‘යාන්ඔය’ පුරවන්න සියල්ල සූදානම් | දිනමිණ

‘යාන්ඔය’ පුරවන්න සියල්ල සූදානම්

එය එසේ මෙසේ ජලාශයක් නොවේ. අද අප රටේ උතුරු මැද පළාතේ ඉදිවන විශාලම ජලාශයයි. එමෙන් ම රජ සමයෙන් පසු මෙරට ඉදිවන දිගම හා වැඩිම වේලි සහිත ජලාශයයි.

මේ ජලාශය වනාහි අන් කවරකවත් නොවේ. අනුරාධපුරය ත්‍රිකුණාමලය මායිමේ කැබිතිගොල්ලෑව ගෝමරන්කඩවල පඹුරුගස්වැව ප්‍රදේශයේ ඉදිවන යාන්ඔය ජලාශයයි.

සීගිරියෙන් ගලාගෙන විත් පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන මේ යාන්‍ඔයේ මහ ජල ස්කන්ධයෙන් ප්‍රයෝජනය ගැනීමට මෙතෙක් විධිමත් වාරි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ නැත.

උතුරුමැද හා නැ‍ඟෙනහිර පළාත්වල ජල සම්පත සංවර්ධනය කිරීම සඳහා වැදගත් යෝජනා ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇති යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය මෑත භාගයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන වාරිමාර්ග යෝජනා ක්‍රම අතරින් ප්‍රධානතම එකක් වන්නේ ය. එමඟින් උතුරු මැද හා නැඟෙනහිර ප්‍රදේශයේ වාරිමාර්ග ව්‍යාපාරවලට අවශ්‍ය වාරි ජලය මෙන්ම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා පානීය ජල අවශ්‍යතා සැපයීමෙන් මෙම ප්‍රදේශ සංවර්ධනයට විශාල රුකුලක් ලැබෙනු ඇතැයි එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ යූ.එන්. හේමකුමාර මහතා පවසයි.

යෝජිත නව යාන්ඔය ජලාශ ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණක් වන්නේ පදවිය ව්‍යාපාරයට ස්ථිර වාරි ජල පහසුකම් සැපයීමයි. ඊට අමතරව මෙම දිස්ත්‍රික්කයන්හි සෙසු වාරිමාර්ග ව්‍යාපෘතිවල වාරි ඉඩම් සඳහාත් අලුත් ඉඩම් ප්‍රමාණයකටත් මෙම ව්‍යාපාරය මඟින් ජලය සැපයෙනු ඇත. වැඩි වශයෙන් කෘෂි ආර්ථිකයක් පදනම් කරගනිමින් ජීවත්වන ජනගහනයක් සහිත වියළි කලාපයකට අයත් ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය වහා තීව්‍රතාවය 0.84 ටත් අඩු මට්ටමක පවතී. මීට ප්‍රධාන හේතුව පවතින දැඩි නියඟය හා වැසි කාලවලදී ලැබෙන ජලය වැඩි ප්‍රමාණයක් එක් රැස් කර ගැනීමට නිශ්චිත ක්‍රියාපිළිවෙතක් නොමැති වීමයි

පුරාණ වාරි ක්‍රම ප්‍රතිසංස්කරණය කර වියළි කලාපය යළි සංවර්ධනය කිරීමේදී යාන්ඔය හරස් කර පදවිය වැව ඉදි කිරීමෙන් හෙක්ටයාර 5600 ක ප්‍රමාණයකට වාරි සැපයුම් ඇති කරන ලදී. එහෙත් තවදුරටත් ජල අපහසුතාවය නිසා කෘෂිකාර්මික කටයුතු ක්‍රමවත්ව කරගෙන යෑමට නොහැකිව අධික පීඩාවට පත් පවුල් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදේශවල ජීවත්වේ. මේ ගැන දැඩි අවධානයක් යොමු කළ ශ්‍රී ලාංකීය රජය එම තත්ත්වය පාලනය කර ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ අරමුණින් යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය යෝජනා කර ඇත‍.

වාරිමාර්ග සංවර්ධන සැලැස්ම අනුව යාන්ඔය ජලාශය ඉදිකිරීමේ අවශ්‍යතාව තිබුණත් යුද්ධය බහුලව මේ ප්‍රදේශයේ තිබූ නිසා එය ඉදිකිරීමට අපහසු විය.

පසුව 2015 දී පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යාන්ඔය ඉදිකිරීම් ආරම්භ කළේ ය.

යාන්ඔය හරහා අනුරපුර දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල පඹුරුගස්වැවදී යාන්ඔය හරහා වේල්ලක් බැඳ මේ ජලාශය ඉදිකරනු බව යාන්ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු උදය හේමකුමාර මහතා පවසයි.

මෙම ජලාශයේ ධාරිතාව අක්කර අඩි 140000 කි. එය පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාලය.‍ කවුඩුල්ල ජලාශයටත් වඩා විශාලය. ඒ අනුව උතුරුමැද පළාතේ ඉදිවන ලොකුම ජලාශය මෙයයි. මේ ජලාශයට වේලි 5 කි. ප්‍රධාන වේල්ලේ දිග කිලෝමීටර් 2.35 කි. ඊට අමතරව මේ ජලාශයට සඳැලි වේලි 4 කි‍. ඒවායේ දිග කිලෝමීටර් 3.59 කි. ඒ අනුව මුළු වේලි පද්ධතියේම දිග කිලෝමීටර් 5.94 කි. ඒ අනුව රජ සමයෙන් පසුව මෙරට ඉදිවන දිගම වේලි පද්ධතිය හා වැඩිම වේලි සහිත ජලාශය යාන්ඔය ජලාශයයි.‍

මෙම ප්‍රධාන වේල්ලේ උස අඩි 75 කට ආසන්න අතර පළල අඩි 18 ක් වේ. සඳැලි වේලි 4 ඉදිවන්නේ කොන්ක්‍රීට් හා පස් මඟිනි. මුළු ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 5600 ක් පමණ වැයවේ.

මෙම යාන්ඔය මහ ජලාශය මඟින් වම් ඇළ හා දකුණු ඇළ ඔස්සේ ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශවලට ද ජලය ලබාදෙනු ලැබේ. වම් ඇළ කිලෝමීටර් 18 ක් දිග අතර දකුණු ඇළ කිලෝමීටර් 12.5 ක් දිගය. පළල මීටර් 6 කි.

ප්‍රධාන වේල්ලේ පිටවානට ස්වංක්‍රීය ගේට්ටු 5 ක් ඇති අතර ඉන් යාන්ඔය අමුණට ජලය මුදාහැරේ. පිටවාන පිහිටා ඇත්තේ යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ ප්‍රථම සඳැලි වේල්ලේ ය. එය කොන්ක්‍රීට්වලින් සාදනු ලැබේ. දෙවැනි, තුන්වැනි සඳැලි වේලි පස්වලින් ඉදිකර ඇත. හතරවැනි සඳැලි බැම්ම කොන්ක්‍රීට්වලින් හා පස් වලින් සාදා ඇතැයි නියෝජ්‍ය ව්‍යාපෘති කළමනාකාර පාලිත වික්‍රමතිලක මහතා කියයි.

රජ සමයෙන් පසු මෙතරම් සඳැලි වේලි වැඩි ප්‍රමාණයක් ඉදිකළ ජලාශය ලෙස මේ යාන්ඔය ජලාශය ඉතිහාස ගතවේ. මේ යාන්ඔය ජලාශය ම මෙතරම් සඳැලි වේලි ඉදිකර ඇත්තේ ප‍‍්‍රදේශයේ පවතින භූ විෂමතාව නිසා බව පාලිත මහතා කීය. මෙහි අවට කඳු තුනක් තිබීමත් ඒ අතරින් ජලය ගලා ඒමත් නිසා මෙම සඳැලි වේලි ඉදිකර ඇත. මේ සියලු ඉදිකිරීම් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු හා චීන ඉංජිනේරුවරු එක්වී කටයුතු කරති. ව්‍යාපෘතිය 2015 පෙබරවාරි මස ආරම්භ කර ඇති අතර අවසන් කිරීම ලබන වසරේ සිදුකෙරේ. ජලාශයට ජලය පිරවීම ළඟදීම ආරම්භ කිරීමට ස‍ූදානම් බව ව්‍යාප‍ෘති අධ්‍යක්ෂවරයා පවසයි.‍

මෙමඟින් රැස් කරන ජලය භූ විෂමතා ලක්ෂණ අනුව කෙලින්ම පදවිය ජලාශයට හැරවිය නොහැකි බැවින්, පහළින් පිහිටි ජයන්ති වැවට හරවා එමඟින් පදවිය ව්‍යාපාරයේ පහළ කොටසේ හෙක්ටයාර 2200 කට අවශ්‍ය වන ජල ප්‍රමාණය සැපයීමට අදහස් කෙරේ‍.

මෙම වැඩපිළිවෙලට අනුව අනාගතයේදී පදවිය ජලාශයෙන් ජලය සැපයෙනු ඇත්තේ එම ජලාශය හා ජයන්ති වැව අතර පිහිටා ඇති ඉහළ කොටසට පමණි. එම ව්‍යාපාරයෙන් අඩක් පමණ වන ඉඩම් ප්‍රමාණයකට ක්‍රමවත්ව මින් ජලය සැපයෙනු ඇත. ජයන්ති වැවට පහළින් පිහිටා ඇති පදවිය ව්‍යාපාරයේ ඉතිරි කොටසටත්, වම් ඉවුරු ඇළ ආශ්‍රිතව වාහල්කඩ, යාන්ඔය අමුණ හා තවත් මධ්‍යම හා ග්‍රාමීය වාරිමාර්ග යටතේ ඇති හෙක්ටයාර 4190 ක් පමණ වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විශාල ඉඩම් ප්‍රමාණයකටත් යාන්ඔය වම් ඉවුරු ඇළ ඔස්සේ ජලය සැපයෙනු ඇත‍.

තවද දකුණු ඉවුරු ඇළ සංවර්ධනයෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති නීලපනික්කන් කුලම්, මහආලන් කුලම්, කුඩඩි කුලම් සහ වෙනත් මධ්‍යම හා කුඩා යෝජනා ක්‍රම යටතේ හෙක්ටයාර 1812 ක ප්‍රමාණයකට වාරි ජල පහසුකම් ලබාදීමට නියමිතය. එම නිසා යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය නිමවීමත් සමඟ අනුරාධපුර හා ත්‍රිකුණාමල තුළ ඇති මධ්‍යම හා කුඩා වාරි යෝජනා ක්‍රම වැඩි දියුණු කිරීම මඟින් කලාපය තුළ ඇති විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයකට යල සහ මහ කන්න දෙකෙහිම වගා කිරීමට සැලසීමෙන් වගා තීව්‍රතාවය 1.86 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන අරමුණයි. මේ අනුව යාන්ඔය ව්‍යාපෘතියෙන් වාරි ජලය සැපයෙන වගා ඉඩම් යටතේ අස්වද්දන ගොවි පවුල් 12000 ගේ ආර්ථිකය සංවර්ධනය වන අතර එය මෙම පළාත්වල දරිද්‍රතාවය පිටු දැකීමට මහත් රුකුලක් වනු ඇත. මීට අමතරව යාන් ඔය ජලාශයේ ධීවර කටයුතු සංවර්ධනය කිරීමෙන් තවත් පවුල් 2000 කට පමණ ඍජු රැකියා අවස්ථා ලබාගත හැක.

ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ලේ හා අන් සියලු සඳැලි වේලිවල වැඩ දැන් සියයට 99 ක් අවසන්ය. ඉදිරි සති කීපය ඇතුළත මේ ප්‍රදේශයට ලැ‍බෙන අන්තර් මෝසම් වැස්සෙන් යාන්ඔය ජලාශය පිරවීම් ආරම්භ කරන බව ද පාලිත වික්‍රමතිලක මහතා කීය‍. වැව් බැම්ම හා වම් ඇළ ඉදිකිරීම චීන කොන්ත්‍රාත්කරු සිදු කරන අතර දකුණු ඇළ හා නැවත පදිංචි කිරීම භාරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

ව්‍යාපෘතියේ දකුණු ඉවුරු ඇළ කිලෝමීටර් 12.5 ක් දිගය. එහි වැඩ කටයුතු දැන් සියයට 90 ක් අවසන්ය. එහි කටයුතු භාරව කටයුතු කරන ඉංජිනේරු පී.ඩී‍. වැලිවිට මහතා පවසන්නේ මේ ඇළ මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 10 ක් පෝෂණය වන බවයි.

මෙම ඇළ මඟින් අලුත් ඉඩම් අක්කර 4500 ක් පමණ යල මහ අස්වද්දන අතර ඒ ඇළට තත්පරයකට ඝන අඩි 1500 ක ජල ප්‍රමාණයක් ඇතුළු වෙයි. මෙහි ඇළේ මීටර් 300 ක ප්‍රදේශයක් කොන්ක්‍රීට් කරන අතර අලුතින් ජනතාව පදිංචි කරන මල්පෝරුව හා කජුවත්ත (තුසිතපුර) ගම්වලට මේ මඟින් ජලය සැපයේ.‍

මේ දකුණු ඉවුර ඇළ මඟින් මුගටියාතැන්න, ඉඳුල්හිටියාව, තල්ගස්වැව, මෝරුගම, බෙල්ලන්කඩවල, නබඩවැව, සියඹලාගස්වැව, කොහොඹගස්වැව යන වැව් පෝෂණය කරනු ලැබේ. මේ සියල්ල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් වේ.

මහ අලන්කුලම, නීලපිනිච්චිකුලම, අගලකුලම, පනිච්චන්කුලම යන වැව්වල ජල ධාරිතාව දෙගුණ කිරීම ද මෙම දකුණු ඇළ මඟින් සිදු කෙරේ.

මෙම ඇළ මඟින් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග සියල්ල‍ම නියෝජනය වන පරිදි ජලය ලබාදෙයි. ඒ අනුව මේ දකුණු ඉවුර ඇළ සංහිදියාවේ ඇළ ලෙස හැඳින්වීමට පුළුවන.

මෙම දකුණු ඉවුර ඇළ මඟින් ජලාශය නිසා අවතැන්වූ පුද්ගලයන්ට වෙන් කළ කජුවත්ත හා මල්පෝරුව ගම්මාන සඳහා ද ජලය ලැබෙන බව ද ඉංජිනේරු වැලිවිට මහතා පවසයි. කජුවත්ත ගමේ ද සියලු අංග සම්පූර්ණ මහා විද්‍යාලයක් ව්‍යාපෘතිය මඟින් ඉදිකර ඇත. මල්පෝරුව ගමට අලුත් ළදරු පාසලක්, අලුත් කාපට් මාර්ග පද්ධතියක්, විදුලිය සහ ජල පහසුව දැන් ලබාදී ඇත.

ත්‍රිකුණාමල‍ය නගරයට පානීය ජලය ලබාදීම ද සිදු කරන්නේ මේ දකුණු ඉවුර ඇළ මඟින්ය. දැන් නගරයට ජලය ලැබෙන්නේ පැය තුනක් පමණි. නමුත් ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු එමඟින් ත්‍රිකුණාමල නගරයට පැය 24 පුරාම පානීය ජලය ලැබේ. ඒ අනුව මේ ව්‍යාපෘතියේ වැදගත්ම කොටසක් ලෙස දකුණු ඉවුර ඇළ පෙන්වා දිය හැකිය.

ව්‍යාපෘතියේ වම් ඉවුර ඇළ කිලෝමීටර් 18 ක් දිග බව ද එහි කිලෝමීටර් 7 ක් පමණ දැන් ඉදිවී අවසන් බවත් එම ඉවුර ඇළ බාර ඉංජිනේරු ජනක රණසිංහ මහතා පවසයි. මෙහි කිලෝමීටර් 5 ක් දිග ප්‍රදේශයක් උමඟක් ලෙස කුඹුරක් යටින් ඉදිවන අතර ඉතිරි ප්‍රදේශය ඇළක් ලෙස සංවර්ධනය කිරීම අරඹා තිබේ. එම උමඟ ‍උඩ පස් හා මඩ දමා වී ගොවිතැන් කළ හැකි ය. ඊට අමතරව මේ ව්‍යාපෘතිය යටතේ අතු ඇළවල් කිලෝමීටර් 26 ක් දිගට සකස් කරන අතර ඒ මඟින් ගෝමරන්කඩවල කුච්චවේලි පදවිය ප්‍රදේශ සඳහා අවශ්‍ය පිරිසුදු පානීය ජලය සැපයීමට ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයට උදව් දෙයි. එය ප්‍රදේශයේ වකුගඩු රෝගය පාලනයට ද හේතුවකි.

යාන් ඔය වාරි ව්‍යාපෘතිය නිසා අවතැන්වූ පවුල් 235 සඳහා ඒ අසල ප්‍රදේශවලින් ම ගොඩ ඉඩම් අක්කර 1 ක් හා මඩ ඉඩම් අක්කර 1 ½ ක් හා කැඩු නිවාසවලට වන්දි ලබාදී තිබේ.

දකුණු ඉවුර යටතේ මල්පෝරුව හා කජුවත්ත ගම්මාන අලුතින් ඉදිකර ජලය, විදුලිය පාසල්, බැංකු පුළුල් කාපට් පාරවල් ආදී සියලු පහසුකම් ලබාදී ඇත. ඒ අනුව මල්පෝරුව හා කජුවත්ත ප්‍රදේශවලට අලුත් පාසල් ඉදිකර ඇත. ගම්මාන වටා අලි විදුලි වැට ඉදිකර ඇතැයි ද යාන්ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ යූ.එන්. හේමකුමාර මහතා පවසයි.

ඊට අමතරව වම් ඉවුර ඇළ ගලායන ප්‍රදේශවල ඩී 8 හා ඕමාරකඩ නමින් නැවත පදිංචි කරන ගම්මාන ඉදිවේ. ඒවාට ද පාසල්, විදුලිය, බැංකු ආදී සියලු යටිතල පහසුකම් සපයා ඇත.

මේ අනුව යෝජිත යාන් ‍ඔය ජලාශය මඟින් ඒ අවට ඇති වාරි යෝජනා ව්‍යාපෘතීන්ට හා පදවිය, වාහල්කඩ, නීලපනික්කන් කුලම්, මහ ආලන් කුලම් යන ජලාශ යටතේ දැනට අස්වද්දන ඉඩම් හෙක්ටයාර 8752 කටත් හා අලුත් වගා කිරීම් සඳහා ඉඩම් හෙක්ටයාර 650 කටත් ජලය ලැබේ. මෙම ව්‍යාපෘතියට දරන මුදල් ආයෝජනයෙන් ලැබෙන ශුද්ධ වාර්ෂික වර්තමාන ප්‍රතිලාභය රුපියල් මිලියන 9652 ක් ද, අභ්‍යන්තර ප්‍රතිලාභය 14.6% ක් ද වේ. ප්‍රතිලාභ පිරිවැය අනුපාතය 1.47කි. දශක තුනකට අධික කාලයක් පුරා යුධ වාතාවරණය හා එය හා සමගාමීව පැවතුණ ආර්ථික සමාජීය අවපාතයෙන් බැට කා පීඩිතව සිටින පවුල් 12000 ක පමණ දුගී බව තුරන් කර ඔවුන්ගේ සමාජ, ආර්ථික මට්ටම ඉහළ නැංවීමට යාන්ඔය ව්‍යාපෘතිය පෙරගමන් කරුවකු වනු නොඅනුමානය.

යාන්ඔය ව්‍යාපෘතිය නිමවීමත් සමඟ ඒ අවට ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවය විසඳුම් ලැබෙන අතර ත්‍රිකුණාමලයට ප්‍රවේශ වීම සඳහා මෙතෙක් පැවැති කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන හරහා මාර්ගය වෙනුවට ගෝමරන්කඩවල හරහා කි.මී. 30 කින් පමණ කෙටි ගමන් මාර්ගයක් මඟින් ගමනාගමන කටයුතු වැඩි දියුණු කිරීමට ද බලාපොරොත්තු වේ. තවද සිවු අවුරුදු ඉදිකිරීම් කාලය තුළ 5200 ක් පමණ වූ සහය සේවාවල යෙදෙන්නට ද රැකියා අවස්ථා ලැබෙනු ඇත.

මේ අනුව මෙතෙක් කල් යාන්ඔය ඔස්සේ මහමුහුදට ගිය තත්පරයකට ඝන අඩි 150000 ක්වූ ජල ප්‍රමාණය මගින් අලුත් ඉඩම් අක්කර 20000 ක් පමණ අස්වද්දන සමස්ත ලෙස පවුල් 15000 කට පමණ කෙලින්ම සෙත සලසනු ලැබේ. ඊට අමතරව ත්‍රිකුණාමලය නගරයේ හා කුච්චවේලි, ගොමරන්කඩවල, පදවිය, පුල්මුඩේ, මුලතිව් වැනි ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදීම ද මේ ව්‍යාපෘතිය මඟින් පියවර ගනු ලැබේ. එහි ප්‍රතිලාභී පවුල් ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්නය.

මේ අනුව මේ යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය මගින් රටේ නැ‍ඟෙනහිර හා උතුරු මැද ප්‍රදේශවල කෘෂිකාර්මික පාරිසරික අධ්‍යාපනික වාරිමාර්ග කටයුතුවල විශාල ප්‍රගතියක් ඉටුවන බව කිවයුතුය.

නිහාල් පී. අබේසිංහ
ඡායාරූප - විමල් කරුණාතිලක


අදහස් 1ක් ඇත

මෙහි නැවත පදිංචි කිරීම් සිදුවන ගම්මාන වල මෙහි සදහන් අයුරින් මාර්ග ඉදි කර අනෙකුත් පහසුකම් හරියට දියුණු කොට නොමැත.ගමට ගොස් පරීක්ෂණ කර බලා වාර්තා කරන්න.මල්පෝරුව මගෙ ගම වේ.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...