ජලය මුදාහැරීමට කටයුතු යොදා ඇති බවත් අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා කීය.

සේනානායක සමුද්‍රයේ වාන් දොරටු මගින් තත්පරයට ජල ඝන අඩි (2000) ක් නිකුත් කරන අතර ගල්ඔය ගඟ දෙපස ජලය වැඩිවන බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇති බව ද සුනිල් කන්නන්ගර මහතා ප්‍රකාශ කෙළේය.

මියගොස් ඇති කාන්තාව හා අතුරුදන් වූ පුද්ගලයා බදුල්ලේ පදිංචිකරුවන් වන අතර මියගිය අවුරුදු එක හමාරක් වයසැති ළදරුවා වව්නියාවේ පදිංචි පවුලකට අයත්ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා