දකුණෙන් කලා කෙතට නැවුම් තාරකාවක් | දිනමිණ

දකුණෙන් කලා කෙතට නැවුම් තාරකාවක්

මාගම්පත්තුව බෙලිඅත්ත, නාකුළුගමුව, උණන නමැති සුන්දර ගම්මානයේ දිවි ගෙවන ලක්ෂිකා දිසානායක කුසලතා පිරිපුන් ඇයටම ආවේණික සංගීත රිද්මයක් තුළ බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටින යෞවනියකි. තමා පබැඳු අපුර්ව නිර්මාණ තමා විසින්ම සත්සර මුසුකර ගී ගයන්නට ඈ බොහෝ දක්ෂතා දක්වයි. ජාතික තරුණ සේවා සභාවේ දකුණු ලක පුහුණු වැඩසටහන්වලට සහභාගි වෙමින් තම දක්ෂතා දියුණු කර ගන්නට වෙර දරන ඇය මෙසේ තම හඬ අවදි කළාය.

"මගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ අම්මා, තාත්තා, නංගී, මල්ලී සියලුදෙනා කලාවට ළැදියි. දෙද්දුවාවල සුවඳ කැකුළු පෙර පාසලෙන් මූලික අධ්‍යාපන ලබා පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා දෙද්දුවාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. මම වසර තුනක්ම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවයි. ඉන්පසුව බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය මිශ්‍ර පාසලක් ලෙස ඇරැඹි අවස්ථාවේ ආරම්භක ශිෂ්‍යාව බවට පත්වීමේ වාසනාව ලැබුණා. මේ පාසල් දෙකේදීම ගායනය, වාදනය, රංගනය, නර්තනය, නිවේදනය, කථික සහ ක්‍රීඩා අංශවලින් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන්නට මට හැකියාව ලැබුණා. 13 වැනි ශ්‍රේණියේදී එම පාසලින් ඉවත්වෙලා උසස් පෙළ හැදෑරීමට මා වැවුරුකන්නල අශෝකා මහා විද්‍යාලයට පැමිණියා. එහි විදුහල්පතිතුමිය අනුලා මැණිකේ මහත්මිය ඇතුළු ඇදුරු මඩුල්ල මගේ දිවි ගමනට විශාල ආශිර්වාදයක් වුණා. කලාවට වැඩි ළැදියාවක් දැක් වූ මා සංගීත ක්ෂේත්‍රය මගේ සිහිනයක් බවට පත්කර ගනිමින් අධ්‍යාපනය ලැබුවා. මේ වන විට සංගීත විශාරද විභාගය සමත්වෙන්නට මට හැකියාව ලැබුණා. ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරයෙන් මා ලැබූ පන්නරය තුළින් සමාජ සේවිකාවක් වගේම දක්ෂ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්නට මට වාසනාව ලැබුණා."

මේ වන විට ඇය ජාතික රූපවාහිනිය සහ රුහුණු ගුවන් විදුලියේ වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් ලබා ගත් දැනුම තවත් පරපුරකට ලබා දෙන්න සංගීත ගුරුවරියක් ලෙස කටයුතු කරන්නීය.

සිය ජීවන ගමනට ජාතික තරුණ සේවා සභාවෙන් ලැබෙන පන්නරය අපරිමිත, අප්‍රමාණ බවත් ජාතික තරුණ සේවා සභාවේ පළාත් මාධ්‍ය වැඩමුළුව තුළින් ලබා ගත් දැනුම මාධ්‍යවේදියකු ලෙසත් ඉදිරියට යන්නට කටයුතු කරන බවත් පවසන ඇය එම පුහුණුවෙන් පසුව පෞද්ගලික නාලිකා කිහිපයක වැඩ කරන්නට අවස්ථාව ලැබී ඇති බවද පවසයි.

"රුහුණු ගුවන් විදුලියේ කිවිදියක් ලෙසත් වැඩසටහන් සඳහා සහභාගි වෙනවා. බෙලිඅත්ත යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ලේකම්, දහම් පාසල් ගුරුවරියක් මෙන්ම රන්තරු යෞවන සමාජයේ සභාපති වශයෙන් මා ලබා ගත් දැනුම,තරුණ පරපුර අතරට ගෙන යන්නට මා කැපවීමෙන් කටයුතු කරනවා."

සමස්ත ලංකා මට්ටමින් සංගීත ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලැබූ ඇය ලාල් නන්දනී, ජයසිරි සේනාරත්න, අශෝකා සිටිනාමළුව, මැණිකා මුණසිංහ, සී.ඒ. සමරනායක, රාමසිංහ, ලීලාරත්න යන ගුරු මෑණිවරුන් හා පියවරුන්ද ගෞරවයෙන් සිහිපත් කරන්නීය. එසේම ඩොමිනන්ට් සංගීත කණ්ඩායම, එරන්දතී කලායතනයද තමන්ගේ දිවියට අලෝකයක් වූ බව ඇය සිහිපත් කරයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ගායන අංශයෙන් ඉදිරියට යන්නට කැපවීමෙන් කටයුතු කරන ලක්ෂිකා දිසානායක නම් අංකුර කලාකාරිනියට සංගීත ක්ෂේත්‍රයේ නෙළුම් මලක් ලෙස දැය සුවඳවත් කරමින් නොමැකෙන සදාතනික අගයක් ලක්මවට එක් කරන්නට දිරිය, වීරිය සහ ශක්තිය ලැබේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.

සටහන සහ ඡායාරූපය
ටී.කේ.මහින්ද වැලිගම සමූහ


අදහස් 2ක් ඇත

magen Suba pathum Lakshika nangi.. sathutui me lipiya gana. mata loku adambarayak danenawa.. mage nangi gana. Budusaranai.

Wish you all the best bottom of my heart..Good luck lakshi.. and you are the my best forever. Love u..

පිටු

නව අදහස දක්වන්න

Or log in with...