දේශය අස්ථාවර කරන බලවේග මඬින්න රාජ්‍ය අනුග්‍රහය ඕනෑ | දිනමිණ

දේශය අස්ථාවර කරන බලවේග මඬින්න රාජ්‍ය අනුග්‍රහය ඕනෑ

අසේල කුරුළුවංශ

බෞද්ධ ජනතාව අතර අසමඟියත් වාද බේද හා ගැටුම්ද ඇතිකර ඒ ඔස්සේ අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේග රට තුළ ක්‍රියාත්මක වන බැවින් ඒවා වැළැක්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ජනපති හා අගමැති වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ. ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී විවිධ මිත්‍යා මත පතුරුවන්නට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයන් කටයුතු කරමින් සිටින බව ද උන්වහන්සේ දෙනම අදාළ ලිපියෙන් ජනපති හා අගැමැති වෙත දැනුම් දී ඇත.

ගිහිපැවිදි කිහිප දෙනකු මෑතක සිට සංවිධානාත්මකව සූක්ෂම ලෙස ධර්ම විනයට පටහැනිව ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරමින් සිටින බවත් ඔවුන් ත්‍රිපිටක සද්ධර්මයට හා වචනවලට අත්තනෝමතික ලෙස වෙනත් අර්ථකතන ලබා දී සත්‍යය විකෘති කරමින් දේශන පවත් වන බවත් මොවුන් බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය විකෘති කරමින් සිටින බවත් පෙන්වා දෙන මහනාහිමිවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්ති ප්‍රකාරව බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීමට යටත්ව රජය මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන බව ද අවධාරණය කරති. ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය රාජ්‍යය වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කොට ඒවා සුරක්ෂිත කිරීමට රජය වහා නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුව තිබෙන බව ද මහනාහිවරු දෙනම පවසති.

මල්වතු අස්ගිරි උභය මහ විහාරීය කාරක සංඝ සභික හිමිවරු හා විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්පති හිමිවරු එක්ව මල්වතු මහ විහාරයේ දී අදාළ ගැටලුව සම්බන්ධව සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසු මහනාහිමිවරු දෙනමගේ අත්සනින් යුතුව අදළ ලිපිය නිකුත් කර තිබේ.

මෙලෙස ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වූ භික්ෂූන් වහන්සේ සිව් නමක් ඊයේ (18) මල්වතු මහ විහාරයට කැඳවා උන්වහන්සේලා සිදුකර තිබෙන වැරදි මහනාහිමි ඉදිරිපිට දී කාරක සංඝ සභික හිමිවරු විසින් උන්වහන්සේලාට පෙන්වා දුන්හ. අදාළ වැරදි සිදු කිරීම සම්බන්ධව උන්වහන්සේලා මහනාහිමියන් ගෙන් වැඳ සමාව ගත් අතර මින් ඉදිරියට ධර්මය අධර්මය කොට දේශන නොපවත්වන ලෙසත් සමාජ මාධ්‍යයවලට ඇතුළත් කර තිබෙන විකෘති ධර්ම දේශනා වහා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් සංඝ සභික හිමිවරු උන්වහන්සේලාට දැනුම් දුන්හ.

පොරොන්දු ප්‍රකාරව උන්වහන්සේලා කටයුතු නොකළ හොත් ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව දැනුම් දුන් බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍යය පහහුණේ සුමංගල හිමියෝ පැවැසූහ.


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

Or log in with...