නවකවදය සහ සොයුරු පෙම | දිනමිණ

නවකවදය සහ සොයුරු පෙම

 මා විශ්වවිද්‍යාලයට ආවේ නවකවදය කෑමේ සහ දීමේ නොතින් ආශාවෙනි. ඒමට පෙර එහෙන් මෙහෙන් නොයෙක් දෙනා මේ සම්බන්ධයෙන් එක එක තුප්පහි කතන්දර කියා තිබුණත් ඒ එකක්වත් ගණන් ගත්තේ මා නොවේ. මොන තරම් ආශාවක් තිබුණද බයක් නොතිබ්බේද නැත. ජ්‍යෙෂ්ඨ උත්තමයෙකුගෙන් කර්ණ රසායන වදන් පෙළක් බලාපොරොත්තුවෙන් සිටි මට 'නංගි' 'මල්ලි' කියා අප අමතන අයියලා අක්කලා ගැන පුදුම සිතුණි. ඒ නිසාම පෙර පටන් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය පිළිබඳ මගේ තිබූ ගෞරව සම්ප්‍රයුක්ත බව පෙර තිබුණාටත් වඩා වැඩි විය.

ඒ හැඟීම වලකජ්ජ ගැසූ දිනය ඉතා වේගයෙන් පැමිණියේය. ඒවාට හේතු සැපයීමට එක් පත්තර තීරුවකින් බැරිය. විශ්වවිද්‍යාලයට පා තැබීමට පෙර මගේ තරුණ සිත පුරා පැතිරී තිබුණු ශිෂ්‍ය අරගලවලට සහභාගී වීමේ ස්ව කැමැත්ත අකමැත්තක් ම බවට හැරවූ සිද්ධි කීපයක්ම ඇත. ශිෂ්‍ය අරගල පිටුපස ඇති පටු පරමාර්ථයන් සියල්ල මා දැනගත්තේ කල් ගත වූ පසුව ය. නමුත් එක් දෙයක් කීමට කැමැත්තෙමි. කිසි ලෙසකින්වත් කවුරුවත් අමානුෂික වධයකට භාජනය නොවුණි. ජීවිත කාලයටම සිනාසී ආවර්ජනය කළ හැකි මතක කීපයක්ද නවකවද කාල සීමාවෙන් මම ලැබුවෙමි.

පසුගිය දිනක පේරාදෙණිය සරසවියේ සිදු වූ කලබැගෑනිය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් ප්‍රවේශයක් ගැනීමට තරම් සහකම්පනයක් මගේ සිතේ ඇති කළේය. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් පහළොස් දෙනෙකු විසින් ප්‍රථම වසර ශිෂ්‍යයන් අට දෙනෙකුට කරන්නට යෙදුණු ජුගුප්සාජනක නවකවදය ගැන සමාජය දැනුවත් ය. ඒ ගැන විස්තර කිරීමට තරම් දෙයක් නැත. නමුත් ඒ නිසා විශ්වවිද්‍යාලවල නවකවදය පිළිබඳ කතිකාවතක් ගොඩනැගී ඇත. අන්තර්ජාලය පරිශීලනයෙන් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් දුර්මත දරන බව පසක් විය. මහා සමාජය දත යුතු වැදගත්ම කාරණය නම් විශ්වවිද්‍යාලයක සියලු විද්‍යාර්ථීන් අසහනකාරයන් නොවන බවයි. උපන්දා සිට සමාජය සමග ඔට්ටු වී අධ්‍යාපන කඩඉම් ජයගත් උගත් විද්‍යාර්ථීයෙකුට විශ්වවිද්‍යාලය තවත් එක් සමාජ ස්ථරයක් පමණි. එහෙත් පාසල්වල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ සැඟවුණු චරිත කාලාන්තරයක් තිස්සේ තම සිත්වල නිධන්ගතව තිබූ කිළිටි සියල්ල මුදා හරින මාධ්‍යය විශ්වවිද්‍යාලයයි. මේ බව නිසියාකාරව අවබෝධ නොකර කීප දෙනෙකුගේ තුච්ඡ ක්‍රියාවකට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටම දෝෂාරෝපණය කිරීම වැ‍රැදිය. එසේ කරන්නට යෙදුණොත් ඔබත් ඉහත කී පසළොස් දෙනාගේත් අතර වෙනසක් දැකීම උගහට ය. රජයේ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන්ට මේ ක්‍රියා විවේචනය කිරීමට කශේරුකාවක් ඇත්නම් වැරදි කරන්නවුන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීමට ඔබටත් හැකි විය යුතුය.

නවකවදයේ පෙරගමන්කරුවෝ වැඩි වශයෙන් ග්‍රාම්‍ය දරුවෝ වෙති. ගමේ සිට නගරයට ඒමට බුද්ධිය පාර කියා දුන්නද නගරයේදී බුද්ධිය වෙනුවට හීනමානය, පරපීඩක කාමුකත්වය සහ දේශපාලනය මොවුන්ගේ මාර්ගෝපදේශකයන් වෙයි. ඔවුන්ට අනුව නවකවදයෙන් සිදුවන්නේ සමාජයේ ජීවත්වීම පිළිබඳ ඉගැන්වීමත් සහෝදරත්වය සහ අනික් මානුෂීය ගුණාංග වර්ධනයත් ය. නවකයන් සමඟ අවුරුද්දක දෙකක වයස් පරතරයක් තබාගෙන සමාජය පිළිබඳ ඔවුන් දන්නේද අංශුමාත්‍රයක දෙයකි. ගුරා හරි හැටි නොදැන ගෝලයාට ඉගැන්වීම විහිලුවකි. මතයක් දැරීමට මෙන්ම මතයක් නොදැරීමටද ශිෂ්‍යයෙකුට අයිතියක් ඇති බව අයිතිවාසිකම් වෙනුවෙන් එකා පිට එකා මැරෙන්නට සූදානම් අයවලුන්ට නොපෙනේ. බහුතරයේ කැමැත්ත පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. එහෙත් එය බලෙන් ඇති කරවිය හැකිද? ස්වාධීන අදහස් නොවිමසා බහුතරයේ කැමැත්තකට ශිෂ්‍යයන් ගාල් කරවන නවක වධයට ලාංකේය සමාජය අකුල් හෙළීමේ වරදක් නැත.

නූපන් දරුවාගේ නිදහස වෙනුවෙන් අරගල කරනවා සේම තම විශ්වවිද්‍යාල සඟයාගේ නිදහස පිළිබඳත් සිතන්නේ නම් විශ්වවිද්‍යාලය ලස්සන තැනකි. පන්ති භේදයට එරෙහිව අරගල කරන්නෙකුට තමා 'පොද්දෙකු' ලෙසටත් අනිකා 'අලයෙකු' ලෙසටත් හංවඩු ගැසිය හැකිද? 'අල' වීම නිසා තම මිතුරාව සොයුරුකමින් නෙරපා අධ්‍යයනය අවසාන කණ්ඩායම් සේයාරුවෙන් ඔහුව කපා දැමිය හැකිද? නවකවදයෙන් තොරව සහෝදරත්වයට ජීවත්වන්නට බැරි බව අයෙකු සිතන්නේ නම් ලංකාවේ විශ්වවිද්‍යාලවල බොහෝ පීඨ මේ වන විට මිය ගොසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය, වාස්තු විද්‍යා පීඨය යන පීඨ තුනම ඇතුළු තවත් විශ්වවිද්‍යාල පීඨ නවකවදයෙන් විනිර්මුක්ත ය.

නවකවදයෙන් තොරව සොයුරු පෙම උපදින බව පෙන්වීම මුඛ්‍ය පරමාර්ථය කරගත් ජ'පුර ව්‍යවහාරික විද්‍යා පීඨය 'සිසි අරුන්දතී' නිර්මාපී වේ. එය 'සිප් සයුර' නම් ලද ග්‍රාමීය පාසලකට අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් තැනීමේ ව්‍යාපෘතියට මූල්‍ය පහසුකම් සපයන ඔවුන්ගේ ප්‍රසංගයයි. 'සිසි අරුන්දති' යථාර්ථයක් කිරීමට මහජනයාට විද්‍යාර්ථීන් විසින් ඔවුනගේ දක්ෂතා එළිදක්වා මුදල් ලබා ගැනීම පමණක් සිදු කරයි. ඒ සඳහා බලහත්කාරකම් නොකෙරෙන අතර සියල්ලෝ සහභාගී වෙති. නවකවදයකින් සහෝදරත්වය ගොඩනගන්නට ගියා නම් මේ සා අලංකාර අරුන්දතියක ලංකාවට අහිමි වන්නට ඉඩ තිබිණි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අකුරට ක්‍රියාත්මක වීම නිසා විශ්වවිද්‍යාල වරම් ලද කිසිසේත්ම එයට නුසුදුසු පිල්ලි පහළොවක් අත් අඩංගුවේය. සංවේදිතාවයක් නැති නිසා එය ඔවුනට එතරම් දෙයක් නොවනවා ඇත. එහෙත් දහසක් බලාපොරොත්තු තබාගෙන ඔවුන් ඇති දැඩි කළ මවුපියන් තමන්ටම දොස් පවරගන්නවා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේදී ඇස ගැටුණු වදන් පෙළකින් මේ වියමන අවසන් කිරීම මැනවැයි සිතමි.

'පුරවර පින් බිමේ භේද නැත නොයෙක් පෙදෙසේ, සබඳ නුඹ නිදහස්..'

තිසරණී විජයබණ්ඩාර
@Thizuu


අදහස් 2ක් ඇත

Peradeni නවක වදය ගැන එක් පාර්ශවයකින් පමණක් බලා තීන්දු තීරණ nogatha යුතු බව කිව යුතුය.වරද කා අතද යන්න prathamayenma soya බැලිය යුතුය.ඉන්පසු ඇගිල්ල දික් කිරීමට ඔබට පූර්ණ නිදහස ඇත.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...