වගන්ති නොදැන බැද්දේ බඩගෑම...! | දිනමිණ

වගන්ති නොදැන බැද්දේ බඩගෑම...!

කිප්ලිං නම් විචාරකයා මීට දසක ගණනාවකට පෙර ආසියාව හැඳින්වූයේ ම්ලේච්ඡයන්ගේ කලාපයක් හැටියටය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගැන විශේෂ දැනීමක් ඔහුට තිබිණි. ඔහුගේ වචනවලින් කිවහොත් පෙරදිග පෙරදිගම ය. අපරදිග අපරදිගම ය. ඔහුගේ විවේචනය ඒ අයුරින් ම හෙවත් ගෙඩි පිටින් ගිල දැමිය යුතු නැති වුව; ඔහු කියන කතාවේ යම් සත්‍යයක් ද තිබේ. පෙරදිග අප දේශපාලන වශයෙන් දියුණු නැත. සමාජමය වශයෙන් ද දියුණු නැත. මේ මොහොතේ අපේ රටේ සිදුවන ඇතැම් දේවල්වලින් ද පෙනී යන්නේ සමාජය දේශපාලන වශයෙන් දියුණු තත්ත්වයකට පත් වී නැති බව ය. අවම ලෙස රටේ ව්‍යවස්ථාව ගැන වැටහීමක් රටේ ඇතැම් දේශපාලකයන්ට නැත.

එංගලන්තයේ හිටපු කථානායකවරයකු වූද, කීර්තිමත් දේශපාලකයකු වූ ද වත්මනෙහි කොන්සවෙටිව් පක්ෂයේ නායකයා වන්නා වූ ද නෙස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන චලනය ගැන කතා කර තිබේ. ඔහුගේ කතාවෙන් අපේ දේශපාලකයන්ට මෙන් ම ජාත්‍යන්තරයට ද හොඳ පාඩමක් ලබාගත හැකි ය. ඔහුගේ කතාවේ සමාලෝචනයක් ගතහොත් මෙසේ ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවට අනුව දේශපාලන තීන්දු කිහිපයක් ගෙන තිබේ. ඔහු බුද්ධිමත් තැනැත්තෙකි. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ගෙන ඇති එම පියවර ගැන කිසිවකුටත් අභියෝග කළ නො හැකිය. ජාත්‍යන්තරය මේ මොහොතේ ඉවසිල්ලෙන් බලා සිටිය යුතු අතර ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන්නට යෑම වැරැදිය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගත්තේ කොතැනකින් ද? ඊට උත්තර දෙකක් තිබේ. අපේ ශාස්ත්‍රඥයෝ ග්‍රීසියෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉගෙන ගත්හ. අපේ දේශපාලකයෝ මහා බ්‍රිතාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය ගැන ඉගෙන ගත්හ. අදත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන වැඩි දෙනකුගේ අවධානය යොමුවන්නේ මහා බ්‍රිතාන්‍ය දෙසට ය. මහා බ්‍රිතාන්‍යය අපේ රට යටත් කරගෙන සිටි අතර අපට වැවිලි ආර්ථිකයත්, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයත් ලබා දී රටින් පිටව ගියේ ය. නෙස්බි සාමිවරයා මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් පුද්ගලයකු හැටියට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ යළිත් අපට සිහිපත් කරයි.

රටක රාජ්‍ය පාලනයට අදාළ මූලික ‍නෛතික ලියැවිල්ල වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය පාලනයට අදාළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ගැන කරුණු පහදයි. එම ලියැවිල්ලට පිටින් මේ ක්ෂේත්‍ර තුනෙන් එකකටවත් ක්‍රියාකළ නො හැකිය. එසේ ක්‍රියා කරන්නේ නම්; එය නීති විරෝධීය. ව්‍යවස්ථා විරෝධී ය. තවත් අතෙකින් බලන විට ජනතාවගේ අභිමතයට ද විරුද්ධය. එබඳු ක්‍රියාවලීන් අපට අනුමත කළ නො හැකි ය.

අපේ ව්‍යවස්ථාවට අනුව විධායක බලතල හිමි ජනාධිපතිවරයා රටේ පළමු පුරවැසියා වන්නේය. රාජ්‍ය පාලනයේ නායකයා වන්නේ ය. අගමැතිවරයා දෙවන පුරවැසියා වන අතර කථානායකවරයා තෙවන පුරවැසියා වන්නේය. අගමැතිවරයාට හෝ කථානායකවරයාට හෝ ජනාධිපතිවරයාගේ තීන්දු - තීරණ සම්බන්ධයෙන් අභියෝග කළ හැකි තත්ත්වයක් ව්‍යවස්ථාවේ නැත. එහෙත් අද මතු වී ඇති දේශපාලන චලනය තුළ කථානායකවරයා ද, හිටපු අගමැතිවරයා ද, එක පැත්තක සිට ජනාධිපතිවරයාට අභියෝග කරති. මෙය දේශපාලන වශයෙන් ගත් කල විකෘති තත්ත්වයකි. ව්‍යවස්ථාව පැත්තෙන් ගත් කල විශාල අවුලකි. රටේ සියලු දේශපාලකයෝ මෙන් ම ජනතාව ද පළමුව ව්‍යවස්ථාවට ගරු කළ යුත්තෝ ය. එය පිළිගත යුත්තෝ ය. එසේ නො වන කල රට අවුලට යයි.

පාර්ලිමේන්තුව කැඳවීම, එය කල් තැබීම හා නැවත කැඳවීම ආදිය පිළිබඳ පූර්ණ බලතල ඇත්තේ රටේ ජනාධිපතිවරයාට ය. කථානායකවරයාට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. පාර්ලිමේන්තුව කැඳවන්නේ දහසය වනදා ද, දාහතර වනදා ද යන්න තීන්දු කළ යුත්තේ ජනාධිපතිවරයා ය. ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයට අනුව කථානායකවරයා ක්‍රියා කළ යුතුය. එහෙත් අපේ කථානායකවරයා එසේ ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. ඔහු තම පක්ෂයේ මතය ද, එහි නායකයාගේ මතය ද අනුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබේ. කථානායකවරයා ස්වාධීන පුද්ගලයකු විය යුතු බව නැවතත් අවධාරණය වෙයි.

මේ දේශපාලන චලනය ඇති වූ මුල් අවස්ථාවේ ම චීනය කියා සිටියේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ගැටලු ඒ අයම විසඳාගත යුතු බව ය. ඊට ජාත්‍යන්තර බලපෑම් එල්ල නොවිය යුතු බව ද ඔව්හු පෙන්වා දුන්හ. අද එංගලන්තය ද එම මතය තහවුරු කරන බව නෙස්බි සාමිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඉන්දියාව මේ ගැටලුව ගැන විශාල උනන්දුවක් දක්වන්නේ නැත. එලෙස විශේෂ උනන්දුවක් දැක්වීමේ අවශ්‍යතාවක් ද නැත. රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ජාත්‍යන්තරය කුලප්පු කිරීම නැවැත්විය යුතුය. දෙවනුව ජනාධිපතිවරයාගේ අභිමතයට ඉඩ දී අරලියගහ මන්දිරයෙන් පිට වී යා යුතුය.

ප්‍රශ්නය ඇත්තේ ජනාධිපතිවරයාගේ තීන්දු හා තීරණ සම්බන්ධයෙන් නම්; එය අභියෝගයට ලක්කළ හැකි එක ම තැන ශ්‍රේෂ්ඨාධිකරණය වෙයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිවරයා ද එජාපයට අධිකරණය වෙත යා හැකි යැයි පෙන්වා දී ඇත. හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් එන්. සිල්වා ද, හිටපු කථානායකවරයකු වූ වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ද මෙහි නීතිමය තත්ත්වයන් විග්‍රහ කර දී තිබේ. ඒවාට සවන් දීම දේශපාලකයන්ගේ වගවීමකි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ වගවීමකි. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් තනතුර දරන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පෙන්වා දෙන්නේ ද ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ක්‍රියා කර ඇත්නම්; ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ හැකියාවක් කිසිවකුට නැති බවය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නට පෙර ව්‍යවස්ථාව කියවා බැලීම වැදගත් ය. එහි ජනපති සතු බලතල විශේෂයෙන් සලකා බැලීම තවදුරටත් වැදගත් ය.

 


අදහස් 1ක් ඇත

Kathuekiyehi palamu chedaye kiyana adahas anuwa batahirn ena adahas vivechanna serama apa baragahta yuthu vimasilleni. Batahirata wada peradiga diyunuwa aduyayi kiyana katahave padanama the vimaseema vatee. Batahirayange diyunuva lesa ganna hamaekama anuwa peradiga diyunuwa nomaninna. Sthithi.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...