බිඳුණු සිතට සුවය ගෙනෙන සොඳුරු සිතැත්තී | දිනමිණ

බිඳුණු සිතට සුවය ගෙනෙන සොඳුරු සිතැත්තී

ෆවුස් මොහොමඩ්

තාත්තා මට ගොඩාක් දැනෙනවා. එයා රජයේ වැටුප හැරෙන්න වෙන කිසිම දෙයක් ගත්තේ නෑ. නිතරම කිව්වේ සමාජයට මොනවාහරි කරන්න ඕනා කියලයි. හැමවෙලාවෙම මටයි මගේ අක්කලාටයි, අයියාටයි ‘ෂෙයාරිං’ පුරුදු කළා. අපේ ගෙදර නිතරම බත ඉදෙන්නේ වැඩිපුරත් එක්කයි. තාත්තා කියන්නේ කියවලා ඉවර කරන්න බැරි පොතක් වගෙයි. අදත් මම තාත්තගේ චරිතයට කිට්ටු වෙන්න උත්සාහ දරනවා. ඒත් තවම බැරිවුණා කියලා හිතෙනවා.

‘අපි හැමදෙයක්ම කරන්නේ හේතු දෙකක් නිසයි. එකක්, අපිට ඒක කරන්න ඕන නිසා. අනික අපි ඒක කළ යුතු නිසා. අපි කළ යුතු දේවල් අපිට ඕන කරන දේවල් බවට පත් කරගත්තම... ජීවිතය වඩාත් පැහැපත් වේවි... ජීවිතය වඩාත් සුන්දර වේවි...’

මෙන්න මේ අපූරු කියමන මා එක්තරා වෙබ් අඩවියකින් දුටු මොහොතේ සිතට නැගුණු අදහසක් තමයි ‘ජීවිත සහ පාට’ විශේෂාංගය ආරම්භ කරන්න මුල් වුණේ.

මා මීට පෙර මේ ඉසව්වේ ගොනු කළ බොහෝ ලිපිවලට ලැබුණු ප්‍රතිචාර මේ මොහොතේ මට සිහිපත් වෙනවා. ඒවා සියල්ල මා ගොනු කර තැබුවේ කියවන ඔබට ජීවිතය ගැන අලුත් විදිහට හිතන්න පොළඹවන්නයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ කියවන ඔබ ඉන් ලබාගන්නා ‘අභිප්‍රේරණය’ මතයි. අපි ‘මෝටිවේෂන්’ කියා හඳුන්වන්නේ ඒකයි.

ඔබේ ජීවිතය පැහැපත් කරන්නට පුංචි උත්සාහයක් ලෙස සිතා මේ විශේෂාංගය ආරම්භ කළත් මට මගේ ජීවිතය පැහැපත් කරගැනීමට... ජීවිතයට අලුත් වෙනසක් ඇති කරගැනීමට... බලපෑමක් කළ එක්තරා චරිතයක් ගැනයි මේ සටහන තබන්නේ.

ඇය කළුබෝවිල රෝහලේ මනෝ වෛද්‍ය හා උපදේශන නිලධාරිනී ඩේසි සුදුසිංහයි. ජීවිතය ගැන... රැකියාව ගැන... විවිධ අවස්ථාවලදී දැඩි කළකිරීමකට පත්වන වත්මන් සමාජයේ වැඩි දෙනකුට ඇය අපූරු පාටක්...

‘මම ඉන්නේ හරි සැහැල්ලුවෙන්... වැඩට එද්දි තිබුණු හිනාවම තමයි ආපහු යද්දිත් අරගෙන යන්නේ....’ ඇය ඒ ටික කියන්නේ ද හිනැහෙමින්.

‘සිනහව, ප්‍රියමනාප බව කෙනකුට තියෙන්නම ඕනා. අපිව දකින කෙනෙකුට ඒක දැනෙන්න ඕනා.’ ඇය කියන්නේ එහෙමයි...

‘මම කිසිම මානසික රෝගියකුව ‘පේෂන්ට්ලා’ කියලා හඳුන්වන්නේ නෑ. එයාලා අපේ සේවාදායකයෝ. වර්තමානයේ සිදුකෙරෙන උපදේශන සේවාවන් මිනිස්සුන්ගේ ප්‍රශ්නවල ගැඹුරට යන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. යම්කිසි කාල රාමුවක් තුළ කෙරෙන උපදේශන සේවාවක් නම් මං කරන්නේ නෑ. ඒ කියන්නේ එක් ‍සේවාදායකයකුට වැය කරන නිශ්චිත කාලය මෙච්චරයි කියලා වැඩ කරන්නේ නැ. මගේ යුනිට් එකේ මං වැඩ කරන්නේ මටම ආවේනික විදිහකටයි. අපිට අපිව දැනෙන්න ඕනා. හැම දෙයකදීම සල්ලි ඉස්සර කරගන්න හොඳ නෑ. මා ගාවට එන සේවාදායකයන්ට පහසුවක් දැනෙන්න ඕනා. මම සාර්ථකයි කියලා හිතෙන්නේ මට එයාලාව දැනෙන නිසා. එතකොට එයාලටත් මා ගැන විශ්වාසයක් ඇතිවෙනවා.’ ඇය සිය රැකියාවෙන් තෘප්තිමත් වන අතරම ඇය වෙත පැමිණෙන සේවාදායකයන් තුළ විශ්වාසයක් ගොඩනගා ගැනීමටත් සමත්වෙලා.

‘මානසික අවපාතය, එහෙමත් නැතිනම් මානසික කඩා වැටීම ඕන කෙනෙකුට එනවා. මටත් එන්න පුළුවන්. ඔයාටත් එන්න පුළුවන්. ඒවාට බෙහෙත් විතරක් මදි. ඒත් බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ බෙහෙත් මගින් ඒක සුවපත් කරන්න උත්සාහ දැරීමයි. මෙතැනට එන අයත් බෙහෙත් තමයි බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සුන්ගේ ගැටලු හඳුනා ගන්න හැකියාවක් තියෙන්න ඕනා. ඒක කාල රාමුවක් තුළ සිදුකරන්න අමාරුයි. අපිව හොයාගෙන එන සේවාදායකයන්ට අපි කාල රාමුවක් ලබාදීම මම නම් කරන්නේ නෑ. මොකද සමහර වෙලාවට එයාලගේ ගැටලුව අපිට හෙළිදරවු වෙන්නේ අන්තිම මොහොතේ. ඒ වගේම මම කවදාවත් ‘ප්‍රයිවට්‘ උපදේශන සේවා පවත්වන්නේ නෑ. ඒ වගේම මුදල් පස්සේ හඹා යන්නේ නෑ. කවදාවත් අතිකාල දීමනා ලබාගන්නේ නෑ. ඒ නිසා මට මගේ රැකියාවෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්.’ ඇගේ මේ කතාව බොහෝ වෛද්‍යවරුන්ට කදිම ආදර්ශයක්.

මාතර, හක්මන උපන් ඩේසි සුදුසිංහ අධ්‍යාපනය ලැබුවේ තංගල්ල බාලිකාවෙන්. පවුලේ බාලයා ඇයයි. ඇය තම ජීවිතය පැහැපත් කරගැනීමට ආදර්ශයක් කරගත්තේ ඇගේ ආදරණීය පියාණන්වයි. ඔහු අද ජීවතුන් අතර නැතත් ඇය තමාට ජීවිතය කදිමට කියා දුන් පියාණන් නිරතුරුවම සිහිපත් කරනවා.

‘මගේ තාත්තා හිටපු ග්‍රාමසේවා නිලධාරියෙක්. තාත්තා මට ජීවිතය ගැන ගොඩාක් දේවල් කියාදුන්නා. මට තාම මතකයි මට අවුරුදු 4දි 5 දි වගේ සිදුවීමක්. ඒ කාලයේ තාත්තා කාර්යාලය පවත්වාගෙන ගියේ අපේ ගෙදරමයි. ඒ නිසා මම නිතරම තාත්තාගේ කාර්යාලයේ රැඳිලා හිටියා. මිනිස්සු එනවා තාත්තා මුණගැහෙන්න. ආච්චිලා, සීයලා එනවා එයාලගේ විශ්‍රාම වැටුප් හදාගන්න. මේවා මම දකිනවා. දවසක් එක්තරා ආච්චි කෙනෙක් ආවා එයාගේ විශ්‍රාම වැටුප හදාගන්න. ඒ ඇවිත් මට බිස්කට් පැකට්ටුවක් තෑගි කළා. ඒක ඒ කාලයේ මම වඩාත්ම ආස කළ බිස්කට් වර්ගයක්. ඒත් ආච්චි ගියාට පස්සේ ඒ ගැන අහපු තාත්තා මට කිව්වා ආච්චිට අඬගහන්න කියලා. ආච්චි ආපහු හැරිලා ආවම එයාට මෙහෙම කිව්වා. මම රජයේ සේවකයෙක්. මට මේ රැකියාවට වැටුපක් ලැබෙනවා. ඒ නිසා මම තෑගි එපා. අපි ඔයාලගේ සේවකයෝ. ඒ නිසා මේක ආපහු අරගෙන යන්න කියලා. ඒ සිදුවීම පස්සේ කාලෙක මගේ ජීවිතයට ලොකු අරුතක් එකතු කළා.’ ඇයට තම ජීවිතය පාට කරගැනීමට පියාගෙන් ලැබුණු ලොකුම දායාදය එයයි.

‘තාත්තා මට ගොඩාක් දැනෙනවා. එයා රජයේ වැටුප හැරෙන්න වෙන කිසිම දෙයක් ගත්තේ නෑ. නිතරම කිව්වේ සමාජයට මොනවාහරි කරන්න ඕනා කියලයි. හැමවෙලාවෙම මටයි මගේ අක්කලාටයි, අයියාටයි ‘ෂෙයාරිං’ පුරුදු කළා. අපේ ගෙදර නිතරම බත ඉදෙන්නේ වැඩිපුරත් එක්කයි. තාත්තා කියන්නේ කියවලා ඉවර කරන්න බැරි පොතක් වගෙයි. අදත් මම තාත්තගේ චරිතයට කිට්ටු වෙන්න උත්සාහ දරනවා. ඒත් තවම බැරිවුණා කියලා හිතෙනවා. ලොකු වැටුපක් නොලැබුවත් තාත්තා අපි හැමෝටම හොඳට ඉගැන්වුවා. පවුලේ හැම දරුවම කැම්පස් යැව්වා. ආර්ථික වශයෙන් ගොඩනැගුණේ නැතිවුණාට තාත්තා අපේ හිත්වල මිනිස්සු ගැන හොඳ චින්තනයක් ඇති කළා. මිනිස්සු එක්ක ජීවත් වෙන්න..එයාලාව සංවේදිව දැනෙන විදිහට ජීවත් වෙන්න අපිට පුරුදු කළා.’

‘සමාජ සේවයට අපිව පුරුදු කළේ අපේ තාත්තා. කොච්චර උපාධි ගත්තත් සමාජය ගැන වෙනම උපාධියක් කරන්න ඕන කියලා කිව්වා. ඒක වෙනම උපාධියක් කියලා කිව්වා. ‘දෙනු‘ මිස ‘ගනු‘ කියලා දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක තාත්තාගෙන් ඉගෙන ගත්තේ. මගේ රැකියාවට අර ‘බිස්කට්‘ කතාව අදාළ වෙන්නේ එහෙමයි.’

‘මම හරි වෙනස්. ඒත් මගේ රැකියාව කරන අනිත් අයත් එහෙම වෙන්න ඕනා කියලා මම කියන්නේ නෑ. මම මුලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කළා. ඊළඟට පිළිකා රෝහලේ වැඩ කළා. ඊට පස්සේ තමයි කළුබෝවිල රෝහලට කැමැත්තෙන්ම ආවේ. මම මේ රැකියාවෙන් පුදුමාකාර සතුටක් විඳිනවා. ඒක මගේ වාසනාවක්.’

‘ඒවා පොත්පත්වලින් ඉගෙන ගන්න බැරිදේවල්. මිනිස්සු එක්ක ජිවත්වෙලාම තමයි ඉගෙන ගන්න ඕනා. මම කිසිම කෙනෙක් බැහැර කරන්නේ නෑ. හැමෝම අපේ ජීවිතවලට වැදගත්. හැම කෙනෙකුගෙම වටිනාකමක් මම දකිනවා. මනෝවෛද්‍ය ක්ෂේත්‍රය තුළ නොයෙක් ගැටලු හඳුනාගන්න මට හැකිවුණේ ඒ නිසයි. මම හැමෝම ඇසුරු කරනවා. දුප්පත්, පොහොසත්, විවිධ සමාජ මට්ටමේ මිනිස්සු. පදික වේදිකාවේ රැකියා කරන අය මේ හැමකෙනෙක් එක්කම මම කතාබහ කරනවා.’

‘ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්තරයක්. ඒකට උත්තර හොයන එක තමයි ජීවත්වීම කියන්නේ. සමහර තැන්වලදී හිරවෙනවා තමයි. ඒකට මුහුණදෙන්න අවශ්‍ය ධාරිතාව මදිවෙනවා තමයි. එතකොට තමයි ජීවිතය ‘අන්බැලන්ස්’ වෙන්නේ. එතකොට කාගේ හරි පිළිසරණක්, උදව්වක් ඕන වෙනවා. මේ විඳ දරාගැනීමේ ධාරිතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි ඒක හඳුනා ගත යුතුයි.’ ඇය කියනවා.

‘මම නම් කියන්නේ මානසික ගැටලුවලට ඖෂධ භාවිතය 50%ක් පමණයි කියලයි. ඉතුරු 50% පුරවන්න ඕන සංගීතය, කලාව වගේ දේවල්වලින් කියලයි. ඉහුම් පිහුම්, මැහුම් ගෙතුම්, චිත්‍ර ඇඳීම වගේ දේවලුත් ඊට එකතුවෙනවා. කලාවට, සංගීතයට මමත් ගොඩාක් ආසයි. මිනිසුන් තුළ රසවින්දනය අඩුවීමත් මානසිකව ‘අසමතුලිත’ වීමට බලපානවා. රංගනය කියන්නෙත් අපූරු චිකිත්සාවක්. ඒවා මානසික ඔසු. මානසික රෝගීන් කියලා එයාලව කොන් කරන්න එපා කියලයි මම නම් කියන්නේ. හැම කෙනෙක් තුළම මොනවා හරි හැකියාවක් තියෙනවා ඒක ඉස්මතු කරගන්න ඕනා. ඒවා පහදලා දීලා එයාටම එයාගේ වටිනාකම අවබෝධ කරදෙන්න ඕනා.’

‘අපි අපේ රෝහල් ශ්‍රවනාගාරයේ දී අපේ සේවාදායකයන්ට සංගීත වැඩසටහන් පවත්වනවා. ‘ඩ්‍රාමා තෙරපි’ කරනවා. අත්කම් නිර්මාණ, පේන්ටිං, මහන්න ගොතන්න, කෑම හදන්න මේවායින් එයාලගේ හැකියාවන් මතු කරගන්නවා. ලෝක මානසික රෝග දිනය ඔක්තෝබර් 10 වැනිදාට යෙදිලා තිබුණා. අපේ රෝහලේ මේ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පවත්වනවා. විවිධ හේතුන් නිසා අපේ මේ වැඩසටහන ඔක්තෝබර් 31 දිනයට යොදාගත්තා. එදාට මෙපමණ කාලයක් අපේ උපදේශන ඒකකයට පැමිණි සේවාදායකයන්ගේ දස්කම් විස්කම් ප්‍රදර්ශනය සිදුකෙරෙනවා.’ ඇය සඳහන් කළා.

‘තනිකම, පාළුව කියන්නේ මිනිස්සු හදාගත්තු දේවල්. සමාජය නිතරම අපෙන් අහන ‘ඇයි..?’ කියන ප්‍රශ්නයට උත්තර හොයන්න යන්න එපා. අපි උසස් පෙළ කරද්දි මිනිස්සු අහනවා උසස් පෙළට ඇයි මේ විෂය තෝරාගත්තේ නැත්තේ කියලා. අපේ වයස ටිකක් පහුවෙනකොට අහනවා ඇයි කසාද බඳින්නේ නැත්තේ කියලා. කසාද බැන්දට පස්සේ අහනවා අහනවා ඇයි තාම ළමයි නැත්තේ කියලා. පිරිමි ළමයෙක් ලැබුණම අහනවා ඇයි ගැහැනු ළමයෙක් හදන්නේ නැත්තේ කියලා. මෙන්න මේ වගේ සමාජය නිතරම අපෙන් අහන ‘ඇයි..?‘ කියන ප්‍රශ්නය එච්චර හිතන්න යන්න එපා.’ ඇය ජිවිතය දිනන්න අවශ්‍ය සාධක ගණනාවක් ගැන එසේ කියනවා.

‘මගේ ජීවිතයේ කිසිම පසුතැවීමක් නෑ. ආපහු හැරිලා අතීතය දිහා බැලුවම මට පුදුම සතුටක් දැනෙනවා. මම නිතරම ‘අප්ඩේට්‘ වෙන්න මොනවහරි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න වයසක් නෑ. ඕනෑම මට්ටමකදී පවා ඉගෙන ගන්න පුළුවන්. මට හොඳ හිතවතුන් පිරිසක් ඉන්නවා. අපේ ජීවිතයට ඕන කරන පාට මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනා. එතකොට ජීවිතය ලස්සනයි. සුන්දරයි. සැහැල්ලුයි.’


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

Or log in with...