|
2008-07-04
ඉරානයට පහර දුන්නොත් තෙල් වෙළෙඳපොළේත්
ඉරානයට පහර දුන්නොත්
තෙල් වෙළෙඳපොළේත්
ප‍්‍රතිවිපාක දරුණූ වේවි
ඉරාන තෙල් ඇමැති අනතුරු අඟවයි
ඊශ‍්‍රායලය හෝ අමෙරිකාව ඉරානයට එරෙහිව ගුවන් ප‍්‍රහාර එල්ල කළහොත් කලාපයම ඉන්
අස්ථාවර වනු ඇති අතර දේශපාලන හා ආර්ථික වියවුලකට එය මුල්වනු ඇතැයි අමෙරිකා ඒකාබද්ධ
මාණ්ඩලික ප‍්‍රධානි මයික් මුලන් පෙන්ටගනයේදී වාර්තාකරුවන්ට කියා තිබේ.
මෙවන් ඉරාන ප‍්‍රහාරයකදී ඉරානය කිසිවකුටත් සිතාගත නොහැකි දරුණු ප‍්‍රතිචාරයක
නියැලෙනු ඇති බවටත් දැනටත් අස්ථාවර තෙල් වෙළෙඳපොළෙහි දරුණු විපාක සිදුවනු ඇති බවටත්
ඉරාන තෙල් ඇමැති ගෝලාම් හුසේන් නොසාරි අනතුරු අඟවා තිබේ.
අමෙරිකා ජනාධිපති බුෂ් හා ඊශ‍්‍රායලයද ඉරාන හමුදා ප‍්‍රහාරයක නියැලීම විකල්පයක් ලෙස
පවත්නා බව ප‍්‍රකාශ කැර ඇති අතර එවන් අවස්ථාවක ඇෆ්ගන් හා ඉරාක පෙරමුණුවලට අතිරේකව
ඉරාන පෙරමුණක අමෙරිකා හමුදා යෙදීම අමෙරිකාවට පීඩනයක් සේම කලාපය තවත් අස්ථාවර වීමට
හේතුවනු ඇති බව මයික් මුලන් පවසා ඇත.
මෙවන් හමුදා හෝ ගුවන් ප‍්‍රහාර මනෝමය යුද්ධෝපක‍්‍රමයක් ලෙස සමච්චලයට ලක්කරන ඉරානයේ
නොසාරි එය සැබෑවක් වූවොත් ඉන් දරුණු ප‍්‍රතිවිපාක ඇතිවන බව ප‍්‍රකාශ කැර තිබේ.
ලෝක තෙල් ඉල්ලුම වැඩිවන්නේනම් ඊට සරිලන සැපයුම් සඳහා ඉරානය නිතරම සූදානම් නමුත්
දැනට එවන් අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කියා ඇත.
වොෂින්ටනයේදී ඒ. එෆ්. පී.
|