ගොවිකම් තව කල් රැකගන්න නම් | දිනමිණ

ගොවිකම් තව කල් රැකගන්න නම්

ශ්‍රීලංකාව කෘෂිකාර්මික රටක් බව අනාදිමත් කාලයක පටන් අපි ඉගෙන ගන්නෙමු. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසු යැයි කියමනක් ව්‍යවහාරයට එක්ව තිබෙන්නේ ගොවිකම ගෞවරනීය වෘත්තියක් ලෙස ශ්‍රීලංකික ජනතාව එදා සිට පිළිගත් නිසාය.විවෘත ආර්ථිකයත් සමග තරඟ කාරී ලෙස ක්‍රියාක්මක වෙළෙඳ පොළ ක්‍රමයක් බිහිවීම හේතුවෙන් ගොවියා යටපත් කර වෙළෙන්දන් ඉස්මතු වීම දක්නට ලැබිණි.

 මේ නිසාම ගොවියාට වඩා ගොවි නිෂ්පාදනවලින් ආර්ථික ප්‍රතිලාභ ලබන්නට අතර මැදි ව්‍යාපාරිකයින් සමත් වූහ.ක්‍රමයෙන් ගොවියාට ගොවිකම එපා වන තත්ත්වයක් ඇති වූයේ, මෙම ව්‍යාපාරික ප්‍රජාව ගොවි බිම් ආක්‍රමණය කරමින් ගොවියාගේ නිෂ්පාදන සඳහා මිල නියම කරන්නට පවා කටයුතු කිරීම නිසාය. තරග කාරී ලෙස ගොවි නිෂ්පාදන මිලට ගන්නා ව්‍යාපාරිකයන් ගොවි නිෂ්පාදනවලට මිල නියම කිරීමේදී පොදු මතයක සිට කටයුතු කරන බව පසුගිය කාලය තුළ පැහැදිලිව දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට මිලට ගනිත්දී ඉහළ මිලක් නියම වන බෝග වර්ග කෙරෙහි ගොවින් ඊළඟ කන්නයේදී යොමු වන්නේ එමඟින් හෝ පාඩු අවම කර ගැනීමේ අපේක්ෂාවෙනි. මේ අකාරයෙන් සිතා ගොවීන් රැසක් අදාළ බෝගය වගා කිරීමට පෙළඹීම තුළ එහි මිලද පහත වැටීම නිසා අමාරුවේ වැටුණු ගොවීන්ගේ කතා ඕනෑ තරම් අසන්නට ලැබේ. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ගම් මට්ටමින් පත්කර සිටියද ඔවුන් බොහෝ දෙනෙක් ගොවීන්ට උපදෙස් දෙන්නට නොගොස් දේශපාලනික කටයුතුවල නිරත වීම මෙම අභාග්‍යය සම්පන්න තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

බිබිලෙත් නැති දොඩම්

රටක් ඉදිරියට යෑමට විධිමත් ප්‍රතිපත්ති අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.ආණ්ඩුවක් මාරුවී ආණ්ඩුවක් බලයට පත්වන විට වෙනස් නොවන ආකරයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම වැදගත්ය.අවාසනාවකට අපේ රටේ සිදු නොවන්නේද එයමය. පෞද්ගලික වාසි හා දේශපාලනමය කාරණා මුල්කර ගනිමින් ප්‍රතිපත්ති සම්දානය කිරීම කාලයක පටන් මෙරට දක්නට ලැබෙන තත්ත්වයකි. රටේ පරිභෝජන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම පිණිස ක්‍රියාත්මක කෘෂිකාර්මාන්ත ක්ෂේත්‍රය පැහැදිලි මෙන්ම රටට සුබදායි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම මෙහිදී ඉතා වැදගත්ය.කෘෂි ක්ෂේත්‍රයට අදාළ බෝග ආනයනය කිරීම මෙන්ම වගාවන්ට පොහොර යෙදීම වැනි කරුණු සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තාමත් කෘෂි ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක නොවන බව වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයාම පවසයි.ඔහු පවසන පරිදි දේශීය වශයෙන් වගා කළ හැකි පලතුරු වර්ග පමණක් මෙට්‍රික් ටොන් හැට දහසක් (60000) පසුගිය වසර තුළ මෙරටට ආනයනය කර ඇත.

දොඩම් යනු දේශීය වශයෙන් වගා කළ හැකි පලතුරකි.මෙයට දශක කිහිපයකට පෙර බිබිල ආශ්‍රිතව දොඩම් වගාව මහ පරිමාණයෙන් සිදු කෙරුණි.අද වනවිට බිබිලෙන් දොඩම් තුරන්ව යෑමේ ප්‍රතිඑලයක් ලෙස එම ප්‍රදේශයේ ජනතාවට රස බලන්නට සිදුව තිබෙන්නේද විදේශ රට වලින් ආනයනය කරන දොඩම්ය. රුපියල් මිලියන 958 ක ජාතික ධනයක් දොඩම් මෙරටට ආනයනය කිරීම පිණිස පසුගිය වසර තුළ වැයකර ඇත. බිබිලේ දොඩම් වගාවට සිදුවූයේ කුමක්ද යන්න ගැඹූරින් සොයා බැලීම පිණිස පරීක්ෂණ සිදුකළ යුතුය.ඒ එම ප්‍රදේශයේ දොඩම් වගාව විනාශ වූයේ කිසියම් සැළසුමක ප්‍රතිඑලයක් නිසාද යන්න සෙවීමටය.

ඉතා හොඳ තත්ත්වයේ මිදි සඳහා යාපනය ප්‍රචලිතය. එසේ වුවත් මිදි ආනයනය සඳහා පසුගිය වසරේ අප රුපියල් මිලියන 2766 ක් වැයකර තිබේ.කජු ආනයනයට වැයකර තිබෙන මුදල මිලියන 750 කි.රටකජු සඳහා මිලියන 689 ක් ද ඉඟුරු හා කහ ආනයනයට මිලියන 1315 ක්ද වැය කර ඇතේතේ එම වගාවන් සඳහා සුදුසු පොළවක් අප සතුව තිබියදීය. ලොකු ලූණූ වලට මිලියන 12000 ක්ද අර්තාපල්වලට මිලියන 5000 ක්ද වාර්ෂිකව වැය කරන අප මිරිස් ආනයනයට වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 9000 කි. ඉන්දියාවේ පැවැති ගංවතුර තත්ත්වයත් සමඟ එහි මිරිස් නිෂ්පාදනය අඩුවීමේ ප්‍රතිඑලයක් ලෙස මිල ඉහළ ගොස් ඇති බැවින් මෙම වසරේ අපට පසුගිය වසරට වඩා වැඩි මිලකට මිරිස් මිලට ගැනීමට සිදුව තිබෙන නිසා මෙම වසරේ අදාළ මුදල දෙගුණයක් වනු ඇතැයි අනුමාන කිරීමට පුළුවන.

විදේශ රටවලින් පලතුරු වර්ග ආනයනය කරනු ලබන්නේ රටේ අවශ්‍යතාව නිසාමද නැතහොත් ව්‍යාපාරිකයින්ගේ මල්ල පුරවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහාද යන්න ප්‍රශ්නයකි. රටේ වගා කළ හැකි බෝග වර්ග විවිධ ජාවාරම්කරුවන් විසින් පාරිභෝගික අවශ්‍යතා ඉදිරියට දමා මෙරටට ආනයනය කිරීම වහා නතර කිරීමට පියවර ගත යුතු බව ජනපතිවරයාද පවසා තිබේ. ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා සකස් කෙරෙන්නේ නම් ඊට අනිවාර්ය ලෙසම නිලධාරීන්ගේ සහයද හිමිවිය යුතුය.මෙරට බොහෝ ජාවාරම් පසුපස නිලධාරීන් සිටින බව නොරහසකි.අතේ හැන්ද ඇති විට තමන්ට ඇති පදම් බෙදා ගැනීම බොහෝ නිලධාරීන්ගේ අපේක්ෂාව බව කණගාටුවෙන් වුව කිව යුතුව ඇත.සියලු පව් දේශපාලනඥයින්ගේ කර මතින් යන ස්වභාවයක් රටේ දක්නට ලැබෙන බැවින් ඇතැම් නිලධාරීන් කදිමට ඉන් ප්‍රයෝජන ගන්නා බවද අප අමතක නොකළ යුතුය.

වී වගාවට අලින්, මොණරුන් ගෙන් හානි සිදු වුවත් එළවළු හා පලතුරු භෝගවලට සිදුවන විනාශය ඉතා ඉහළය.එසේම ගොවි බිමේ සිට පාරිභෝගිකයා අතට එළවළු හා පලතුරු නිෂ්පාදන පත්වන විට වසරක් තුළ එම නිෂ්පාදනවලින් රුපියල් මිලියන 17500 ක වටිනා කමින් යුත් කොටසක් පසු අස්වනු හානි ලෙස විනාශ වන බව පරීක්ෂණයකින් හෙළිව තිබේ.අලි,මොණරු,ඌරන් හා වඳුරන් ගෙන් වගාවන්ට සිදුවන හානියද අති විශාලය. වසරකට රුපියල් මිලියන 17500 ක්එකී සතුන් නිසා රටට අහිමිවේ. මෙම හානි අවම කර ගැනීමට හැකිවුව හොත් මෙරට එළවළු හා පලතුරු නිෂ්පාදන ප්‍රමාණය පවතින තත්ත්වයට වඩා 60 % ක් වැඩිකර ගැනීමට හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.ගුණාත්මක බවින් වැඩි, විවිධ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන එළවළු හා පලතුරු ප්‍රබේද හඳුන්වා දීමට කෘෂී ක්ෂේත්‍රයේ විද්වතුන් දක්වන උනන්දුව මෙම ගැටලු දෙකට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා නොදක්වන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

ගොවිකම වෙනුවට කුලී වැඩ

වාර්ෂිකව අති විශාල මුදලක් වැයකර මෙරට වගා කළ හැකි බෝග වර්ග වෙනත් රටවලින් ආනයනය කිරීමට සිදුවීමට මෙම ගැටලුවද එක් ප්‍රධාන හේතුවකි.සතුන් ගෙන් සිදුවන හානි නිසා අද බොහෝ ගොවියෝ වගා කටයුතුවලින් ඈත්ව කුලී වැඩ සඳහා යොමුව ඇත.ග්‍රාමීය මට්ටමින් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින රිලා ගහණය පාලනය කිරීම සඳහා රජයට මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් නොමැත.කුමන හෝ හේතුවක් නිසා මෙම රිලවුන් විනාශ කිරීමට රජය තීරණයක් ගතහොත් ඊට එරෙහිව හඬක් නගා ඡන්ද වැඩි කර ගැනීමට උනන්දු විපක්ෂයක් සැමදාම අපේ රටේ සිටී. අද එම කාර්යය ඒකාබද්ධ විපක්ෂය විසින් නොඅඩුව ඉටු කරන බව පෙන්වන්නට කරුණු ඕනෑ තරම් තිබේ.

රටක ප්‍රශ්නයක් තිබේ නම් විසඳුම් සෙවීමේ වගකීම පැවරෙන්නේ ආණ්ඩුවට පමණක් නොවේ.ඒ සඳහා විපක්ෂයටද කාර්ය බාරයක් ඇත.ආණ්ඩුව මතබේදයට තුඩු දෙන තීරණයක් ගන්නා තෙක් බලා සිට දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කරන විපක්ෂයකින් රටට අත්වන යහපතක් නැත.බෞද්ධ සංස්කෘතියත් සමඟ අවිහිංසාව මුල්කර ගනිමින් ගොඩ නැගුණු අපි සත්ත්ව ඝාතනය අනුමත නොකරන්නෙමු.මේ නිසා අදාළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව සැබෑය.නගරයේ රිලා ගහණය වැඩි වත්දී එම සතුන් අල්ලා කිසිදු සැළසුමකින් තොරව ගම් වලට අත හැරීම අද පවතින ගැටලුවට හේතුවී ඇත.රටකට විධිමත් ප්‍රතිපත්ති සමූහයක් අවශ්‍ය වන්නේ මේ නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

පස විසකරන තරමට පොහොර

පොහොර සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ මෙයමය. ලෝක ආහාර සංවිධානයේ කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවකට අනුව මෙරට ගොවීන් රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා පසට එකතු කරන බව අනාවරණයවී ඇත.සමාන්‍යයෙන් මෙම මට්ටම 30 % ක් වන අතර කඳුකරයේ එළවළු වගා භූමිවල එය 50 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යතත්ත්වයටද අයහපත් ලෙස මෙම අවිධිමත් පොහොර භාවිතය බලපා ඇත.ග්ලයිෆොසේට් භාවිතය හොඳද නරකද යන්න පිළිබඳ ස්ථිර යමක් රටට ප්‍රකාශ කිරීමට කෘෂිකර්ම බලධාරීන් මෙතෙක් සමත්ව නැත.මේ නිසා සාමාන්‍ය ජනතාවද මේ සම්බන්ධයෙන් සිටින්නේ දෙගිඩියාවකය.ඇමැති මණ්ඩලයේ පවා ග්ලයිෆෝසේට් සම්බන්ධව ඇත්තේ පරස්පර අදහස්ය.පොහොර යනු රටක ආණ්ඩු බලය තීරණය කරන සාධකයක් බව පසුගිය මැතිවරණවලදී පැහැදිලිව දක්නට ලැබිණි.සෑම පක්ෂයකම තමන්ගේ මැතිවරණ ප්‍රකාශනවල පොහොර සම්බන්ධයෙන් වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කරන්නේ එය ඒ තරම්ම වැදගත් බැවිනි.

මෙවර මහ කන්නයේදී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 08 කි.නියඟයෙන් හා වැස්සෙන් පීඩාවක් ඇති නොවුණ හොත් ඉදිරි වසර තුළ මෙරට සහල් අතිරික්තයක් ඇති වන බව කෘෂිකර්ම ඇමැතිවරයා පවසයි. මෙම අතිරික්ත සහල් අපනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් අපට නැත. එහෙත් සහල් ආනයනය සඳහා නම් ඕනෑ තරම් වැඩපිළිවෙළ රටේ තිබේ.ගොවියා අස්වනු නෙළන කාලයට සහල් ආනයනය කිරීම නිසා ගොවියා කබලෙන් ලිපට වැටුණු අවස්ථාද ඇත.මේවා ගැන ආණ්ඩුව අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ, ජනපතිවරයා පවසන පරිදි ජාවාරම්කරුවන් රටේ සිටින නිසා පමණක් නොව ඔවුන්ට නිලධාරීන්ගේද සහය ලැබෙන නිසාය.

විශේෂයෙන් බඩ ඉරිඟූ ගොවීන් ග්ලයිෆොසේට් තහනමත් සමඟ වගා කටයුතු කරගෙන යෑමේ අසීරුතාවකට පත්ව වගාවෙන් ඈත්ව සිටින බව මහින්ද අමරවීර ඇමැතිවරයා පවසයි.එය භාවිත කිරීමෙන් ජනතාවගේ සෞඛ්‍යයට ප්‍රශ්නයක් නොවන්නේ නම් වගා අවශ්‍යතා වෙනුවෙන් ග්ලයිෆොසේට් යෙදීමට ගොවීන්ට ඉඩ දිය යුතු බව ඇමැතිවරයා අදහසය. එයට පෙර මේ සම්බන්ධව දේශපාලන වුවමනාවන් පසෙක තබා ස්ථිර නිගමනයකට පැමිණිය යුතුව ඇත.පසුගිය වසර තුළ බඩ ඉරිඟූ ආනයනය කිරීමට අපි රුපියල් මිලියන 6000 ක් වැයකර තිබෙන බවද මෙහිදී සිහියේ තබා ගැනීම වැදගත්ය.කොම්පැනිකාරයින්ගේ අවශ්‍යතා මත ග්ලයිෆාසේට්වල හොඳ හෝ නරක තීරණය කිරීම රට පැත්තෙන් අහිතකරය.මහජන මුදලින් ලක්ෂ ගණනින් වැටුප් ලබන නිලධාරීන් ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වන පරීක්ෂණ කෙරෙහි පමණක් උනන්දු නොවී දේශීය අවශ්‍යතා හඳුනා ගෙන ඒවා වෙනුවෙන්ද පරීක්ෂණ කිරීම වැදගත් වන්නේ මේ නිසාය.

ගොවිකමට වින කටින නිලධාරීන්

රටේ වගා කළ හැකි බෝග වර්ග ආනයනය ක්‍රමානුකූලව අඩුකර අපට අවශ්‍ය එම නිෂ්පාදන රට තුළ නිෂ්පාදනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුව ඇත.පිටරටවලින් මෙරටට ගෙන එන භාණ්ඩ පාලනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධව කිසිදු රජයකට නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබිණි.අපනයනයේදී කෘෂි ක්ෂේත්‍රයේ දායකත්වය සැලකිය යුතු කඩා වැටීමකට ලක් වෙමින් තිබේ. ජාතික ආර්ථිකයට කෘෂී ක්ෂේත්‍ර යේ දායකත්වය 29 % ක අගයේ සිට පසුගිය දශක දෙක තුළ 7.7 % දක්වා පහත වැටී ඇත. මෙය සිදුවූයේ කාගේ වරදින්ද යන්න සොයා බැලිය යුතුය.කෘෂිකාර්මික රටක ආර්ථික ක්‍රියාවලියට කෘෂි අංශයේ දායකත්වය එන්න එන්නම පහත වැටීම අවධානයට ලක්විය යුතු කරුණකි.

ගොවියාට කිලෝ ග්‍රෑම් 50 ක පොහොර මිටිය රුපියල් 500.00 ක් වැනි මුදලකට ලබා දීම සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 35000 කි.මෙම මුදල් ජනතාව ගෙන් බදු ලෙස රජය එකතු කර ගන්නා ඒවාය.ගොවියාට බියක් නොමැතිව වගා කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකීමයි.

කෘෂි රක්ෂණය යටතේ වී, අර්තාපල්, ලොකු ලූනු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, මිරිස් යන වගාවන් සඳහා නොමිලේ රක්ෂණ ආවරණයක් ලබා දීමට රජය පියවර ගෙන තිබීම අගය කළ යුතුය. නියඟය හෝ ගංවතුර බිය නොතකා අදාළ බෝග වගා කිරීම සඳහා රජය ගොවීන් උනන්දු කිරීම පිණිස හෙක්ටයාර් එකක වගා හානියක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට රජය කටයුතු කර ඇත.

කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ජනතාවට පෙරළා එහි ප්‍රතිලාභ අත්විය යුතුය.ගොවීන්ට සහන දීමට වැය කරන්නේ ජනතා මුදල්ය. එම මුදල්වලින් ලබා දෙන පොහොරවලින් මුදල් ගසාකන නිලධාරීන්ද සිටිති. පොහොර නියමිත වේලාවට ගොවියා අතට පත් නොවීම පසුගිය කාලය පුරා දක්නට ලැබුණු තත්ත්වයකි.මේ නිසා විවිධ උද්ඝෝෂණ පවා පැවතිණි.

මෙවර එය වඩාත් විධිමත්ව සිදු කිරීම පිණිස අවශ්‍යය කටයුතු සම්පාදය කර තිබේ.කෘෂි ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා නිලධාරීන් හා ගොවියා අතර මනා සබැඳියාවක් පැවතීම අත්‍යවශ්‍යය කරුණකි. අනෙක් පසින් දෙපාර්තුමේන්තුව සිදු කරන්නාවූ වැදගත් පරීක්ෂණ ප්‍රතිපල ගොවියා වෙත යායුතුය. පුරන් කුඹුරු පිළිබඳ යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ඒවා ගොඩ කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින නිසාය.

මේ වනවිට පුරන් කුඹුරු හෙක්ටයාර් 138000 ක් රටේ පවතින බවට ඇස්තමේන්තු කර තිබෙන අතර ඒවායින් වගා කළ හැකි මට්ටමේ කුඹුරු හෙක්ටයාර් 114000 ක් පවතී.මේවා කඩිනමින් වගාවන් සදහා යොමු කිරීම පිණිස ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් ඇත. වගා නොකරන පුරන් කුඹුරු වගා කිරීමට කැමැත්තක් දක්වන තරුණ කොටස් හා සිවිල් ආරක්ෂක බළකාය සම්බන්ධ කර ගනිමින් වගා කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබේ.

පුරන් කුඹුරු ගොඩ කිරීම සම්බන්ධව රටේ ප්‍රතිපත්තියක් තිබුණත් පසුගිය කාලයේ එය ක්‍රියාත්මක වූයේ ඇති හැකි මට්ටම පදනම් කර ගෙනය. මේවා සම්බන්ධවද අමැතිවරයා නිසි අවධානය යොමු කළ යුතුය. නැතහොත් නිලධාරීන් ඇමැතිවරයාගේ කනින් රිංගනු නොඅනුමානය.

සටහන
අසේල කුරුළුවංශ 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න